ලොව­වටා යන හොඳම සංචා­ර­කයා ඩොනල්ඩ් | සිළුමිණ

ලොව­වටා යන හොඳම සංචා­ර­කයා ඩොනල්ඩ්

සංචාරය කිරීමට අපි සියලු දෙනාම වාගේ කැමැත්තක් දක්වන්නෙමු. අපේ රට පුංචි වූවත් බලන්නට තැන් නම් විශාල ප්‍රමාණයක් තිබේ. මේ නිසාම නිවාඩු දිනයකදී නෑදෑ හිතමිතුරන් සමඟ දුර පළාතකට ගොස් එහි අසිරිය විඳගන්නට අපි කැමැතියි. බටහිර රටවල ජීවත්වන්නෝ ද ලොව වටා යාමට බොහෝ සෙයින් ප්‍රිය කරති.

වීසා රහිතව බොහෝමයක් රටවලට ගමන් කිරීමට ඔවුන්ට හැකියාව තිබෙන නිසා හිතේ හැටියට තමන්ගේ සංචාරක සිහිනයන් සැබෑ කර ගැනීමට ඔවුනට හැකියාව ලැබේ. මෙසේ ලොව වටා ගමන් කර තිබෙන පුද්ගලයින් අතුරෙන් ලොව වැඩියෙන්ම සංචාරය කර තිබෙන පුද්ගලයා ගැන තොරතුරු අද ඔබ වෙත ගෙන එනු ලබනවා.

73 හැවිරිදි ඇමරිකානු ජාතික ඩොනල්ඩ් පැරිශ් විශ්‍රාමික හමුදා සොල්දාදුවෙක්. ඔහුගේ සිතේ තිබූ ප්‍රබලතම ආශාවක් වන ඇමෙරිකාවේ සියලුම ප්‍රාන්ත (ප්‍රාන්ත 50) වලට සංචාරය කිරීම ඔහු සාර්ථක ලෙසින් නිම කෙරුවේ මීට වසර තිස් දෙකකට පෙරදීය.

ඉන්පසුව ඩොනල්ඩ් විසින් එක්සත් ජාතීන්ගේ රටවල් 193 ටම ගමන් කිරීම ඔහුගේ සිහිනය කරගත් අතර ඉරාකය, ඇෆ්ගනිස්තානය හා උතුරු කොරියාව වැනි රටවල් වල පවා සංචාරය කරමින් එම රටවල් 193 ලැයිස්තුවේ අවසාන රට වූ මොන්ගෝලියාව සංචාරය කරනු ලැබුවේ ඔහුට වසර 66දීය. එතැනින්ද ඔහුගේ සංචාරක පිපාසය නොසන්සිඳුණු නිසා ලෝකයේ ‘සෑම තැනකටම’ ගමන් කිරීම ආරම්භ කරනවා.

The Traveler’s Century Club නම් සංචාරක සංගමයට අනුව ලෝකය ඔවුන් කොටස් 324කට බෙදා ඇති අතර එම කොටස් 324ටම ගොස් එය සම්පූර්ණ කරන ලද ලොව 23වැනියා වන්නේ ඩොනල්ඩ් පැරිශ් ය.

නමුත් ඊටත් වඩා සංචාරය කරන්නන් සඳහා වෙන්වුණු Most Traveled People සංගමයේ ස්ථාන 875න් 852ක් සංචාරය කර ලොව වැඩියෙන්ම සංචාරය කර තිබෙන පුද්ගලයන්ගේ ලැයිස්තුවේ කිරුළු පැළඳගෙන සිටින ඩොනල්ඩ් පැරිශ්ගේ මීළඟ ඉලක්කය වන්නේ The Best Travelled සංගමයේ ලෝකය බෙදා තිබෙන කොටස් 1281ම සංචාරය කරමින් ලොව හොඳම සංචාරකයා යන නාමය දිනා ගැනීමටයි.

මෙම ලැයිස්තුවේ ස්ථාන 982ක් දැනටමත් සංචාරය කර තිබෙන පැරිශ් ශ්‍රීලංකාවට මුලින්ම 2009 දී පැමිණ තිබෙන අතර ඉහත ලැයිස්තුවේ ශ්‍රී ලංකාව කොටස් 3කට බෙදා තිබෙන නිසා උතුරු කොටස හා මධ්‍යම හා නැගෙනහිර කොටස සම්පූර්ණ කිරීමට නැවතත් 2015 වසරේ පැමිණ තිබේ.

එක්සත්ජාතීන්ගේ නොවන රටවල් ඇතුළු සියලුම රටවල් 266ටම ගමන් කර තිබෙන ලොව පළමු ජාතිකයා වන පැරිශ් ඇමෙරිකාවේ ප්‍රාන්ත 50, ප්‍රංශයේ ප්‍රදේශ 27, චීනයේ පළාත් 32, රුසියාවේ පාලන ඒකක 83, ඉන්දියාවේ ප්‍රාන්ත 28, ආජන්ටිනාවේ පළාත් 23, ජර්මනියේ ලාන්ඩර් 16, ඉතාලියේ ප්‍රදේශ 20 ඇතුළු ලෝකයේ එකී මෙකී නොකී සියලුම ප්‍රදේශ වලට ගොස් තිබෙන මොහු හට සංචාරය කිරීමට ඉතිරිව තිබෙන්නේ ගමන් කිරීමට ඉතා අපහසු, අධික මුදලක් වැයවෙන, මනුෂ්‍ය වාසයක් වත් නොමැති කුඩා දූපත් වැනි ස්ථාන කිහිපයකි.

මේවා සමහර ඒවා කිසිවකුගේ ඇස නොගැටුණු ස්ථාන වන අතර පැරිශ් විසින් බෝට්ටුවක් කුළියට ගෙන දවස් ගණන් මහ මුහුදේ ගමන් කරමින් මෙම ස්ථාන වලට ළඟා වන්නේ ඔහුගේ තිබෙන උනන්දුව හා කැපවීම නිසායි.

ලෝකයේ වැඩිම යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන ප්‍රමාණයකට (ස්ථාන 513ක්) ගොස් තිබෙන පැරිශ් පවසන්නේ සෑම වසරකම අලුතින් මෙවැනි ස්ථාන ලෝකයට එක්වන අතර සමහර රටවලට අලුතින් ප්‍රාන්ත හා පළාත් එක් වන නිසා සැබැවින්ම ගත් කළ ඔහුගේ මේ සංචාරය කිරීමට නිමාවක් නොමැති බවයි. 

 

 

Comments