
දුලීක කෝදාගොඩ නව පරපුරේ සංගීත නිර්මාණ ශිල්පියෙකි. දෙමටගොඩ වේළුවන මහා විදුහලෙන් සිප්සතර හැදෑරූ ඔහු මේ වන විට නව රැල්ලේ අතිශයින් ජනප්‍රිය ගීත ගණනාවකට සංගීත නිර්මාණය කරමින් තරුණ පරපුර අතරේ නමක් දිනා සිටී. මේ දුලීක සමඟ රසඳුන කළ සාකච්ඡාවයි.
වර්තමානයේ නිරත වී සිටින සංගීත නිර්මාණ ගැන කතා කළොත්...
නව ආරේ රැල්ලට වෙනස් ආකාරයේ ගීත කිහිපයක සංගීත නිර්මාණ කටයුතු කරන අතරේම ටෙලි නාට්‍ය ගීත කිහිපයකටත් සංගීත නිර්මාණයෙන් දායක වීමට මේ දිනවල අවස්ථාව ලැබිලා තියෙනවා.
මේ වන විට දූලීක ඔබගේ ඉහළ රසික ප්‍රසාද ලැබු නිර්මාණ මොනවා ද?
මේ දිනවල රසිකයන්ට අසන්නට ලැබෙන මා සංගීත නිර්මාණය කළ අෂේන් සිල්වා ගායනා කරන ‘මතු සසරේ‘ ගීතයට බොහෝ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. එම ගීතය බොහෝ මාධ්‍යයන්හි ගීත දර්ශකවල ඉහළටම පැමිණෙමින් තිබෙන ගීතයක්. එම ගීතයට බොහෝ රසික ප්‍රතිචාර ලැබීමට හේතුව ලෙස පෙනී යන්නේ වර්තමාන ගීත රැල්ලෙන් වෙනස් මාදිලියේ ගීතයක් ලෙසයි එම ගීතයේ සංගීතය, ගායනය පමණක් නොව පදමාලාවද සැකැසී තිබීමයි.
ඔබ ගීත නිර්මාණ ක්ෂේත්‍රයට පැමිණීමේ අතීත කතාව පැවැසුවොත්...
මෙහෙමයි, මගේ හත්මුතු පරම්පරාවේ කිසිම කෙනෙක් සංගීත කලාවට සම්බන්ධයක් නැහැ. මම පාසල් ගිය දෙමටගොඩ වේළුවන විදුහලේදීවත් සංගීත පැත්තට යොමු වුණේ නැහැ. පාසලේදී කළේත් විෂයක් ලෙස චිත්‍ර. පාසලෙන් පසුව මම මුලින්ම සංගීත කලාවට පිවිසියේ සංගීත කණ්ඩායමක ‘කී බෝඩ්‘ වාදකයකු ලෙසයි. මුල් කාලේ සංගීත නිර්මාණ ශිල්පියෙකු ලෙස මට කිසිදු දැනීමක් තිබුණේ නැහැ. කෙසේ හෝ අවුරුදු දහයක් පමණ සංගීත කණ්ඩායමක සිටීමෙන් පසුව මට හිතුණා එයින් ඉවත් වෙලා සංගීත නිර්මාණය පැත්තට ආවොත් හොඳයි කියා. එහෙම පටන්ගත්තු ගමනින් තමයි මම මේ අද ඉන්න තත්ත්වෙට ඇවිත් තියෙන්නෙ. කොහොමහරි සංගීත නිර්මාණ ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු හතරක් විතර ඇති.
වර්තමාන නවක ශිල්පීන් අතර තිබෙන තරගය ගැන නවකයකු ලෙස ඔබ දකින්නෙ කෙසේ ද?
ඇත්තටම අද සංගීත නිර්මාණ ක්ෂේත්‍ර යේ සිටින පිරිස ගත්තොත් තියෙන්නෙ එකම රැල්ලකට තරගයක් පමණයි. නමුත් වෙනස්ම ආරේ නිර්මාණ කරන අයට කිසිදු තරගයක් නැහැ. මටත් අවශ්‍ය එම රැල්ලෙන් පිට පනිමින් වෙනස් ගමනක් යාමටයි. ඒ වගේම කෙසේ කතා කළත් අද වත්මන් පරපුර අතර ඇත්තටම තරගයක් නැහැ. තරගයක් පැවැතුණා නම් වෙනස් වෙනස් ආරේ නිර්මාණ බිහි වෙමින් රසිකයාට හොඳ නිර්මාණ ගොන්නක් වර්තමානයේ බිහි විය යුතුයි.
එහෙත් එවැනි සාරගර්භ නිර්මාණ මාත් අයිති වත්මන් නවක පරපුරේ බිහි වෙනවා අඩුයි. එහෙත් මගේ එකම අරමුණ වෙනස් මාදිලි නිර්මාණ කරමින් අලුත් ගමනක් යාමටයි. හැබැයි මමත් වෘත්තිය ශිල්පියෙක් ලෙස සංගීත නිර්මාණ ක්ෂේත්‍රයේ රැඳීමට අවැසි නිසා එම රැල්ලට දුවන නිර්මාණත් නොකරනවා නොවේ.
නවක ශිල්පියකු ලෙස ඔබ වැනි පිරිසට පැරැණි ශිල්පීන්ගෙන් ලැබෙන සහාය මොන වගේ ද?
එහෙම විශේෂ සහායක් ලැබුණු කෙනෙක්නම් ක්ෂේත්‍ර යේ නැහැ. මම බොහෝ වෙලාවට මේ ගමන ආවේ තනිවමයි. හැබැයි මට නදීක ගුරුගේ කියන වත්මන් පරපුර අතර බොහෝම ජනප්‍රිය සංගීත නිර්මාණ ශිල්පියාගෙන්නම් ලැබුණේ අනූපමේය සහායක්.
පැරැණි නිර්මාණ සහ වර්තමාන පරපුරේ නිර්මාණ අතර තිබෙන වෙනසක් ඔබ දකිනවා ද?
ඔව්, මම ලොකු වෙනසක් දකිනවා. ඇත්තටම පැරැණි නිර්මාණ මම අදටත් බොහෝ සෙයින් අගය කරනවා.
අපි ගත්තොත් සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස් වගේ ජ්‍යෙෂ්ඨ ගායකයන්ගේ ගීතවලට මම බොහෝ කැමැතියි. නමුත් වත්මන් පරපුරේ තිබෙන රැල්ල නිසා පැරැන්නන් ගැන බොහෝ දෙනකුට අමතක වෙලා තියෙන්නෙ. එහෙත් ඇත්තටම මේ පැරැණි අයගේ නිර්මාණ තමයි අදටත් පවතින්නෙ. ඔය අපේ වර්තමාන පරම්පරාවේ අය කරන ගීත ගත්තොත් කාලයත් එක්කම නැතිවෙලා යනවා.
ඒ වගේම පැරැන්නන් නව නිර්මාණ කෙරෙහි යොමු නොවීමත් ලොකු අඩුවක් ලෙසයි මම දකින්නෙ. ඒ පිරිස නව නිර්මාණ කළානම් අද මේ පවතින ඒකාකාරි රැල්ලෙන් රසිකයන්ට මිදෙන්නට හොඳටම අවකාශ තිබුණා. එවැනි පැරැණි අය නව නිර්මාණ කරමින් ක්ෂේත්‍රයේ හොඳ සක්‍රීයතාවක් තිබුණානම් අපි වැනි නවකයන්ට වගේම වත්මන් සහ ඉදිරි රසික පරම්පරාවටත් එය ලොකු පන්නරයක් වීමට තිබුණා. එම නිසා මම මෙය අවස්ථාවක් කරගන්නවා අපේ ජ්‍යෙෂ්ඨයන් නව රැල්ලට දොස් නොකියා නවකයන්ට උදවු උපකාර කරමින් සහාය වන්නැයි කියා. මොකද අද ඉන්දියාව වගේ රටවල බොහෝ පැරැණි ගායන ශිල්පීන් නවක සංගීත නිර්මාණ ශිල්පීන් සමඟ නව නිර්මාණ ඉදිරිපත් කරනවා. හොඳම උදාහරණය ආශා බෝස්ලේ කියන ප්‍රවීණ ගායිකාව. එහෙත් අපේ රටේ පැරැන්නන් නවකයන්ට ගරහමින් ඔවුන් ප්‍රතික්ෂේප කරන විලාසයක් තමයි පෙන්නුම් කරන්නෙ.
මෙරට සංගීත ක්ෂේත්‍රයේ ඉදිරි අනාගතය ඔබ කෙසේද දකින්නෙ...
මට හිතෙන්නෙ ලංකාවේ ගායනය, වාදනය, පද රචනය ආදි සෑම අතින්ම දක්ෂතා පිළිබිඹු කරන ශිල්පීන් සෑහෙන පිරිසක් සිටිනවා. නමුත් ගොඩක් වෙලාවට ඒ අතරින් ස්වල්ප දෙනයි වෙනස් මාදිලි සොයා නිර්මාණකරණයේ යෙදෙන්නෙ. බොහෝ දෙනෙක් කරන්නෙ තවකෙක් කොපි කරමින් ක්ෂේත්‍රයේ රැඳී සිටීමට මුදල් පසුපස හඹා යාම පමණයි.
ඔබගේ සංගීත නිර්මාණවල අනාගත ඉලක්ක මොනවා ද?
මට ලොකු ආශාවක් සහ බලාපොරොත්තුවක් තියෙනවා මෙරට සිටින ප්‍රවීණ ගායන ශිල්පීන් කීප දෙනකුගේම නිර්මාණ සඳහා සංගීත නිර්මාණයෙන් දායක වීමට.
බොහෝ අය අපිව ප්‍රතික්ෂේප කරනවා නවකයන් නිසා. එහෙත් මම කෙසේ හෝ මගේ ඉලක්ක ජයගන්නවා. ඒ වගේම වෙනස් නිර්මාණ හඳුන්වා දීමට මම ලොකු වෙහෙස මහන්සියක් ගන්නවා ඉදිරි කාලයේදී.