‘හෙවනැල්ල’ දෙමළ බසට නැඟූ සරෝජිනී දේවි | සිළුමිණ

‘හෙවනැල්ල’ දෙමළ බසට නැඟූ සරෝජිනී දේවි

පුලවර් යනු කවියකුට - වියතකුට පිරිනැමෙන ගෞරව නාමයකි. සරෝජිනී දේවි අරුණාචලම් ලේඛිකාවගේ මුත්තා ඒ ගෞරව නාමයට හිමිකම් කීවේය. නිදහස් සටන සමයේ ප්‍රකට කවියකු වූ ඔහු එකල සාහිත්‍ය සමාජයේ ප්‍රකටව සිටියේ සෝමසුන්දර පුලවර් නමිනි. සරෝජිනී දේවිගේ පියාද නමක් දිනූ ලේඛකයෙක් විය. සෝමසුන්දරම් නඩරාජන් නමින් ප්‍රකටව සිටි ඔහු ‘සැලලිහිණි සන්දේශය’ දෙමළ බසට පරිවර්තනය කර සිංහල දෙමළ වියත් ප්‍රජාව අතර මහත් ගෞරවයට පාත්‍ර විය.

“ඇත්තට ම කියනවා නම් තාත්තා තමා මගේ පරමාදර්ශය.. මගේ වීරයා.. ඒ වගේ ම ගුරුවරයා. තාත්තා අපිට පුංචි කාලේ නිතර ම පෙන්වා දුන් දෙයක් තමා අසල්වැසියාගේ භාෂාව ඉගෙන ගැනීමේ වැදගත්කම. තාත්තටත් සිංහල භාෂාව ගැන හොඳ දැනීමක් තිබුණා. ඒ දැනීම ලබාගත්තේ අධ්‍යාපන නිලධාරියෙක් වශයෙන් තාත්තා ගම්පොල වැඩ කරපු කාලේ. ඒ කාලේ අපි පදිංචිවෙලා හිටියේ අම්බුලුවාකන්ද ගමේ. නියංගම්පාය පන්සල තිබුණේ අපේ ගෙවල් ළඟ. පන්සලේ නායක හාමුදුරුවෝ තාත්තත් එක්ක මිත්‍ර වුණා. උන්වහන්සේ තාත්තට සිංහල කියා දුන්නා. තාත්තා උන්වහන්සේට දෙමළ ඉගැන්නුවා. “පූවෙයි විඩු තූඩු” නමින් සැලලිහිණිය දෙමළට පරිවර්තනය කරන්නට තාත්තට පුළුවන් වුණේ ඒ නිසයි.”

සරෝජිනී දේවිගේ වැඩිහිටියන්ගේ මුල් ගම් දොරවල් යාපනයේ වුවද ඇය උපත ලබනුයේ කොළඹදී ය. 1942 සැප්තැම්බර් 14 දා කොළඹ වෝඩ් පෙදෙසේ පෞද්ගලික රෝහලක ඇගේ උපත සිදු විය. පුවත්පත් කලාවට හා ගුවන් විදුලි ශිල්පයට ඇලුම් කළ ඇගේ පියාට මුලින් ම ගුවන් විදුලි සේවයේ නිවේදක තනතුරක් ලැබිණි. පසුව ඔහු සාහිරා විදුහලේ ගුරුවරයකු ලෙස සේවයට බැඳුණේ ය. දැන් සරෝජිනී පදිංචිව සිටින බම්බලපිටියේ නිවෙස ඇගේ මව වන පරමේශ්වරීගේ පාර්ශ්වයෙන් පියාට ලැබුණු දායාදයකි. සරෝජිනීත් ඇගේ එකම සොයුරිය වූ හේමාමාලිනිත් ශිල්ප ලැබුවේ බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙනි. කුඩා කළ සිටම සිංහල භාෂාව ඇසුරු කිරීමට ඇයට අවස්ථාව ලැබෙනුයේ බම්බලපිටියේ නිවෙස වටා පදිංචිව සිටි සිංහල පවුල් කිහිපයක් ම ඔවුන්ගේ සමීප හිතවතුන් බවට පත්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

“මම තුන්වෙනි වසරෙ ඉන්නකොට තමා තාත්තට ගම්පොළට ට්‍රාන්සර් එකක් ලැබෙන්නෙ. ඊට පස්සෙ තමා එහෙ පදිංචියට යන්නෙ. ගම්පොළ සාන්ත ජෝසප් බාලිකාවේ ගත කරපු කාලයත් හරිම සුන්දරයි. අදත් මම ඉඳ හිටලා අම්බුළුවාකන්ද ගමට ගිහින් එනවා. බම්බලපිටියට වඩා මං ඒ පරිසරයට ආසයි. අවුරුදු කීපයකට පස්සෙ අපි නැවතත් කොළඹ එනවා. ආයෙමත් ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ ඉගෙන ගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යන්න පුළුවන් විදිහට විභාගෙ පාස් වෙනවා.”

ඇය සාහිත්‍ය කටයුතුවලට යොමු වූයේ කෙසේදැයි මා විමසා සිටි කළ සරෝජිනී පැවසුවේ එහි පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ ඇගේ පියාට බවය. මේ අපූරු සිද්ධිය සිදුවූයේ ඇය 11 වන වසරේ සිටියදීය.

“ඒ කාලේ අපි හරියට ඉංග්‍රීසි පොත් කියවනවා. එක පොතක තිබුණු කතාවක් දෙමළෙන් ලියන්න පුළුවන්ද කියලා තාත්තා දවසක් මගෙන් ඇහැව්වා. ඒක තමා “රතු හැට්ටකාරී” කියන කතාව. මම ඒක දෙමළෙන් ලියපුවහම තාත්තා පත්තරේක පළ කළා. ඒ කතාව තමා පත්තරයක පළවූ මගේ මුල්ම නිර්මාණය. ඉතිං මම දිගට ම ලිව්වා. පන්තියේ සාහිත්‍ය පාඩමේදී මම තමා ඉදිරියෙන් ම හිටියේ. තාත්තාගේ අනුබලය යටතේ කවි, කෙටිකතා හා තාගෝර් වැනි චරිත ගැන ලිපි ගණනාවක් ම මා අතින් ලියවුණා.”

සරෝජිනී, පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළුවීමට වරම් ලබනුයේ 1962 දීය. සම්ප්‍රදායික දෙමළ සිරිත් විරිත් අකුරට ම පිළිපදින්නියක වූ ඇගේ මව වන පරමේශ්වරී විශ්ව විද්‍යාලය බඳු තැනක පුළුල් සමාජ ඇසුරකට තම දියණිය යනු දැකීමට කැමති නොවූවාය. එහිදී ද සරෝජිනීගේ අනාගත ගමන් මඟ පාදා දීමට මැදිහත් වූයේ ප්‍රගතිශීලී දැක්මකින් යුතුව ලෝකය දෙස බැලූ පියාණන් ය. දියණිය පරිස්සම් කිරීමේ පූර්ණ වගකීම තමන් පිට පවරා ගත් පියා ඉතා අසීරුවෙන් මවගේ අනුමැතිය ලබා ගත්තේ ය.

“පේරාදෙණිය ගෙවපු ජීවිතය මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. අපි නතරවෙලා හිටියේ සංඝමිත්තා හෝල් එකේ. ජාති, ආගම්, කුලමල බේද මොකුත් ඒකෙ තිබුණෙ නැහැ. සිංහල දෙමළ බේදයක් නැතුව අපි එකතුවෙලා නාට්‍ය හැදුවා. විනෝද චාරිකා ගියා. අදටත් මගෙ හොඳම යාළුවෝ වෙලා ඉන්නෙ පේරාදෙණියෙදි අඳුරගත්තු අය.”

සරෝජිනීගේ මුහුණේ සතුටු රේඛා මතු වනු මට පෙනෙයි. ඒ සතුටේ සැඟවුණු තවත් පුවත් ඇතැයි මට සිතේ. “ඉතිං ඔය යාළුවෝ අතර විශේෂ අයත් ඇති නේද?” මම විමසමි.

“ඇත්ත, මට අරුණාචලම් මුණ ගැහෙන්නෙත් පේරාදෙණියෙදිම තමා. එයත් අපේ බැච් එකේ. එයත් යාපනේ. හැම පැත්තෙන් ම මට ගැලපුණා. ඒත් අම්මා ඒකටත් විරුද්ධ වුණා. වෙන මොකුත් හින්දා නෙමේ. මනමාලයෙක් තෝරලා දිය යුත්තේ දෙමව්පියෝ කියලයි එයා තදින් ම කිව්වේ. ඉතිං බොහොම කරුණු කාරණා කියා දීලා අන්තිමට ඒකටත් කැමැත්ත ගත්තා.”

සරසවි අධ්‍යාපනයෙන් පසු 1967 දී සරෝජිනීට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ පරිවර්තිකාවක ලෙස රැකියාවක් ලැබෙයි. ඉන් වසර කිහිපයකට පසු එනම් 1972 දී සරෝජිනී ඇගේ ජීවන සහකරුවා වූ අරුණාචලම්ගේ අත ගත්තාය. මෙසේ ජීවන ගමන නිම්නයකට පිවිසීමත් සමඟ සිංහල සාහිත්‍යයේ අගනා කෘති කිහිපයක් දෙමළ සාහිත්‍යයට හඳුන්වා දිය යුතු බව සිතූ ඇය එම කාර්යයට අත ගසන්නේ කුමාරතුංග මුනිදාස සූරීන්ගේ නිර්මාණ පෙළක් දෙමළ බසට පරිවර්තනය කරමිනි.

එතැන් පටන් සරෝජිනී දේවි අරුණාචලම් අතින් දෙමළ බසට නැඟුණු කෘති පෙළෙ මෙසේය. ‘මෙලියාර් මිඩ්ඩුකු’ (හීන්සැරය) ‘කල්‍යාණ සාපාධු’ (මඟුල් කෑම) ‘සෙත්තු පිල්ලයිත සින්නසාමි’ (හත්පන) ‘එනයිපිරිය තෝලර්’ (අඹ යාළුවෝ). මේ කෘති හතරම 1973 වසරේදී පළ කෙරිණ. මේ සමයේ කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හදාරන්නට අවස්ථාව උදාවීම ද ඇගේ සාහිත්‍ය කටයුතුවලට මහත් රුකුලක් විය.

ලාංකික සාහිත්‍ය විචාරකයන්ගේ අවධානයට ලක්වූ නවකතා කිහිපයක් ද සරෝජිනී අතින් දෙමළ බසට පරිවර්තනය විය. ආර්.ආර්. සමරකෝන්ගේ ‘ගේ කුරුල්ලෝ’ ‘සිට්ටු කුරුවිහල්’ නමින් ද, අනුලා විජයරත්න මැණිකේගේ ‘වඩබාගින්න’, ‘වඩවා මුහක්කිනි’ නමින් ද මහාචාර්ය සිරී ගුනසිංහගේ ‘හෙවනැල්ල’, ‘නිලලායි’ යනුවනේ ද ඇය විසින් දෙමළ බසට නඟනු ලැබුවාය. දින වකවානු මතක නැතත් මේ කෘති අතරින් කිහිපයකට අදාළ වර්ෂවල රාජ්‍යසම්මාන ද හිමි වූ බව සරෝජිනී පවසයි. පසු කලෙක ඉන්දියානු ජනකතාවක එන අන්දරේ බඳු චරිතයක් තේමා කරගත් ජනකතා පොතක් ද ‘තෙන්නාලි රාමන්’ නමින් ඇය ලියුවාය.

“එකිනෙකාට වෙනස් ශෛලියකින් ලියන ලේඛකයන් තුන් දෙනකුගේ පොත් පරිවර්තනය කිරීම දුෂ්කර වැඩක්. නමුත් මට ගේ කුරුල්ලෝ හා වඩබාගින්න පරිවර්තනය කළාට වඩා වෙහෙසක් මහාචාර්ය ගුනසිංහගෙ ‘හෙවනැල්ල’ කරද්දි දරන්න වුණා. කොහොම වුණත් මං ඒ පොත් තුන ම හරි ආසාවෙන් කළේ. ඊට පස්සෙත් මම පොත් කිහිපයක් ම පරිවර්තනය කළා. ජයසේන ජයකොඩිගේ ‘අමාවැස්ස’ දැන් ප්‍රකාශකයෙකුට බාර දෙන්න සූදානම් කර තිබෙනවා.”

“සිංහල භාෂාව හොඳට දන්න නිසා ඔබතුමියට නම් ජූලි කලබල කාලේ ප්‍රශ්න මතු වෙන්න නැතුව ඇති නේද” වාර්සිග ප්‍රශ්නය පිළිබඳ ඇගේ අදහස් දැන ගැනීමට මුල පිරීමක් වශයෙන් මම එසේ විමසමි.

“අපරාදෙ කියන්න බැහැ මේ වටේම ඉන්න සිංහල අය මාව හොඳට බලාගත්තා. ඒ වුණාට අපේ ම කට්ටියක් සිංහලයො වගේ ඇවිත් මාව බය කරලා කප්පං ගන්ඩ හැදුවා. මං උන්ව අඳුරගෙන පොලිසියට කිව්වා. එතනින් ඒකත් නතර වුණා. ඒ කාලේ මගේ මහත්තයා වැඩ කළේ අනුරාධපුරේ. ඔෆිස් එකේ කට්ටිය එයාව බේරාගෙන තියෙන්නෙ ළිඳක හංගලා. ප්‍රේමා පින්නවල කියලා මහත්තයෙක් තමා එතන ප්‍රධානියා. එයා මට කෝල් කරලා කිව්වා “මිසිස් අරුණාචලම් බය වෙන්න එපා. ඔයාගේ මහත්තයාට කරදරයක් කරන්ඩ වෙන්නේ අපේ මළකඳන් උඩින් කියලා. මම හිත හදාගත්තේ ඒ වචනෙන්....”

සරෝජිනීගේ එකම දියණිය පදිංචිව සිටින්නේ ඕස්ට්‍රේලියාවේය. නිවාඩු ගත කිරීමට කිහිපවිටක් එහි ගොස් ඇතත් ලංකාව හැර දා යන්නට කිසිම කැමැත්තක් නැති බව සරෝජිනී කියා සිටියේ මෙසේ ය.

“එහෙ පදිංචියට එන්න කියලා දුව කියනවා. ඒත් එහෙදි මං තනිවෙයි කියා මට හිතෙනවා. මෙහේ වගේ මිතුරු සමාජයක් එහෙ නැහැ. හැම පහසුකමක්ම තිබුණත් මෙහෙම නිදහස් ජීවිතයක් එහෙදි ගත් කරන්න බැරිවෙයි. මම මෙහේ තනියම ඉන්නකොට හවසට මල් වලට වතුර දානවා. මල් ගස්වල කොළවල රැඳෙන වතුරේ පුංචි කුරුල්ලො නාන හැටි මං බලා ඉන්නෙ හරි ආසාවෙන්. සිංහල කාන්තාවන් ඇවිත් මට උයා දී යනවා. මිතුරු මිතුරියො මාව බලන්න එනවා. ඒ සතුට මට ඕස්ට්‍රේලියාවෙදි ල‍ැබෙන්නෙ නැහැ...”

ඉදිරි කාලයත් මේ විදිහට හුදෙකලාව ගත කරන්නද ඔබේ කල්පනාව.

“මට හින්දු දහම වගේම බුදුදහම ගැනත් හොඳ අවබෝධක් තියෙනවා. එම්. ඒ වලට මම කළේ බෞද්ධ දර්ශනය. මගේ තීසිස් එක “බුද්ධ කර්ම යෝගි”. කර්මය පිළිබඳ බුදුන්ගෙ දැක්ම. යහපත් ජීවිතයක් ගත කළ නිසා යහපත් ප්‍රතිඵල ලැබෙයි කියලයි මම විශ්වාස කරන්නේ. ඕනෑම දෙයක් සතුටින් බාර ගන්නවා. මෙතෙක් ලැබුණු දේවල් ගැන සතුටුයි. ලේඛිකාවක් හැටියට මාව පිළිඅරන් සංස්කෘතික දෙපාර්තමේන්තුව 2013 අවුරුද්දෙ මට ‘දේශනේත්‍ර’ සම්මානය පිරිනැමුවා. ඊට පස්සෙ මේ අවුරුද්දේ ගොඩගේ ප්‍රකාශකයන් ජ්‍යෙෂ්ඨ ලේඛක ප්‍රණාමෙ දුන්නා. මගේ ජීවිතේදි ලැබිය යුතු බොහෝ දේවල් මට හිමි වී තිබෙන බව දැනෙනවා. ඒ නිසා මට දුක්වෙන්න පසුතැවෙන්න අවශ්‍යතාවක් නැහැ. ඉදිරි කෙටි කාලයත් කාටවත් කරදරයක් නොවී ගත කිරීම තමා දැන් මගේ එකම ප්‍රාර්ථනය.”

Comments