රංගනයට පිවිසිලා වසර 25යි | Page 2 | සිළුමිණ

රංගනයට පිවිසිලා වසර 25යි

වේදිකා නාට්‍ය රංගන ශිල්පීන් අතර ඔහුගේ නම මුලටම කිය­ැවෙයි. මේ වනවිටත් වේදිකා නාට්‍ය පනහකට වැඩි ප්‍රමාණයක රංගනයෙහි යෙදී සිටින මේ රංගන ශිල්පියා පුංචි තිරයේද අද වන විට ඉහළින්ම වැජඹෙයි. ගිහාන් ප්‍රනාන්දු නම් වන ඔහු මෙවර අමතක නොවන මතක විශේෂාංගයට එක්වූයේ සතුටෙන්.

පොඩිකාලෙත් ලොකු වැඩ

රාගම ගල්උඩුපිට ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක වැඩිමහල් දරුවා ලෙස මෙලොව එළිය දුටු මා කුඩා කාලය ගතකළේ දුෂ්කරතා රැසක් මැද්දේයි. අම්මා, තාත්තා මල්ලී සහ නංගිලා දෙදෙනා අපේ පවුලේ සාමාජිකයන්. පුංචි කාලෙ පටන්ම අම්මා තාත්තා අපේ ලෝකයේ වීරයන් වුණා. මට මතක හැටියට වයස අවුරුදු පහේදි වගේ දිනක් රාත්‍රියේ අම්මාට අසනීප වුණා.ඒ අවස්ථාවේ තාත්තා පුතේ අර වාහනයක් තියෙන ගෙදරට දුවලා ගිහින් එක්කගෙන එන්න අම්මව ‍ඉස්පිරිතාලෙට ගෙනියන්න කීවා.එවිට රාත්‍රී එකට විතර ඇති. තනියම කිලෝ මීටරයක් විතර දිව්වා වාහනය තියෙන ගෙදර සොයාගෙන. අපේ පැත්තටම තිබුණු එකම වාහනය කොහොමහරි අඬගහගෙන ඇවිත් අම්මා රෝහලට ගෙනිහින් අම්මාගේ ජීවිතය බේරාගත්තා.

ඔය විදිහට පොඩි කාලෙත් ලොකු වැඩ කළේ පවුලේ වැඩිමලා වු නිසා වෙන්න ඇති. කඳාන ද මැසනොද් විද්‍යාලය මා උසස්පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූ පාසල. පාසල් කාලයේ දඟවැඩකර කැපී පෙනෙ‍න්න හදන චරිතයක් වුණේ නෑ. අපි යාළුවො ටිකක් හිටියා අමුතු තාලෙ වැඩකරන. අපි හත්දෙනෙක් එකතු වී බෑන්ඩ් එකක් හදාගත්තා. ඩ්‍රම් එකට ගත්තෙ ගෙදර හාල් දැමූ පෙට්ටිය අනෙක් පැත්ත පෙරලලා.ඔය විදිහට තමයි අනෙකුත් සංගීත භාණ්ඩ සාදා ගත්තෙත්. එදා එහෙම එකට හිටිය නිරෝෂන්, මනෝජ් ආදි මිතුරන් අද විවිධ ක්ෂේත්‍රවල නියැළෙනවා.

පෙම්වති‍යගෙ පළමු තෑග්ග අඹ කෑල්ලක්

මගේ මිතුරන් විවිධ ක්ෂේත්‍රවලට යොමුවනවිට මා රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වෙනවා. පාසල් කාලයේ සිටම රංගනය මගේ ඇඟේම තිබුණා යැයි අදත් ගුරුවරුන් සහ මිතුරන් පවසනවා. 1991 යෞවන නාට්‍ය උළෙලේ රඟ පෑ 'රඟහල' නාට්‍යයේ කළ රංගනයට හොඳම නළුවාට හිමි සම්මානය හිමිවුණා. ඒ දිනය ජීවිතයේ සුවිශේෂි දිනයක්. ඉන් පසුව කොතරම් සම්මාන හිමිකරගත්තත් එදා නැසීගිය ජනපති ආර්. ප්‍රේමදාස මහතා අතින් ලබාගත් එම සම්මානය ජීවිතයේ අමරණීය සිහිවටනයක්.එදා 'බැලයාගේ 'චරිතයෙන් ප්‍රෙක්ෂකයන් අතරට පැමිණ අදවන විට විවිධ කතාබහට ලක්වු චරිත රැසක් නිරූපණයකර තිබෙනවා.අද වන විට දේශපාලඥයන්ගේ චරිත සඳහා ලැබෙන අවස්ථා වැඩිවෙලා.මම හිතන්නෙ ඒ මගේ පෙනුම නිසා වන්න ඇති. රඟ පෑමට අවතීර්ණ වු මුල් කාලයේදී පළමු පෙම්වතිය හමුවෙනවා. ඇයගෙන් මුලින්ම ලැබෙන තෑග්ග අඹ කෑල්ලක්. ඇය හා ගෙවු ප්‍රේමණීය කාලය අදත් මතකයි. මොන තරම් ආද‍රයෙන් අප දෙදෙනා සිටියත් එම ආදරය එතරම් කාලයක් පැවතුනේ නෑ. ඉන් පසුව තවත් ප්‍රේමවන්තියන් නමයක් පමණ ඇසුරුකරලයි විවාහ වන්නේ.

මම දකින මම ප්‍රසංගයට විශාල සෙනගක්

2003 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙල පැවැත්වෙන විට වේදිකා නාට්‍යය රඟ දැක්වීමකට ඕස්ට්‍රේලියාවට ගොස් සිටියා. මා සමග තිරමාදුරත් සිටියා. සම්මාන උත්සවය ලංකාවේ පැවැත්වෙද්දී අපි දුරකථන කුටියකට ගොස් සම්මාන ලැබූවන් කවුරුන්දැයි විමසුවා. මා හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තා යැයි අපේ මිතුරා පැවසුවිට අපිට පුදුමාකාර සතුටක් දැනුණේ. එවිට එහේ වේලාව රාත්‍රි දොළහට විතර ඇති. අපි කොකාකෝලා බෝතලයක් ගෙනවිත් එය බීලා සතුට බෙදාගත්තා.1997/98 වසර දෙකම සුවිශේෂි වන්නේ දුවලා දෙන්නා ඉපදුණු වසර වීම හේතුවෙන්. ලොකු දුව ලසිනි ජයවර්ධනපුර ‍රෝහලේදී බිහි වු ආරංචියට මෝටර් බයිසිකලෙන් දාඩිය පෙරාගෙන රෝහලට ගියා. එම අවස්ථාවේ දැකපු දුවගේ සුරතල් මුහුණ අද තරුණියක් වී සිටියත් එදා දැනුන හැඟීමම දැනෙනවා. පොඩි දුව කිවිදි සදුල්කා ඉපදුනු දවසත් එසේමයි. පසුගිය 2016 වසරේ අප්‍රේල් මාසයට මම රංගනයට පිවිස අවුරුදු 25ක් පිරුණා. ඒ වෙනුවෙන් පැවැත්වු 'මම දකින මම 'ප්‍රසංගය නරඹන්න අතුරු සිදුරු නැතුව ප්‍රේක්ෂකයන් පැමිණියා. අවසානයට පැමිණි ප්‍රේක්ෂකයන්ට දෙන්න ටිකට් තිබුණේ නෑ. ඔවුන්ට ආපසු හැරී යන්න සිදුවුණා. ඇත්තටම මම ප්‍රේක්ෂකයන් අතර කොතරම් රැඳී සිටින කලාකරුවකුද යන්න එදින තේරුම් ගත්තා.

වේදිකා නාට්‍ය 50ක රඟපෑවා

වරක් අපි බල්ලොත් එක්ක බෑ වේදිකා නාට්‍යයත් සමග විදෙස් සංචාරයක නිරතවුණා. විජය නන්දසිරි, ෆර්නි රෝෂණී වැනි රංගන ශිල්පීන්ද සිටියා. කොහොම හරි අයහපත් කාලගුණය නිසා සිංගප්පූරු යන ෆ්ලයිට් එක අපිට මග හැරුණා. දැන් අපි කට්ටියටම හිතාගන්න බෑ කරන්නේ මොකක්ද කියා. අපි දාඩිය පෙරාගෙන දිව්වා. කොහොමහරි අවසාන මොහොතේ ෆ්ලයිට්එක හමුවුණා. ඒ අවස්ථාවේ දැනුණ බිය අදටත් ගුවන් තොටුපළකට ගිය විට දැනෙනවා. එදා මෙදා තුර වේදිකා නාට්‍ය පනහකට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබෙනවා. ටෙලි නාට්‍ය ගණන මතකයේ නැති වුවත් බට්ටි ටෙලිනාට්‍යයේ මා රඟපෑ චරිතය අදටත් ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳුණු චරිතයක්.චිත්‍රපට 5ක් හෝ 6ක් වැනි සංඛාවක රඟ පා තිබෙනවා. සිනමාව, රූපවාහිනිය, වේදිකාව යන කලා මාධ්‍ය තුනෙන්ම වේදිකා නාට්‍ය රංගනය මා වඩාත් ඇළුම් කරන මාධ්‍යය.අද වන විට ගිහාන්ව හාස්‍ය චරිත නිරූපණය කරන රංගන ශිල්පියකු ලෙසත් බොහෝ රසිකයන් අතර ජනප්‍රියයි. ඉදිරියේදීත් නවක ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍ය කිහිපයක්ම එන්න තිබෙනවා.මගෙන් රංගනය හැදෑරූ දරුවන් අද කලා ක්ෂේත්‍රයේ දක්ෂලෙස රඟපාන අයුරු දුටුවිට පුදුම සතුටක් දැනෙනවා. අම්මා, සහ තාත්තා කුඩා කාලයේ අපිව පෝෂණය කරන්න වෙහෙණා. අපිට ඉගැන්නුවා. අද ඔවුන් දෙදෙනා වියපත් වෙලා. ඔවුන්ව සතුටින් තියන්න හැකි උපරිම උත්සාහයක යෙදෙනවා. රංගන ශිල්පියකු වීම ගැන තියෙන්නේ සතුටක්. ඒ අනෙක් වෘත්තීන්ට වඩා විඳිමින් කළහැකි වෘත්තියක් වන නිසයි. වසර ගණනාවක්ම රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා වුණා. ඉදිරියටත් හොඳ නිර්මාණවලට දායක වෙමින් රංගනයේ නියැළෙන්න බලාපොරොත්තු වෙනවා. 

 

Comments