හඬ කැවීම් කලාව කෘතිය ජීවි­ත­යට ම කලා­වක් | Page 4 | සිළුමිණ

හඬ කැවීම් කලාව කෘතිය ජීවි­ත­යට ම කලා­වක්

අන්‍ය දේශයක, නුහුරු නුපුරුදු සංස්කෘතියක නන්නාඳුනන චරිත අපේ ආලින්දයේ හද බැඳි වීරයන් වී අවසන්ය. ඔවුන්ගේ බස, හඬ, අපේම වී ජන ජීවිතය සමඟ පවා බද්ධ වී ඇත. ‘ඩොක්ටර් ඩූ ලිට්ල්’, ‘දොස්තර හොඳ හිත’ ලෙස ප්‍රේක්ෂකයන් කරා පැමිණියේ වඩාත් ම ආකර්ෂණීය දේශීය ටෙලිනාට්‍ය විකාශය වීමට නියමිත රාත්‍රී 8.30 ටය. ඔෂින්, සුජාත දියණිය පස්වරු 6.30 ට විකාශය වීමත් සමඟ බොහෝ නාළිකාවන්ට තම වැඩසටහන් සංශෝධනය කිරීමට ද සිදුවිය. හඬකැවීම, උපසිරැසි යෙදීම ලාංකේය ප්‍රේක්ෂකයන්ට මෙපමණට ම සමීප කිරීමට මුල්වූයේ රටම ආදරය කරන, ගෞරවය කරන ගුරුවරයකු සහ ගෝලයෙකි. ගුරුවරයා ටයිටස් තොටවත්තයන්ය. ගෝලයා අතුල රන්සිරිලාල්ය.

පොල්හේන්ගොඩ රජයේ චිත්‍රාගාරයේ සිදු කෙරුණු හඬ කැවීම් පසුව ජාතික රූපවාහිනී පරිශ්‍රයේ ම මැදිරියක සිදු කිරීමට ලැබුණේ ගුරුවරයාගේ දක්ෂකම් මතය. එහෙත් පසුකාලීනව ගෝලයාගේ දස්කම් මත ඊට ද්විමාන ත්‍රිමාණ මැදිරියක් ද එක්විය. හඬ කැවීම් ඒකකය යනු සම්මාන පිට සම්මාන ලබන රූපවාහිනියේ හදවත බඳු ඒකකයයි. අතුල රන්සිරිලාල් නම අද වන විට වෙන් කළ නොහැකිසේ ජාතික රූපවාහිනිය සමඟ බද්ධ වී ඇත.

ටයි ගුරු දෙවියන් වපුල බීජය ගෝලයා අතුල රන්සිරිලාල් අද දස අත පැතිරුණු මහා වෘක්ෂයක් බවට පත්කර තිබේ. ඔහුගේ ‘හඬ කැවීම් කලාව’ කෘතිය එහි එක් අග්‍රඵලයකි. හතළිස් වසරකට ආසන්න කාලයක් පුරා ලද අත්දැකීම් සහ දැනුම් සම්භාරය තමන්ගේ ඇවෑමෙන් සුළ‍ඟේ ගසා යාමට නොදී අනාගත පරපුරට දායාද කිරීමට හඬ කැවීම් ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙසින් ඔහු පියවර ගෙන තිබේ. සැබැවින් ම ඊට ඔහුට වැඩි සුදුස්සෙක් ද නොමැත.

දෙසැම්බර් 22 වැනිදා පස්වරු දෙකට රූපවාහිනියේ රජත මැදිරියේදී ‘හඬ කැවීම් කලාව’ කෘතිය සදීපා ප්‍රකාශනයක් ලෙසින් දොරට වඩියි. මේ ඒ ගැන කෙරුණු කතා බහයි.

“ආධුනිකයන් වෙනුවෙන් මෙතෙක් හඬ කැවීම් - උපසිරැසි ගැන අත්පොතක් ලියවී නැහැ. ඒ නිසා මා සිතුවා එම ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන්ට, දැනට එම ක්ෂේත්‍රයේ නිසි අවබෝධයක් නැතිව යෙදෙන්නන්ට ශාස්ත්‍රීය අත්පොතක් ලිවීම කාලීන අවශ්‍යතාවක් කියලා. මුලින් ම මට මේ අදහස යෝජනා කළේ හිතාදර කරුණාරත්න අමරසිංහ. ‘රේඩියෝ, ටෙලිවිෂන් හුළඟේ යනවා. ලියු දේ තමා ඉතිරි.’ ඔහ‍ුගේ ඒ ඔවදන සිතට ගත්තා.”

මේ කෘතිය නිවේදකයකු, හඬකැවීම් ශිල්පියකු, පිටපත් රචකයකු, හඬකැවීම් නිෂ්පාදකයකු, අධ්‍යක්ෂවරයකු වීමට අපේක්ෂා කරන සියල්ලන්ටම එකසේ ප්‍රයෝජනවත්.

ටයි මහත්තයා එක්ක පිටපත් ලිවීම, හඬ කැවීමට පිවිසීම, දෙතොල් සම හඬ රංගවේදය හා රංගවේදියා, හඬ රංගවේදියකු වීමට උපදෙස්, මත රූ - හඬ මත හඬ කැවීම, සැකිලි රූ ගීත, දේශීය කාටුන් හා කාටුන් ගීත නර්තනය, දෙබස් කැවූ ටෙලි නාට්‍ය ගීත යන මාතෘකා යටතේ සියල්ල අන්තර්ගත කර තිබෙනවා. ලෝක ඉතිහාසයේ සහ වර්තමානයේ අන්තර්ජාතිකව පවතින තත්ත්වයන් ද කෘතියේ ඇතුළත්.

හෘදරෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහතා ‘හඬ කැවීම්’ කලාව කෘතිය චමත්කාරජනක නවකතාවක් ලෙස හඳුන්වනවා.

ඔව්, හොඳම විශ්ව විද්‍යාලය නම් ජීවිත අත්දැකීම් විශ්ව විද්‍යාලය බවට කියමනක් පවතිනවා. ශාස්ත්‍රීය කරුණු අතරට අත්දැකීම් එක්කර කෘතිය වඩාත් හරබර හා රසබර කළා. ටයිටස් තොටවත්තයන් සමඟ මා ලැබූ පන්නරය වෘත්තීය ජීවිතය රෝසමල් යහනාවක්, නිවෙසට වඩා විවේකී තැනක් කර ගැනීමට සිතන අයට, විනයක් නැති අයට පරමාදර්ශයක්.

ටයි මහත්තයා වැඩ පටන්ගන්නේ උදේ පාන්දර 5 ට. පාන්දර 5 ට අප පයින් හෝ පැමිණිය යුතුයි. ප්‍රවාහන පහසුකම් නැහැ. වැඩ කරන කාමරය අපම අතුගාගන්න ඕන. නැත්නම් එතුමාගෙන් ඇසෙන පද හරිම සුමිහිරියි. මා පදිංචි කළුබෝවිල. කළුබෝවිල සිට ගාලු පාරට පයින් ඇවිත් එතැන සිට බම්බලපිටියට බසයේ ගොස් බම්බලපිටියේ සිට රූපවාහිනියට ඇවිද පැමිණියා. රාත්‍රී 10 තෙක් වැඩ කර පසුවදා පාන්දර 5 ට නැවත පැමිණීම දුෂ්කර වුණත් රාජකාරියට ඇති කැමැත්ත, ටයි මහත්තයාගෙන් අලුත් යමක් ඉගෙනීමට ඇති ඇල්ම නිසා කිසිවක් බාධාවන් කරගත්තේ නැහැ.

අලුත් අලුත් දෑ ගැන සිතන ටයි මහත්තයා උදේ පාන්දර මේසයට විත් නව නිර්මාණ සටහන් කරනවා. දවසක් එළුවකුගේ රූපයක් අඳිමින් සිටියා. ඒ ගැන විමසූ විට “මගේ ලග්නය මේෂ බං. සතා එළුවා. අපි උගෙන් මපට් එකක් කරමු” පැවසුවා. අවසානයේ එළුවා අතරූ පැළැස්සට එකතු වුණා. රූපවාහිනියේ පළමු අතරූ (මපට්) වැඩසටහන එයයි.

‘උපන් හපනා‘ ලංකාවේ මුලින්ම උපසිරැසි යෙදූ වැඩසටහනයි. ඒ කාලේ උපසිරැසි යෙදීමට අවශ්‍ය යන්ත්‍ර නැහැ. එතුමා ඒ ගැන පාලන අධිකාරියට ලියුම් ලියා යන්ත්‍ර බලාපොරොත්තු වෙවී කල්මැරුවේ නැහැ. උපසිරැසි පිටපත රචනා කළේ තිරය මත තැබිය හැකි අකුරු ගණන, පේළි ගණන ගැන සිතලා. මේ වගේ තොරතුරු එකතු කළේ දැනුම වගේ ම අත්දැකීම් මඟින් ජීවිතයට එක්වන ඥානයත් ඉතා වැදගත් නිසා. වෛද්‍යතුමා කෘතියෙන් නවකතා රසයක් ද විඳින්න මෙය හේතුවන්න ඇති.

සිනමාපට, වාර්තා වැඩසටහන් ප්‍රමිතියට තෝරා නොගත්තොත් එයින් රටට වන විශාල අවැඩක් ගැන මෙහි සඳහන් වෙනවාද?

වාණිජ අභිමතාර්ථ නිසා අවර ගනයේ විදෙස් නිර්මාණ තෝරා ගන්නා අවස්ථා අප දැක තිබෙනවා. එයින් අනාගත පරපුරට වන්නේ විශාල විනාශයක්. ටෙලි හඬ රංග කලාව යනු අන්තර් සංස්කෘතික අධ්‍යයනයක්. ඔෂින්, මල්ගුඩි දවසැ, සුජාත දියණි (තේ චංගුම්) ගත්තොත් ජපානය, දකුණු ඉන්දියාව, දකුණු කොරියාව ගැන මොනතරම් අවබෝධයක් එම නාට්‍යවලින් ලබන්න පුළුවන්ද?

ටෙලිවිෂනය පවුලේ මෙවලමක්. ඒ වාගේම ලංකාව බහු ජාතික, බහු ආගමික රටක්. අපේ ජනතාව බොහෝ සංස්කෘතික බැඳීම්වලින් සිරවී සිටිනවා. ඒ නිසා විකාශය කරන වැඩසටහන් නි‍වසේ සමගිය විනාශ නොකරන, ජාති, ආගම් කුල භේදයෙන් ‍තොර ඒවා විය යුතුයි.

හඬ කැවීම් ඒකකය වශයෙන් අප සෞන්දර්යාත්මක බවට මෙන් ම ගුණාත්මක බවට ද මුල් තැන දෙනවා. පසුගිය කාලයේ අතිශය ජනප්‍රිය වූ සුජාත දියණි ටෙලි නාට්‍යයේ චංගුමී හරක් මොළයකින් සුප් හදන දර්ශනයක් තිබුණා. එය දකුණු ‍කොරියානු සංස්කෘතියේ ගැටලුවක් නොවුණත් අපේ රටට නොගැළපෙන්නක්. ඒ නිසා එවැනි දර්ශන සංස්කරණය කළා.

මහා වානර (ජර්නි ටු වෙස්ට්) නමින් විකාශය කළ ලෝක ප්‍රකට චීන කතා පෙළේ බුදු හිමියන් අහසින් වඩින දර්ශන කිහිපයක් තිබුණා. බුදුහිමි ලෙස රඟපෑ නළුවාගේ කොණ්ඩය සහ රඟපෑම අපේ රටට නොගැළපෙන්නක් වූ නිසා බුදු රැස් මාලාවක් යොදා එම දසුන් සංස්කරණය කළා. ‍

‍ පිටපත් ලිවීමේදීත් විදෙස් නිර්මාණවලට අපේ කම යෙදිය යුතුයි. නොරටින් එන නොසුදුසු දේ ජනගත කිරීම නොවෙයි අප කරන්න ඕන. ඒවාත් අපේ කර ගැනීමයි. බනානා පිජාමාස්ට මා යෙදුවේ ‘කෝලිකුට්ටු සහෝදරයෝ’ නම. ‘බෙයාර්ස් ෆැමිලි ඇල්බම්’ කාටූනයට වලස් මාමා නම යෙදුවා.

පරිවර්තන හෝ අනුවර්තන කලාවේ වේගවත්ම විද්‍යුත් වාහකය හඬ කැවීම (දෙබස් කැවීම) හා උපසිරැසි ගැන්වීමයි. මේ නිසා සන්නිවේදකයන් වන අප ඉතා පරෙස්සම් වෙන්න ඕන.

වගකීම් සහගත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ලෙස සමාජ යුතුකමක් ලෙස දැයට පිරිනැමෙන ‘හඬ කැවීම් කලාව’ කෘතියේ හඬ කැවීමේ කලාවේ ‘අ’ යන්නේ සිට ‘අඃ’ දක්වා වගේ ම කෙනකුට ජීවන කලාව හැඩ කර ගැනීමට අවශ්‍ය බොහෝ දැයින් ද සම්පාදිතය.

නොවැම්බර් 22 වැනිදාට අතුල රන්සිරිලාල් මහතාගේ කෘතිය සමඟ ඒ මහතාට උපහාර පිණිස රසාදිරී පීරිස් ප්‍රමුඛ ගෝල බාලයන් සහ විද්වතුන් විසින් තිස්හතර වසරක සේවාව අගයමින් සැකසූ ලිපි ඇතුළත් ‘සැළලිහිණි රන්සරය’ කෘතිය ද දොරට වැඩීමට නියමිතය. එමෙන්ම අතුල රන්සිරිලාල් මහතා විසින් රචිත ටෙලි ගී ඇතුළත් ඩීවීඩී පටයක් එදිනට නිකුත් කෙරේ. ශෂිකා නිසංසලා විසින් අභිනන්දන ගීයක් ද ගයනු ලැබේ. 

 

Comments