කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

මතක සැම­රුම්

දිවං­ගත පී මල­ල්ගොඩ කවියා ප්‍රධාන ලේකම් ධූරය හෙබවූ , සමස්ත ලංකා සිංහල කවි සම්මේ­ල­නයේ, 1999 වාර්ෂික සම්මේ­ලන සංව­ත්ස­රය පව­ත්වන ලද්දේ එම වසරේ දෙසැ­ම්බර් 31 වැනි දින වයඹ, බිංගි­රිය සිරි සර­ණං­කර මධ්‍ය මහා විද්‍යා­ල­යේය. එව­කට, කවි සම්මේ­ල­නයේ ගරු සභා­ප­ති­ත්වය ඉසිලුයේ පන්සලේ පිය­නම ලෙසින් විරු­දා­වලී ලද ,මර්ස­ලින් ජය­කොඩි පූජ්‍ය ප්‍රසා­දීන් වහ­න්සේය. මෙදින ජය­කොඩි පිය­තුමා ඇතුළු ප්‍රවීණ කවි කිවි­ඳි­ය­න් රැසක්ම දැන ඇඳුනා ගැනීමේ භාග්‍යය මට ද ලැබිණි. ඉන් ලැබූ ප්‍රහ­ර්ෂය කොත­රම් ද යත් එම සතියේ ම පිය­තු­මන් අමතා කවි හසු­නක් ලිවීමී. ඊට ප්‍රති­චාර වශ­යෙ­න්, උන් වහන්සේ ස්වකීය කාර්ය බහු­ල­ත්වය ද අම­තක කර මවෙත පිළිතුරු හසු­නක් එවූහ. එහි වූයේ සිව් පද තුනකි.


ජේ .ජේ වික්‍ර­ම­සේන
අප මිතුරු ජේ.ජේ වෙත,


එව් ලිය­මන ලැබී මට දිගු කලක් ගියා
බැරි විය එව­න්නට නිසි පිළි­තු­රක් ලියා
අරමේ වැඩ මැදින් අද හෙට ලියමි කියා
ගැණ ගැණ ඇඟිලි හිඳ ඉඩ කඩ ගතිමි සොයා

මා මැදි මගෙයි නැත දකු­ණක් වමක් මට
ජඃ !පිට!මඃ කියමි ඒරිය කඳෙහි සිට
ජඃ දකු­ණට වමට පිට මඃ යනු මැදට
මේ සීප­දය කිය­මින් දක්කමි ගමට

අපි කවියෝ කලා­ක­රුවෝ නොමැත පැතී
බලු පොර යන විට කවියෝ සිනා සෙතී
ලෝකය හද­න්නට අපි හැදෙමු යි කියතී
ගොනුන් රියට ඈඳා තම ගමන් යතී


මර්ස­ලීන් ජය­කොඩි පිය­තුමා


ඇත් රජුනි...

නුඹේ රැක­ව­ර­ණ­යට
සොබා දහම දුන්
දළ යුගළ දෙස
රුදුරු නෙත් අයා සිටි
පාප­ත­ර­යන්......

නින්දි­තයි...තුච්චයි...
වන දිවි රකි­න්නට
සපථ කළ­ මි­නි­සුන් ද
මර නින්දේ සිටිය හැටි....


රත්න­සිරි පති­රණ


වත්මන

අරුත් වැස්ස
ඇද හැලු­ණත්
මිනි­ස්කම අත­හැර
ලෝ දහ­මින්
පලා­යන
ආශාවේ
වහල් බව

කරු­ණා­රත්න අත්ත­නා­යක


රන් කැබලි

කවි තුළ ‍
සොය­න­වාට වඩා
ජීවි­තය...

ජීවි­තය තුළ
සොයමු
අතු­රු­ද­න් වූ
කවි

හාර හාර
රැදුරු පස්තට්ටු
ඇහිඳගත ­යු­තුය
අප සඟ­යිනේ
ඒ අනගි රන් කැබලි

කේ. පී. ඩබ්. ප්‍රියන්ත ජය­ලත්


සසල වූ අහ­ස්කුස

රූරා වැටෙයි
තුරු පත් මතින්
ඒ කඳු­ළැලි
අහ­ස්කු­සට
දරා­ගනු බැරි වූ...

ඇයි ද මෙත­රම්
දුක් සුසුම් ගෙර­වුම්
තුටු වන්නෙමු අපි....

එහෙත්,
නුඹේ දුක කිම....?
නොද­නිමු...

තුරු වදුලු කර­කවා
රුදුරු ලෙස
කිම්ද
ඔබේ දුක...?
ඇයි ද මෙත­රම් සසල වී
බලනු මැන
සංසි­ඳුණු පසු
ඔබේ රෝෂ
වින්නැ­හිය ඔබ කළ

පින්ස­රණී සේනා­රත්න


ඇත් රජුනි...

නුඹේ රැක­ව­ර­ණ­යට
සොබා දහම දුන්
දළ යුගළ දෙස
රුදුරු නෙත් අයා සිටි
පාප­ත­ර­යන්......

නින්දි­තයි...තුච්චයි...
වන දිවි රකි­න්නට
සපථ කළ­ මි­නි­සුන් ද
මර නින්දේ සිටිය හැටි....


රත්න­සිරි පති­රණ


අම්මා

සරා සඳ නැගෙන සඳ
දිලෙන තරු එළිය මැද
මැවෙයි ඔබ වත කමල
මවුනි මා දයා­බර....

නොදැක ඔබ සොඳුරු රුව
ගෙවී යන මා දිවිය
බෙහෙ­වින්ම අමි­හි­රිය..

හිස්තැ­නකි දිවි ගඟුල
නමුදු තිර අදි­ට­නින්
ජය ගැනු­මට ජීවි­තය..

වෙර දරමි ඔබ නමින්..
යහ ගුණෙන් පිරි­පුන්ව
ඔබෙන් ලද අනගි වූ
මනු ගුණ දම්වලින්
පොහො­සත්ව ඔප­වත්ව
පදිමි මා දිවි සයුර...

සංජීවි ජයසූරිය


අරු­මය

කෑම බීම ඉඳුම් හිටුම් තිබු­ණට
සම වයසේ විලා­සිතා දකින විට
අපේ ගෙදර තිබු තහංචි වැඩි­ක­මට
නැති නිද­හ­සක් ගැන දුක­කුත් සිතුණි මට

පිය සෙනෙ­හස සමඟ අණ­සක රැව් දුන්නා
ක්‍රීඩා පිටියෙ පම­ණක් නිද­හස දුන්නා
පාසල් මවුන් තව දුර­ටත් දිරි දුන්නා
ලද දේ තුළින් සැන­සෙ­න්නට සිත දුන්නා

අග­හි­ඟ­කම් සමඟ යට විය ආයිත්ම්
මතු­විය නේක සේවා පිළි­බඳ යුතු­කම්
මැදි­විය සමඟ ආවා තර­මක සැන­සුම්
නිදහස ගිලගත්තෙ හෙමි­හිට සක­සු­රු­වම්

ඉසි­ඹුව ලැබූ පසු පැතු නිද­හස ආවා
සීමා වැට කඩොලු කිසි­වක් නැති වූවා
රිදුම් දෙවන සිත කය ලෙඩ දුක් කීවා
ජීවි­ත­යක අරුම මේ යැයි සිහි වූවා

ඉන්ද්‍රා විම­ල­සිරි


ඉල්මහේ මතක

ඉල්මහේ ඉකි­ලන තනි­ක­මට
රුකුල් දෙන සීතලේ
වැහි කඳුළු දරා­ගෙන
නිසො­ල්මන් වෙන
මහපොළොවටත්

අතී­තයේ
දෝංකා­රය සඟ­ව­මින් ‍‍
හැඬුම් වයන වන ළැහැ­බ­ටත්
හැකි ­වේද...

සඟ­වන්න
ඔබ නැතිව වැල­පෙන
ඒ ඉල් මහේ මතක

නිර්මාණි කොළ­ඹගේ


සම­ගිය

මුතුවැලක නූල මෙන් එකි­නෙ­කට ගොනු වෙමු
සම­ඟි­දම පෙන්ව­මින් ජය ටැඹ ට ළං වෙමු
එකි­නෙකා කුළල්කා ගත් යුගය හැර­ලමු
සැවොම අපි එකතු වී ජාති­යට පණ දෙමු

විලක පිපි තනි කුසුම නැහැ‍ෙන ලස්සන වෙන්නෙ
ගොමු ගොමුව කුසුම් ළෙල දෙන විටයි හැඩ වෙන්නෙ
මුවට මුව තිය තියා කුහුඹි මොනවා කියන්නෙ
එකා­ මෙන් වැඩ ­ක­රමු ඇයි භේද වී ඉන්නෙ
මහ ගහේ අතු බෙදී නව­ය­කට වෙන්ව ඇත
සූවිස්ස ලෙසට එහි අතු ඉතිද බෙදී ඇත
තනි අත්ත බර කළොත් එය කැඩී වැටෙනු ඇත
අතු­ව­ලට දෙන පොහොර සමව දිය යුතුව ඇත


වැලි­පත පඤ්ඤා­නන්ද හිමි


ආද­රය කිය­න්නෙම ගින්ද­රක්..

ළං වුණොත් නුරා ගින්නෙන් දැවෙයි
ඇද වැලඳ සිප සදා හිමි­කම් පතයි
වෙන් වුණොත් වියෝ ගින්නෙන් දැවෙයි
අහිමි ජීවිතේ කුමන පලදෝ සිතෙයි..

මුළු හදින් ආද­රෙයි කෙඳි­රු­වත්
දරා ගන්නට හැකිද
පපුව මැද සුළු රිදු­ම­කින් ඇරඹී
සියො­ලඟම දවන දුක් ගින්ද­රක්..

කාලයේ ඇවෑ­මෙන් නිවී නිවී ගියද
යළි යළිත් හද පාර­වන
සුව නොවී පව­තිනා උම­තු­වක්
ආද­රය කිය­න්නෙම ගින්ද­රක්


චම්පිකා විජේ­සිංහ
 


ජීවි­තය අබි­යස

කවි­යක් සේ සොඳුරු
ඔබේ නිල් දෙනු­ව­නින්
මා සිතේ ගන­ඳුර
මොහො­ත­කට හෝ නිවනු මැන..

ගීත­යක් වගේ විටෙක
දෙස­වන් සන­සනා
ඔය සොඳුරු කටහඬින්
දිවි අරුත කියා දෙනු මැන...

ජීවිතේ මහා දුක් මැද
මං මුළා වූ හද­ව­තට
තරු ලකු­ණක් වී
මඟ කියනු මැන..

ආද­රය සොය­මින්
සුබ සිහි­න­යක් දකිනා
මේ හද පුද­සුනේ
සිය­ප­තක් වී පිපෙනු මැන.

(ප්‍රේම­යට ඉඩක් ඇත කාව්‍ය සංග්‍ර­හ­යෙනි)
සුපුන් අතු­කෝ­රල


වෙන්ක­ණ්ඩියේ අලි අම්මා


නිමිත්ත- ලාහු­ගල , මාදුරු ඔය ජාතික උද්‍යා­න­වල සිට රුහුණු ජාතික උද්‍යා­න­යට වාර්ෂී­කව සිදු­වන අලි සංක්‍ර­ම­ණ­යේදී වෙන්ක­ණ්ඩිය ප්‍රදේ­ශ­යේදී ගැබ්බර ඇති­න්න­කට වෙඩි තැබීම..

මාදුරු ඔයෙන් රුහු­ණට යන ගමන් මඟ
නිජ­බිම වුණා පෙරදා සිට පැවත එන
උරු­මය උඹේ පෙන්න­න්නට සිතා ගෙන
යන්නට උණේ අපෙ නිජ­බිම සොයා‍ ­ගෙන

සාගම බුදං­ගල පහු­ක­ර­ගෙන යන්නා
සිටි සිටි ගගා දිය කඳු­ළැලි බේරෙන්නා
කැකුළු වියේ විඳි නිද­හස සිහි වෙන්නා
හිරේ විලං­ගුවෙ වැටිලා හිත දන්නා

අම්මෙක් මමත් දෙවි­යනි කෝ මට කරුණා
යන්නට අතක් නෑ ගිනි වැට අත වනනා
දව­සින් දවස මුළු කැල­යම ගිනි ගන්නා
පුත උඹෙ හෙට දවස සිහිවී හිත දන්නා

දිවුල් ගහෙන් ගෙඩි නෑ කුස පුර­ව­න්නට
සාගම වැවෙත් දිය නෑ තිබ­හට බොන්ට
අනේ අම්මේ තව බෑ මට ඉව­ස­න්නට
ඒකද පුතේ ඇන්නේ මගෙ දකු­ණැ­ලට

බැරි තැන ඉන්න­ ඉවසා­ගෙන කුස­ගින්න
පැන්නා හේන­කට කිරි වැදිලා තිවුණ
කඩලා ගත්තේ එක ගහ­මයි ඔන්න
විදලා ගියා කුස මගෙ දෙප­සට උණ්ඩ

මිනි­ස­ත්ක­මට හොඳ­දැයි මේ ලෙස කෙරුම
ඇති­නකි මමත් කුස තුළ පැට­වෙකු ඉන්න
නිජ­බිම අපේ ගත්තත් නෑ කෙරුවේ වෛර
ඉරිඟු ගහට සින්නද පුත අපි දෙන්න


අනු­පමා සෙවි­වන්දි හේරත්


නුඹ කඳු­ළකි

මතක කඳු­ළක් සෙමෙන් වැගිරේ
ගෙවුණු එදවස සිහි වෙලා....
කඳුළු ඔරුවේ පාවුණා මම
නුඹ පති­නි­යක වී හිනැ­හුණා..

ළසෝ ළතැ­වුල් පමණි මා ළඟ
ඔබේ ලෝකය ගොලුවෙලා....
මවකි අද ඔබ සෙනෙහෙ දෙවනා
මගේ ලෝකෙන් සැඟ­විලා..


චතුර අම­ර­තුංග


සඳ සහ කළු­වර

කළු­ව‍රෙන්
විව­රණ ලබා
සඳ

හෙමින් හෙමින්
සළු මුදයි
යහන්ගත වන්ට
මිහි­කත සනහා

නිහාල් ගුණ­ව­ර්ධන


මුළාවූ යෞව­න­යට

අහසේ තරු­වක් කියලා
නියෝන් එළි­යට රැව­ටුණු
කලා­මැ­දිරි කළු කුමා­රයෝ ....

මත්වුණ දෙනෙ­තින් හිනැ­හෙන
හිස්වුණ හැඟු­මක දැව­ටෙන
අඳුරේ සැඟ­වුණු කුමා­රියෝ ...

රෑ අහසේ අඳුර බරයි
සඳට උණත් මෙරු රැව­ටෙයි
ඉගිළී අල්ලන්න හදාවී ...
සත්තයි උන් හෙම්බත් වේවී ....

වීදී පහන් එළි දුබ­ලයි
හද - මුහු­ණෙන් වසන් කරයි
එත­නදි හෙව­ණැලි නොපෙ­නේවී
නුඹෙ ඇසට ම නුඹ රැව­ටේවී ....


ජගත් ප්‍රසන්න කුරු­ගම


කූවන්නා නොවෙමි මම

කුවණ්ණා නොවෙමි මම
සුළු වැරැ­ද්දෙන් වැදූ පැටවා
අරන් තම්මැ­න්නා­වට පැන ගිය
මමයි පත්තිනි යකෙ­කුගේ රළු
පපු කැනැ­ත්තට පෙම් කළ...

එදා නිදි යහන වටේ කැර­කුණ
සුදුම සුදු ඇත් පැටවා සිහි­නෙන් දැක
පෙකණි වැලෙන්ම ගෙලලා මරා
එළි වෙන­කන් අඬපු මහ­මායා
මමයි නුඹ සුද්ධෝ­දන නොවුණු....

නුඹේ වාසි­ය­ටම හදපු සතර පෙර නිමිති
ඉස්ස­ර­හට දමලා ගිහි ගෙයින් නික්මුණේ
නුඹේම නිවන සොයා­ගෙන නම්
මටත් තිබුණා යශෝ­ධරා වගේ
ස්ත්‍රෝත්ර ගයන්ට නුඹ යන පෙර­ම­ඟට...

නිදි පැදු­ර­ටත් නොකි­යාම උඹ ගියදා පටන්
මටත් වුණේ එක්ටැම් ගේක හිර වෙච්ච
උන්මාද චිත්‍රා වගේ කඳුළු බි බී බලන් ඉන්න‍
­එත් සියල්ල සිදු වූ පසුයි ආරංචි වුණේ, නුඹ
පස් මහ බැලුම් හෙළුවේ මට විත­රක්ම
නෙවෙයි කියා.....

ආසිරි රුක්ෂාන්


ඒක ඇත්තම කතාවක්...

වෙඩි තබා මුවහත් උදැල්ලෙන්
වෙන් කළා කඳු කැබැල්ලක්
වැඩි කලක් නෑ සෑදුවා එහි
බ්ලොක් ගලින් නිමැවූ ගෙයක්...


කඳු වුණත් වෙන් වෙලා ඉන්නෑ
ඒක ඇත්තම කතාවක්
ළඳු කැලෑවක් රැගෙන වැස්සෙම
ගෙට ඇවිත් දුක කතාවක්...


සාමා අමරලා නයනා එහෙමත්
කිව්වා මතකයි වතාවක්
කැලෑ පවුරුත් හුස්ම ගන්නවා
එ්ක ඇත්තම කතාවක්....


අසේල ජේ. කිතුල්ගල

Comments