
මෙවර මෑන් බුකර් ත්‍යාගය සඳහා නිර්දේශ වූ අවසන් සය දෙනාගේ කෙටි ලැයිස්තුවට අයත් ලේඛක ලේඛිකාවන් සිය නිර්මාණවලට පසුබිම් වූ එහෙත් මෙතෙක් අප්‍රකට ව පැවැති කතා ‘ගාඩියන්’ සමඟ හෙළිදරව් කර තිබිණි.
පොතේ සමහර තැන් මගේ ජීවිතයෙන් ම උකහාගත් දේවල්
4321 - පෝල් ඔස්ටර්
4321 නවකතාවේ කතුවර පෝල් ඔස්ටර් සඳහන් කරන්නේ සාමාන්‍යයෙන් නවකතාවක් ලිවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය එහි ආකෘතිය වනසේ ගොඩනැඟීමට පෙර ම එක් රැස්වන බව ය. එසේ වුව ද සිය නිර්මාණ ජීවිතයේ පළමු වරට 4321 ලිවීමේදී මුලින් ගොඩනැඟුණේ ආකෘතිය බව ඔහු පවසයි.
“මං ලියන මේසයට වාඩිවෙද්දී කතාව ඒ වනවිටත් ගොඩනැඟිල තිබුණා. මට වැය කරන්න තිබුණෙ ලිවීමට ගතවන කාලය පමණයි. මං කළේ ඒ කතාව කඩදාසියට ගැනීම...”
පෝල් ඔස්ටර්ගේ 4321 නවකතාව ඔහුගේ සෙසු කෘතීන්ට වඩා වෙනස් බව ඔහු පවසයි.
මගේ ප්‍රබන්ධ අතර පළමුවතාවට ඓතිහාසික සිදුවීම් 4321 දී ඉදිරිපෙළට පිවිසෙනවා... මේ විශාල කෘතිය මගේ ඇතුළාන්තයේ ම තැන්පත්ව තිබුණා බඳුයි. ෆර්ගියුසන්ගේ ජීවිතය හුඟාක් පැතිවලින් මගේ ජීවිතය හා සමපාත වෙනවා. ඔහු ඉපදුණෙත් මං උපන්න 1947 වසරේදීමයි. මං ජීවත්වුණු සෑම තැනක ම ඔහුත් ජීවත්වෙලා තියෙනවා. එතකොට කාලානුක්‍රමය වගේ ම භූගෝලීය සාධකත් සමානයි. මේ හැරුණාම පොතේ සමහර තැන් මගේ ජීවිතයෙන් ම උකහාගත් දේවල්...?
මෙය මට විශිෂ්ට ත්‍යාගයක්
History of wolves - එමිල් ෆ්‍රීඩ්ලන්ඩ්
අවසානය දක්වා ම කියවන තෙක් කතාවෙන් කියැවෙන්නේ කුමක්දැයි වටහාගත නොහැකි වීම බොහෝ ප්‍රබන්ධවල දැකිය හැකි ලක්ෂණයකි. අවසන් සිදුවීම හෝ වාක්‍ය මඟින් ඊට පෙර සිදුවූ සියල්ල පිළිබිඹු වේ. එමිලි ෆ්‍රීඩ්ලන්ඩ් කියන්නේ එවැනි අවසාන ගණනාවක්ම History of wolves කෘතියේ ඇති බව ය.
අත්පිටපතේ සංස්කරණ කටයුතු සිදුකරන අතරතුරත් මං කතාවේ අවසානය ගැන තවදුරටත් කල්පනා කළා. මේ කාලය මං දරුඵල අපේක්ෂාවෙන් ප්‍රතිකාර ලබමින් සිටි අවදිය. පොතේ වැඩ අවසන් කළ යුතු දින ආසන්න වී තිබුණා.
මගේ ප්‍රතිකාර ගැනත් මං සිතමින් සිටියා. කොහොම නමුත් මේ ආසන්න කාලයේම මං මගේ පුතා, එලියට් බිහි කළා. මේ සියලු කාරණයත් එක්ක පොතේ අවසානයත් විවෘතයි. ජීවිතයේ ඕනෑම අවස්ථාවක වෙනස්කම් ඇතිවිය හැකියි. මේකත් හරියට ඒ වගේ. මේ කතාවේ අවසානය, පෝල් ගැන කල්පනා කරන කොට විශිෂ්ට ත්‍යාගයක් බඳු යැයි මට සිතෙනවා...”
මේක ස්වයං අපදානයක් නෙවෙයි
Exit West - මොෂින් හමීඩ්
මං ඉපදුණේ ලාහෝරයේ, ජීවත්වෙන්නෙත් ලාහෝරයේ. ඒත් මම කලවම් මනුස්සයෙක්. මිනිස්සු හිතන්නෙ අපේ ඇස් එක් මහාද්වීපයකට අයිති වෙද්දී කොණ්ඩය අයිති තව මහාද්වීපයකට කියලා. අපෙන් සමහරු ඇතුළාන්තයෙන් ම කලවම්. අපි කලවම් කියන කොට සිතන - පතන, කතා කරන විදිහ වගේ ම අපේ විශ්වාසයත් මොනවගේ ද කියන එකත් බලපානවා. ඒ; අපි වැනි කලවම් මිනිසුන් බිය ගැන්වූ සමයක්. පාරිශුද්ධභාවය ඉතාමත් දැඩි අදහස් තිබුණා. ඒක එක්තරා වියරුවක්.
මේක ස්වයං අපදානයක් නෙවෙයි. මගේ ජීවිත අත්දැකීම් ලිවීමක් කියල කියන්නත් අමාරුයි. ඒත් එය ලියා අවසන් කළ පසු ඒකෙ ස්වයං අපදානමය ලක්ෂණ සමහරක් මං දැක්කා. ඒක භූගෝලීය වශයෙන් ස්වයං අපදානමයයි. ඒ බොහොමයක් තැන් මගේ ජීවතයටත් සම්බන්ධයි.
මගෙ අතින් ලියැවුණේ ඒකාකාරී ආත්ම භාෂණයක්...
Elmet - හියෝනා මොස්ලි
මං මේ නවකතාව අවසන් කරල තිබුණේ නෑ. ඉදිරියේදී අවසන් කරන එකකුත් නෑ. ඒ ගැන සිතද්දීත් මං ටිකක් පසුබානවා. මං ලිවීම යොදාගන්නෙ චිකිත්සාවක් හැටියට කොහොම වුණත් එය ඒ තුළට ඇති ගැටලුවක් නෙවෙයි. මගේ ප්‍රියතම ලේඛකයන් බොහොම දෙනකුත් මේ දේම කරනවා. එහි ප්‍රතිඵලත් විශිෂ්ටයි.
පසුගිය අවුරුද්දේ මං කියවපු නවකතා කිහිපයක් ම පැහැදිලිවම ස්වයං අපදාන. ඒවා නිසැකවම චමත්කාරජනකයි. ඒත් මා සම්බන්ධයෙන් එය එසේ වූයේ නෑ. මගෙ අතින් ලියැවුණේ ඒකාකාරී ආත්ම භාෂණයක්...
මං ලියන්න පටන් ගත්තාට පසුව මට ගවේෂණය කරන්න අවශ්‍ය වුණු සමාජ ප්‍රශ්න රාශියක් ම තිබුණා.
නවකතාවක් ආරම්භ කළ යුතු හොඳම විදිහ ගැන මට පැහැදිලි අදහසක් තිබුණෙ නෑ. ඒත් මං අවශ්‍යයෙන් ම දැනසිටියා. වෙනත් යමක් ලියන්න ගියා නම් මං ඒක අත්හැරල දාන්න තිබුණ කියන එක. දේශපාලන න්‍යාය පත්‍රවල සමහර අවිනිශ්චිත ස්වභාවයක් පරීක්ෂා කිරීම ගැනත් මගේ උනන්දුවක් තිබුණා.
මං ලිව්වෙ ප්‍රබන්ධ නොවන දේවල්
Lincoln in the Bardo - ජෝර්ජ් සොන්ඩර්ස්
මේ නවකතාව ලිවීමට මට ආවේශය වුණේ 1990 ගණන්වලදී අහන්න ලැබුණු කතාන්දරයක්. තමන්ගේ මිය ගිය පුතු මිහිදන් කළ සොහොන් ගැබට ඇතුළු වන ජනාධිපති ලින්කන් දින කිහිපයකට පෙර තමන් හැර ගිය පුතු පිළිබඳ ශෝක වන අයුරු මේ කතාවෙන් කියැවුණා. මේ කතාව මගේ සිත තදින් ම ඇද බැඳගත්තා. ඒත් නිවැරදි මූලාශ්‍රය නැතිව මේක ලියන්න මං කැමැති වුණේ නෑ. මේ කතාව තහවුරු කරන්න තරම් සාධක මා ළඟ තිබුණේ නෑ. සීමිත කුසලතා වගේ ම සීමිත අධ්‍යාපනයක් සහිත ලේඛකයකුට හුඟාක් වෙහෙස මහන්සියෙන් වැඩ කරන්න වෙනවා. ආරම්භයේදී. ඔහුට ම අනන්‍ය අවකාශයක කටයුතු කරන්ඩ වෙනවා. ඔහුට කරන්න වෙන්නෙ කරන්න පුළුවන් දේ විතරයි. අවුරුදු 35 ක් විතර වෙද්දී මං මේ ගැන දැනුවත් වුණා. අවුරුදු 20 ක් පමණ තිස්සේ මගේ ශෛලිය කුමක්විය යුතුද යන්න ගැන වගේ ම ලින්කන් ගැන ලියද්දී පවත්වා ගත යුතු ගෞරවය ගැනත් මං ඉගෙන ගත්තා. සතුටින් ඉන්න සෑම මිනිසකු තුළම නොසතුටින් ඉන්න මිනිසකුත් සිටින බව මං දැන සිටියා. සතුට ගැන ලියැවෙන්නෙ සුදු පැහැයෙන් කියල කිව්වෙ හෙන්රිචී කෙන්දර්ලන්ට්...
ඒ වසර විසි ගණන තුළම මං ලිව්වෙ ප්‍රබන්ධ නොවන දේවල්.
සරත් සමය ගැන ලියැවුණක්
Autumn - අලි ස්මිත්
“නවකතාවක නැවුම් බවක් තිබිය යුතුයි. ඊට ආවේණික සමකාලීන ස්වභාවිකත්වයක් ද ඊට අවශ්‍යයයි. ඇත්තට ම ඊට නවකතාව කියන්නෙ ම ඒ නිසා. මං හිතන හැටියට නවකතාව කාලයේ නිර්මාණයක්. විවිධ සමයන් අතර සංචරණය වීමක්...” ලේඛිකා ඔලීවියා ලේන්ග් මගේ ඥාතිවරියක්. දශක ගණනාවක් තිස්සේ අප එකිනෙකා දැන සිටියා. ගිය අවුරුද්දේ මැයි නැත්නම් ජුනි මාසයේ දවසක ඇය මාව හමුවෙන්න ආවා. දැනට කාලෙකට ඉහත මිය ගිය අපේ ගෙදර හැදුණු පූසකුගේ ඡායාරූප කිහිපයක් ඇය මට ගෙනැත් දුන්නා. මේ පින්තූර පිටුපස මගේ අත් අකුරින් ම ලියා තිබුණේ ‘සෑම ඍතුවක්’ ගැනම නවකතාවක් ලිවීමේ අපේකෂාවක් මා තුළ තිබුණා.” කියලා. මේ අවුරුදු 20 කට විතර කලින් ලියපු දෙයක්.
ඒත් Autumn ලියැවුණේ ඊට බොහෝ පසුව. ඒක ලියල අවසන් වුණේ How to be Both පළවුණාටත් පසුව. කලින් ලියැවුණත් Autumn ප්‍රමාද වුණා. පොත අවසන් කළ යුතු දිනය පවා මට මඟ හැරුණා. අත්පිටපත මුද්‍රණයෙන් එළිදකින්න මාස 9ක් විතර ගියා. සෑම ඍතුවක් ගැනම නවකතාවක් ලිවීම කෙසේ වුවත් හේමන්තය, වසන්තය ගිම්හානය ගතවුණා. සරත් සමය එළිඹියා. ඒ තමයි Autumn.