BOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD

 අවුරුදු 25 ටම නිවාඩු එක දවසයි

කජ්ලිමා මුඛර්ජි බොලිවුඩ් සිනමාවට පැමිණියේ මීට අවුරුදු 25 කට පෙර , 1992 දී තිරගතවූ “බෙඛුඩි” චිත්‍රපටයෙන්. කජ්ලිමා මුඛර්ජි කියන නම සමහර විට ඔබට නුහුරු ඇති. හැබැයි කාජල් ව නම් කවුරුත් දන්නවා. මේ කියන්න යන්නේ කාජල් ගැන තමයි. ( ඇගේ මුල් නම කජ්ලිමා මුඛර්ජි ) කාජල් ආරමිභ කළ තම සිනමා චාරිකාවේ අලුත්ම රංගනය මුසුවී ඇත්තේ 2017 අගෝස්තු මාසයේදී තිරගතවුණු “වෙලයිලා පටධාරි- 2 ” චිත්‍රපටයටයි. ඇගේ මෙම දීර්ඝ බොලිවුඩ් සිනමා ජීවිතය තුළ ඇය නිකරුණේ නිවාඩු ලබා ගෙන නැහැ. බොහොමයක් නළු නිළියන් නොයෙකුත් හේතු දක්වමින් තමන්ට නියමිත රූගත කිරීම් වලට නොපැමිණීම බොලිවුඩ් සිනමාවේ නිතර දකින්න ට ලැබෙන දෙයක් වුණත් කාජල් නම් එලෙස ’නිවාඩු‘ ගන්නේ නැති බව ප්‍රසිද්ධ කාරණයක්.

“මම කවදාවත් අත්‍යවශ්‍යම දේකට මිසක් සමහරු වගේ ‘ෆ්ලයිටි එක මිස් වුණා’ ‘සනීප නැති වුණා’ කියල රූගත කිරීම් වලට නෑවිත් හිටියෙ නැහැ. එහෙම නෑවිත් හිටියොත් නිෂ්පාදකවරයාට ලක්‍ෂ ගණනක පාඩුවක් දරන්න වෙනවා. ඒ නිසා රූගතකිරීම් වලට සහභාගිවීම නළු නිළියන් ගේ වගකීමක්. ගතවුණු අවුරුදු 25 ක කාලෙදි මම නම් නෑවිත් හිටියෙ එක දවසයි. එදා මගෙ දුව නීසා ට 104 ට හොඳටම උණ ගැනිල තිබුණා. ඒ නිසා මම නිෂ්පාදක ට දන්වලා රූගතකිරීම් වලට ආවෙ නැහැ. හැබැයි මට හොඳටම උණ ගැනිල තිබුණු දවසක වුණත් මම ඒක ගණන් ගන්නේ නැතිව රඟපාන්න ඇවිත් තියෙනවා ” කාජල් පසුගියදාක ඉන්දීය පුවත් සේවයකට පවසා තිබුණා. මේ සුරුපී නිළිය පසුගිය සතියේ තම පුතු යුග් , මව තනුජා සහ සොයුරිය ටනීෂා මුඛර්ජි සමඟ සිද්ධාරෝධා කෝවිලට පැමිණ විශේෂ පූජාවකට සහභාගි වුණා.

ජැකලින් ගිනි කඳු මැදින් බාලි දූපතට

භූමි කම්පාවක්, එහෙමත් නැත්නම් ගිනි කඳු පිපිරීමක් සිදුවුණු රටකට හෝ දූපතකට යන්න හුඟ දෙනෙක් අදි මදි කරනවා. ඒත් ජැකලින් ෆර්නැන්ඩස් ට නම් එහෙම බයක් දැනිල නැහැ වගෙයි. ඒ නිසා තමයි ඇය මේ නත්තල් නිවාඩුව ගත කරන්න බාලි දූපතට යන්න හිතාගෙන ඉන්නෙ. බාලි දූපතේ අගියුන් ගිනි කන්ද පසුගියදා පිපිරුණා. මේ හේතුවෙන් එහි එන්ගුරායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දින කිහිපයක්ම වසා දමන්නට ඉන්දුනීසියානු රජයට සිදුවුණා. ජැකලින් ඒ බව දන්නා නමුත් ඇය කියන්නේ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත්ත බාලි දූපතට යන්නම ඕනෙ කියලයි.

“පවුලේ හැමෝම එකට එකතු වෙන්නෙ නත්තලටනෙ. ඉතින් අපි හැමෝම බාලි දූපතට යන්නයි ලෑස්ති වෙන්නෙ. නත්තලයි අලුත් අවුරුද්දයි බාලි වල ගත කරන්නයි හිතාගෙන ඉන්නෙ. අපි යන දවස් වෙනකොට තත්වය දැනට වඩා හොඳ වේවිය කියල මම හිතනවා ” 2017 ජැකලින් ට කාර්ය බහුල අවුරුද්දක් වුණා. චිත්‍රපට රූගත කිරීම් වල යෙදීමෙන් විතරක් නොවෙයි වෙනත් උත්සව ඇතුළු තවත් වැඩ කටයුතු වලට එකතු වෙන්නට ඇයට ඉඩ කඩ ලැබුණා. මේ නිසා ඇගේ ජීවිතයට අත්දැකීම් රැසක් ලබාගන්නට ත් හැකි වුණා. “2017 මට අමතක නොවෙන අවුරුද්දක් 2018 ත් ඒ වගේම සාර්ථක වේවිය කියල හිතනවා ” ජැකලින් පැවසුවා. ගිය අවුරුද්දේ ජැකලින් කීවේ බොලිවුඩ්පුර මිතුරු මිතුරියන්ට මේ නත්තලයි ලබන අලුත් අවුරුද්දයි වෙනුවෙන් සාදයක් පවත්වන්නට බලාපොරොත්තු වෙනවාය කියලයි. ඉන් පසුව ඇගේ මවු රට ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කරගෙන සිටියා ඒත් දැන් ඒ සැලසුම වෙනස් වෙලා.

සල්මන් නිසා කට්රිනාගේ හැඬුම් නතර වෙයි

මෑතකදී රූගත වුණු චිත්‍රපටයක පෙමි යුවළ ලෙස චරිත නිරූපණය කිරීමත් සමඟම එතෙක් අමනාපව සිටි සල්මන් ඛාන් සහ කට්රිනා කායිෆ් යළි මිතුරු වුණා. හැබැයි පෙම් සබඳකමක් නම් ආයෙත් මතුවෙලා නැහැ. කොහොම වෙතත් දෙදෙනා අතර හොඳ හිතවත් කමක් නම් තිබෙන බව පැහැදිලියි. මෑතකදී සල්මන් සහ කට්රිනා එක්තරා

නර්තන තරගයක විනිශ්චයට එක්වී සිටියා. මෙය රියැලිටි වැඩසටහනක්. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන් වන රෙමූ ඩි සෝසා සහ ටෙරන්ස් ලෙවිස් එහි අධ්‍යක්‍ෂවරුන් ලෙස කටයුතු කළා. එයට ඉදිරිපත්ව සිටි තරගකරුවන් එකිනෙකා පරයමින් ජනප්‍රිය චිත්‍රපට ගීත අනුව නර්තනයන් නිරූපණය කළා. සල්මන් සහ කටිරිනා ඔවුන් දෙස ඉතාම උනන්දුවෙන් බලා සිටියා. කට්රිනා ගේ මුහුණෙහි දිස්වූයේ ප්‍රබෝධමත් පෙනුමක් නමුත් “තෙරේ නාම් ”චිත්‍රපටයේ එන ගීතයකට අනුව නර්තනය සඳහා වේදිකාවට පිවිසුණු ආධුනික යුවළගේ රංගනය දුටු කට්රිනා ගේ මුහුණ හිටි හැටියේම වෙනස් වුණා. චිත්‍රපටයේ එම ගීතය ට අනුව රඟපෑවේ සල්මන් සහ භූමිකා චවිලායි.

එය ඉතාම සංවේදී හැඟීම් මතුකළ ගීතයක්. කට්රිනාට එම චිත්‍රපට ගීතය සහ රංගනය හොඳින්ම මතකයි. ටික වේලාවක් එම රංගනය දෙස බලා සිටි ඇගේ දෙනෙත් වල කඳුළු පිරුණා. ඇය හඬන්නට පටන් ගත්තා. මේ හේතුවෙන් රියැලිටි වැඩසටහනේ රූගත කිරීම් විනාඩි දහයකට අත් හිටුවන්නට අධ්‍යක්‍ෂවරුන්ට සිදුවුණා. නැවත රූගත කිරීම් ඇරැඹුණු පසුව වේදිකාවට ගොඩවුණේ සල්මන්. ඔහු ජනප්‍රිය ගීතයක් ගයමින් රංගනයක් ඉදිරිපත් කළා. එදෙස බලා සිටි කටිරිනා ගේ මුහුණේ පිපුණේ පියකරු සිනා මලක්. කවුරුත් ඈ දෙස බැලුවේ සතුටින්. කට්රිනාගේ වේදනාව තුරන් වූ නිසා අධ්‍යක්‍ෂවරු තීරණය කළේ සල්මන් සහ කටිරිනා ගේ රංගනයක් රූගත කරන්නටයි. සල්මන් රඟපෑ කුළුඳුල් චිත්‍රපටය වූ “මේන් ප්‍යාර් ක්‍යා” චිත්‍රපටයෙහි එන “දිල් දීවානා” නම් වූ ගීතය ඔහු කට්රිනා සමඟ නිරූපණය කළා. ඒ මොහොත සල්මන් ට කට්රිනාට විතරක් නොවෙයි හැම දෙනාටම අතිශය සුන්දර අත්දැකීමක් බවට පත්වුණා 

Comments