
1. ජාත්යභිමාන - මෙ ද කලින් වරෙක දැක්වුණු ‘ජාත්‍යන්තර’ වැනි ම වූ වදනෙකි. මෙ වදන නිපැදෙනුයේ ‘ජාතී’ හා ‘අභිමාන’ හා යන සංස්කෘත තත්සම දෙකෙහි එකතුවෙනි. ‘ජාති’ යන්නෙහි ‘ත’ ස්වර - ව්‍යඤ්ජන වශයෙන් වෙන් කළ කල්හි ත්+ඉ වෙයි. එහි ‘ඉ’ ස්වරය, ඒ හා අනුරූප අන්තඃස්ථාව වන ‘ය්’ බවට පත්වේ. නැතහොත් ‘ය්’ ආදේශ වේ. ඉක්බිති, ඒ ‘ය්’ ‘අභිමාන’ යන්නේ ආදි (මුල) ස්වරය වන ‘අ’ හා එක් වීමෙන් ‘ය’ වෙයි. එ කල මුළු වචනය ‘ජාත්යභිමාන’ වෙයි. යංශය යොදා ලිවීමේ සම්ප්රදායය අනුව ‘ජාත්යභිමාන’ වෙයි. මෙහි ලා වෙසෙසින් සැලැකිල්ල යොමු කළ යුතු කරුණ නම් ඒ යංශයට පසු ව ඇලපිල්ලක් නොයෙදෙන බව යි. එ හෙයින් බොහෝ දෙනකු ලියන නමුදු ‘ජාත්යාභිමාන’ යනු වැරැදි වදනෙකි. එහි නිවරද වහර නම් ජාත්යභිමාන යන්න ම ය.
2. ජාත්යනුරාග - ජාත්යභිමාන බඳු ම වදනෙකි. මෙහි දී සන්ධි වනුයේ ‘ජාති’ ‘අනුරාග’ යන සංස්කෘත තත්සම යි. පෙර දැක්වූ සිද්ධිය ම මෙහි දු සිදු වී ‘ජාත්යනුරාග’ යනු නිපැදෙයි. බොහෝ දෙනකු ලියන පරිදි ‘ජාත්යානුරාග’ යැ යි යංශයට පසු වැ ඇලපිල්ලක් යොදා ලිවීම වැරැදි බව මෙහි දී ද වෙසෙයි. සැලැකිල්ල යොමු කළ යුතු කරුණ යි. ජාතිය පිළිබඳ මා ඇති ඇල්ම මෙහි වදන් අරුත යි.
මේ මෙසේ වන නමුදු ‘ජාත්‍යාල’ යන්නෙහි නම් යංශයට පසු වැ ඇලපිල්ලක් නො වරදවා යෙදිය යුතුය. එහි දී සන්ධි වන්නේ ‘ජාති’ ‘ආල’ යන දෙ වදන බැවිනි. මෙහි ‘ආල’ යන්නෙහි දීර්ඝ ‘ආ’ ස්වරය යෙදෙනුයේ ‘ය්’ සමඟ එක් වීමේ දී ‘යා’ යන දීර්ඝ ව්‍යඤ්ජනය නිපැදේ. එ හෙයින්, මෙහි ලා ‘ජාත්‍යාල’ යන්න ම නිවැරැදි වනුයේ.
3. ජානු - ජානු යනු ද සංස්කෘත තත්සමයෙකි. එහි (දන්තජ) ‘න’ යෙදෙන සැටි වෙසෙසින් සැලැකුව මනා ය. පාලියෙහි මෙ වදන යෙදෙනුයේ (මූර්ධජ) ‘ණ’ සහිත වැ ‘ජාණු’ යනුවෙනි. එ හෙයින් මෙහි ලා ජානු, ජාණු යන දෙක ම නිවැරැදි ය. එ වුවද පාලි තත්සම සමඟ ‘ජාණු’ යනුත් සංස්කෘත තත්සම සමඟ ‘ජානු’ යනුත් යෙදීම වඩාත් ගැළැපේ. මේ හා අනුරූප වැ සිංහලයෙහි යෙදෙනුයේ දණ (දණ හිස) යන්න යි.
4. ජනන - කලින් වරෙක දක්වන ලද ‘ජනනි’ යන්නෙහි මෙන් මෙහි ද (දන්තජ) ‘න’ පමණක් යෙදීම කෙරෙහි සැලැකිල්ල යොමු කළ යුතු ය. මෙ වදන නිපැදෙනුයේ සංස්කතයෙහි ‘ජින්’ (ඉපැදීමෙහි) ධාතුවට ‘අත’ යන වර්තමාන කෘදන්ත ප්‍රත්‍යයය එක් වීමෙනි. (ජන් + අන = ජනන) එ හෙයිනි මෙහි (දන්තජ) ‘න’ ම දෙ වරක් යෙදෙනුයේ. ඉපැදුම යනු මෙහි වදන් අරුත යි.
5. ජීවමාන - මෙහි අග (මූර්ධජ) ‘ණ’ නො ව (දන්තජ) ‘න’ ම යෙදීමට අවධානය යොමු කළ යුතු ය. ‘ජීව’ යන්න හා ‘මාන’ ප්‍රත්‍යයය එක් විමෙන් නිපන් වදනෙකි. සංස්කෘතයෙහි මෙන් ම පාලියෙහි ද යෙදේ. සිංහලයෙහි මේ හා අනුරූප වැ ‘දිවමන්’ යන්න වේ. (දැනුදු) ‘ජීවත් වෙමින් පවත්නා’ යනු ජීවමාන යන්නෙහි අරුත යි.