ගද්‍ය කාව්‍ය | සිළුමිණ

ගද්‍ය කාව්‍ය

වචන වෙන් වෙන් වශයෙන් ගත් කල ගද්‍ය යනු රිද්මයකින් තොරව එක් දිගට ලියාගෙන යන වැකි සමූහයක් බව අමුතුවෙන් කිව යුතු නැත. කාව්‍ය යනු කවර ගුරුකුලයකට අනුගත ව වුවද නිර්මාණයකි. කාව්‍ය ප්‍රභේද පිළිබඳ ව පෙර සඳහන් කොට ඇත.

එහෙත් පද්‍ය නමැති නිර්මාණ විශේෂය හැඳින්වීමට මේ වනවිට යෙදෙන්නේ ‘කවි’ නොඑසේනම් ‘කාව්‍ය’ යන පද නිසා ගද්‍ය කාව්‍ය යන යෙදුමේ තරමක නොපැහැදිලි බවක් දැකිය හැකි ය.

සාහිත්‍යයට අදාළ පදවලට විශේෂ නිර්වචන නැත. එහෙත් මහැදුරු සුරවීරයන් විසින් දී ඇති මතු දැක්වෙන අර්ථ විවරණය ගද්‍ය කාව්‍යය යනු කවරකාරදැයි වටහා ගැන්මට රුකුල් දෙනු ඇත.

‘ගද්‍ය කාව්‍යය වෘත්ත බන්ධ නොකොට ගළපා ලූ අර්ථවත් වචන සමූහය ගද්‍ය නම් වේ යයි “වෘත්තබන්ධොජ්ජිතං ගද්‍ය” සාහිත්‍ය දර්පණ කතුවරයා දක්වා ඇත්තේ ය. වෘත්ත බන්ධයෙන් තොර වූ වාක්‍යය ගද්‍යය යනු එයින් පැහැදිලි කෙරෙයි. පැරණි කාව්‍යාලංකාරිකයෝ කථාය ‚ ආඛ්‍යයිකා ය යි ගද්‍ය යේ ද්විප්‍රභේදයක් දක්වති. ඇතැම්හු ආඛ්‍යාන ද එක් කොට එහි ප්‍ර භෙදත්‍රයක් දක්වති.

ගද්‍ය කාව්‍යය පිළිබඳ මෙබඳු ප්‍රභේද ඇතත් ගද්‍ය‚ පද්‍ය‚ චම්පු යන ප්‍රධාන බෙදීම් තුන අනුව ගොස් අද ගද්‍ය කාව්‍ය යන්නෙන් අදහස් කෙරෙන්නේ ගද්‍යයෙන් රචිත සාහිත්‍යමය රචනා ය. ’

(සුරවීර ඒ.වී.; සාහිත්‍ය විචාර ප්‍රදීපිකා‚ ප්‍රදීප - 1991- 47පිට)

ගද්‍ය කාව්‍ය පිළිබඳ සංකල්පයට ක්‍රිපූ පස් වන සිව්වන සියවස්වල විසූ සංස්කෘත පුරාණාචාරීන් තරම් දුරට මුල් ඇති බව පෙනෙයි. පැදි රස විඳින්නේ ගායනය කරමිනි. හඬ නඟා නොකියවා ඒවායේ නියම රසය මතු නොව අරුත පවා ග්‍රහණය කැර ගැනීම අපාසු ය. එහෙත් ගැදි රස විඳින්නට හඬ නගා කීම අවශ්‍ය ම නොවේ. පැදියක මෙන් නොව ගැදියක අරුත වටහා ගැනෙන්නේ බොහෝදුරට නිහඬ කියැවීමකිනි.

නිර්මාණකරුවන් සිය කෘති ඉදිරිපත් කිරීමේ දී එසේ කරන ශෛලි තිබේ. ඒවා පූර්වගාමීන්ගේ ආභාසයෙන්‚ අනුකරණයෙන් පවත්වා ගන්නක් හෝ ස්වීය ක්‍රමයක් හෝ විය හැකි ය. කිසියම් කර්තෘ කෙනකු ගද්‍ය යෙන් ඉදිරිපත් කරන සිය නිර්මාණය සිතා මතා ම කිසියම් තාලයකට නොඑසේනම් වෘත්තයකට තිබිය යුතු ය සිතා සිය නිර්මාණය ඉදිරිපත් කරනවා විය හැකි ය. එය ඒ කර්තෘගේ ශෛලිය වන අතර ඔහුගේ නිර්මාණ සැමෙකකම පාහේ එය දැකිය හැකි වනු ඇත. එමගින් එම කතෘට ම අනන්‍ය වූ ශෛලියක් වෙනස් ආකාරයකින් කියනවා නම් රටාවක් තිබිය හැකි ය.

සාහිත්‍ය නිර්මාණ සඳහා අප රටට ආභාසය ලැබුණේ පුරාතන භාරතයෙන් වන හෙයින් අපගේ සෑම දෙයක් ම විග්‍රහ කෙරෙනුයේ එම මතවාද හා සිද්ධාන්ත අනුව ය යන්න බැහැර කළ නොහැකි කරුණකි. කාව්‍ය නිර්මාණ දෙස අපගේ විමසුම් ඇස යොමු වන්නේ ඔවුන් විසින් දක්වන ලද පරාසයේ වීම මෙනිසා අනිවාර්යයෙන් ම සිදු වන්නකි.

මුල් ම සංස්කෘත ගද්‍ය කාව්‍යය දණ්ඩින්ගේ ‘දශකුමාර චරිතම්’ බව උපකල්පනය කළ හැකි ය. ඊට පෙර වීර කාව්‍ය‚ මහා කාව්‍ය වැනි පද්‍යමය නිර්මාණ ගැන විනා ගද්‍ය නිර්මාණ ගැන සඳහනක් නොමැත. දණ්ඩින්ට අනුව ගද්‍ය කාව්‍ය 1. ආඛ්‍යයිකා සහ 2. කතා යන දෙවගෙකි.

භාරතීය පඬිවරුන්ගේ පෙරහැරේ දණ්ඩීන්ට පසුව එන වාමන ගද්‍ය තෙආකාර ශෛලියකින් යුක්ත විය යුතු බව පෙන්වා දෙයි. ඒවා නම් 1. වෘත්ත ගන්ධි 2. කුර්ණ සහ 3. උත්කාලිකාප්‍රාය යි. එහෙත් ඉහත සඳහන් මහාචාර්ය සුරවීරගේ කෘතියේ දැක්වෙන පරිදි වෘත්ත ගන්ධි සහ උත්කාලිකාප්‍රාය යන දෙක ම එකකි.

‘ශබ්ද අනුප්‍රාසය ඇති වන සේ රචනා කෙරෙන ගද්‍ය ශෛලියකි. 'වෘත්ත ගන්ධි' යන්නෙහි අර්ථය නම් 'වෘත්ත ගන්ධය ඇති' යනු ය. වෘත්ත සහිත කොටස්‌වලින් බැඳුණ හෙයින් ඒ නම යෙදේ, මේ ශෛලිය සඳහා 'උත්කාලිකාප්‍රාය' කියා ද භාවිත කෙරේ. 'උත්කාලිකා' යනු තරංගයට නමි. යම් ගද්‍ය කාව්‍යයක තරංග සේ නැඟීම් බැසීම් වේ නම් එබඳු ගද්‍ය කාව්‍යය උත්කාලිකාප්‍රාය වේ.’

(එම කෘතිය 124 සහ 125 පිටු)

පුරාතන සිංහල සාහිත්‍ය ගද්‍ය කාව්‍ය යන විෂයයෙහිලා ඉතා ප්‍රකට උදාහරණ බොහොමයක් ඇති බව දැක ගත හැකි ය. ඊට හේතුව පසු කලෙක භාරතයේ ජනප්‍රිය වූ මාගධී හෙවත් පාලි සාහිත්‍යය විය හැකි ය. මීට හොඳම උදාහරණය ගුරුළුගොමීන්ගේ අමාවතුර යි.

‘ඒ ඇත් දිග එක්සිය පණසක් යොජුන් වැ‚උස අනූ යොජුන් වැ‚ බොල පණස් යොජුන් වැ තෙතිස් කුඹතල ඇති වැ මැවෙයි. එකෙකි කුඹතෙලෙහි සත්සත් දළ මැවෙයි. එකෙකි දළ පණස් පණස් යොජුන් වෙයි.........’ (අමාවතුර - දේවදමනය)

කුරුණෑගල යුගයේ රචිත දළදා සිරිත සම්පූර්ණයෙන් ම ලියැවී ඇත්තේ වෘත්ත ගන්ධි ශෛලියෙනි.

අමාවතුර රචනයේ දී ගුරුළුගොමීන් විසින් පාලි සාහිත්‍ය කෘති ඍජුව ම පරිවර්තනය කරන ලද බව වැලිවිටියේ සෝරත නාහිමියන් උපුටා දක්වමින් මහාචාර්ය විමල් බලගල්ලේ විසින් පෙන්වාදෙනු ලැබ ඇත. (දිවයින - වටමඬල 2009 අගෝස්තු 19)

ග්‍රීක සාහිත්‍යය විෂයයෙහි පැරණිතම විචාර කෘතිය ඇරිස්ටොටල්ගේ ‘කාව්‍ය ශාස්ත්‍රය’ (Poetics) ය. එහෙත් එහි ගද්‍ය නිර්මාණ ගැන කිසිවක් සඳහන් නොවේ. එහි එන්නේ පද්‍ය සහ නාට්‍ය ගැන විවරණ පමණි. එහි අරුත ඒ වනවිට ග්‍රීසියේ නිර්මාණාත්මක ගද්‍ය සාහිත්‍යයක් නොතිබීම විය හැකි ය. සමහරවිට ඇරිස්ටොටල්ගේ එම කෘතියෙන් ඒවා ගැන අවධානය යොමු නොකළා ද විය හැකි ය. ඔහුගේ ආචාර්ය ප්ලේටෝ ද ගද්‍ය කෘති ගැන සාකච්ඡා කළ බවට සඳහනක් නොමැත.

ගද්‍ය කාව්‍යය (Prose Poetry) යන්න බටහිර සාහිත්‍ය යේ සාකච්ඡාවට බඳුන් ව ඇත්තේ ඉතා මෑතක දී එනම් 17වන සියවසේ අගභාගයේ පමණ ය.

ග්‍රීක සාහිත්‍යය විෂයයෙහි පැරණිතම විචාර කෘතිය ඇරිස්ටොටල්ගේ ‘කාව්‍ය ශාස්ත්‍රය’ (Poetics) ය. එහෙත් එහි ගද්‍ය නිර්මාණ ගැන කිසිවක් සඳහන් නොවේ. එහි එන්නේ පද්‍ය සහ නාට්‍ය ගැන විවරණ පමණි.හේතුව ඒ වනවිට ග්‍රීසියේ නිර්මාණාත්මක ගද්‍ය සාහිත්‍යයක් නොතිබීම විය හැකි ය. සමහරවිට ඇරිස්ටොටල්ගේ ඒ කෘතියෙන් ඒවා ගැන අවධානය යොමු නොකළා ද විය හැකි ය. ඔහුගේ ආචාර්ය ප්ලේටෝ ද ගද්‍ය කෘති ගැන සාකච්ඡා කළ බවට සඳහනක් නොමැත.

ගද්‍ය කාව්‍යය (Prose Poetry) යන්න බටහිර සාහිත්‍ය යේ සාකච්ඡාවට බඳුන් ව ඇත්තේ ඉතා මෑතක දී එනම් 17වන සියවසේ අගභාගයේ පමණ ය.

Comments