
අසාර්... අසාර්ගේ මුහුණ දුරකතන තිරය මත දිස්වෙයි. දුරකතනය ද රැගෙන මෙතනින් පලා යන්නට සිතුණද, ස්වේතාගේ හා ගජබාගේ විමසුම් නෙතින් මිදී යන්නට ද නොසිතෙයි. බොහෝ වේලාවක් නද දුන් දුරකතනය නිහඬ වත්ම ෆියෝනා හිස ඔසවා ස්වේතා දෙස බලා මඳ සිනාවක් පෑවාය.
“කවුද? ̃
ගජබා ඇසුවේ සැක සිතිනි.
“යාළුවෙක්. ̃
“එහෙනම් කතා නොකළෙ? ̃
“ඒ යාළුවා කතා කරන්න ගත්තම කෝච්චිය වගෙයි. මට දැන් හෑලි කියව කියවා ඉන්න තරම් මූඩ් එකක් නෑ. ̃
““ගෑනු යාළුවෙක්ද? පිරිමි යාළුවෙක්ද? ̃ යි ඊළඟට ගජබා හෝ ස්වේතා විමසන පැනය දැන සිටි ෆියෝනාගේ මුවග පුළුල් සිනාවක් නැගිණ. ඇය එය යටපත් කරගෙන ඔවුන්ගේ මුහුණු දෙස සෘජුව බැලුවාය.
“යාළුවා ගෑනු යාළුවෙක්. ̃
ඇය පැවසුවේ එම සිනාවෙන් යුතුවමය.
“සජීවා නෙමෙයි නේද? ̃
“කිව්වමයි මතක් වුණේ? සජීවට මොකක්ද වුණේ අයියා. මං මෙහෙන් ගියාට පස්සෙම සජීවා මට කතා කළේ නෑ. ̃
ස්වේතාත්, අයියාත් මුහුණින් මුහුණ බලා ගන්නා අයුරු ෆියෝනා බලා සිටියේ කුතුහලයෙනි. අයියා ඉවත බලාගෙන කටහඬ අවදි කළේ තම මුහුණ දෙස සෘජුව බැලීමේ නොහැකියාව නිසා බව ඇය දැන සිටියාය.
“සජීවා එක්ක ආයෙ යාළුකම් ́ඕන නෑ. ̃
ඔහු පැවසුවේය.
“ඇයි? ̃
“ඔයා ගියාට පස්සෙ සජීවගෙ තාත්තා ඇවිත් අම්මට සෑහෙන්න දොස් කියලා ගිහින් තිබුණා. අම්මා මට කිව්වා ඒ ගෙදරට ගිහින් කරුණු තේරුම් කරලා දෙන්න කියලා. මං ගෙදරට ගියාම ඒ මිනිහා මගේ ඇඟටත් කඩා පැන්නා. ̃
“ඊටපස්සෙ? ̃
“එව්වයෙන් දැන් වැඩක් නෑ චූටි කුමාරි. වළළපු දේවල් දැන් ගොඩ ගන්න ඕන නෑනෙ. ̃
ෆියෝනා තදින් ඇසි පිය හෙලුවාය. ඉක්මනින් මෙතනින් පළා ගොස් අසාර්ට දුරකතන ඇමතුමක් දීමේ වුවමනාව තිබුනද, අයියා හා ස්වේතා මගහැර යාමටද නොහැකිය. ඇය වුවමනාවෙන්ම ඈනුමක් හැරියාය.
“චූටි නංගිට නිදිමත නම් ගිහින් ටිකක් නිදාගන්න. ̃
ස්වේතා පැවසුවේ අනුකම්පාවෙනි.
“නිදිමත නම් තමයි. ඒත් නිදිමත යන්නත් එක්ක මං වත්ත පැත්තට ගිහින් එන්නම්. ̃
“වත්ත පැත්තට ගියාට කමක් නෑ. පාරට යන්නත් එපා. තනියම සොහොන පැත්තට යන්නත් එපා. ̃
“මට අම්මා බලන්න ඕන අයියා. ̃
“හැන්දෑ වෙලා අපි තුන්දෙනාම යමු. දැන් ඔය වත්ත පැත්තෙ ටිකක් ඇවිදලා ආවට කමක් නෑ. මං කිව්වෙ පාරට යන්න එපා කියලා. ̃
“නෑ. පාරට නෙමෙයි. ̃
ෆියෝනා නිවසින් පිටතට දිව ගියේ සැහැල්ලු සිතින් යුතුවය. කලකින් නිවසට පැමිණි හෙයින් දැක ගැනීමට ඇති දෑ බොහෝය. කලකට පෙර උපන් දිනයක දී තමා අතින් සිටුවන ලද ජෑම් පේර ගස දැන් හොඳින් වැඩී ඇතැයි ඇයට සිතිණ. ඇතැම් විට දැන් එය ඵල දරා තිබෙන්නට ද බැරි නැතැයි ඇයට සිතිණ. නිවසින් බොහෝ දුර ඇවිද ආ ෆියෝනා ජංගම දුරකතනය අතට ගත්තාය. ඇය අසාර් වෙත ඇමතුමක් රැගෙන එය සවනතට ළං කරගෙන සිටියේ සැලෙන සිතින් යුතුවය.
“කොහෙද ඉන්නෙ?’’ ̃
අසාර්ගේ කටහඬ වෙනදා මෙන් නොව කිසිදු තෙතමනයකින් තොර වී ඇත්තේ කවර හේතුවක් නිසාදැයි ඇයට වටහා ගත නොහැකි විය.
“මං ඉන්නෙ ගෙදර’’. ̃
“ගෙදර කිව්වෙ?’’ ̃
“මහ ගෙදර.’’ ̃
“මං ගෙදර ඇවිත් බලද්දි ගෙදර කවුරුත් නෑ. මාත් මගේ මහ ගෙදර ආවා. ̃
“අසාර්.... මගේ අම්මා නැති වෙලා. ’’ ̃
“මට ආරංචියි.’’ ̃
“ආරංචි වුණානම් ඇයි මට කිව්වෙ නැත්තෙ?’’ ̃
“මිනිස්සු වුණාම මැරෙනවා තමයි. උපදින හැමෝම දවසක මැරෙනවා. ’’ ̃
“අසාර්. ඒ මගේ අම්මා. මට අම්මව දකින්න ලැබුණෙ නෑ. මං ලංකාවට එද්දි හැමදේම ඉවරයි.’’ ̃
“එහෙමනම් තවත් ඉන්නෙ මොන දේකටද? මං අද රෑට ගෙදර යනවා. මාත් එක්ක යන්න ලෑස්ති වෙනවා. එච්චරයි. ’’̃
අසාර් දුරකතනය විසන්ධි කළේය. ෆියෝනා අන්දමන්දව වටපිට බැලුවාය. අසාර් කතා කරන්නේ සිත නොහොඳින් බව ඇයට දැනිණ. එයට හේතුව ඔහුට නොදන්වා තමා මහ ගෙදරට පැමිණීම විය නොහැකිය. ෆියෝනා නැවතත් ඔහුට ඇමතුමක් ගන්නට වෑයම් කළාය. එවර ඔහුගේ දුරකතනය කාර්ය බහුලව තිබිණ.
ෆියෝනා කල්පනාවෙන් බර වූ සිතින් යුතුව ඒ මේ අත ඇවිද්දාය. වත්ත පුරා වූ පලතුරු ගස් සියල්ලෙහිම මෙන් ඵල දරා තිබිණ. අම්මා ජීවත්ව සිටියදී අසල්වාසීන්ට ඔවුන්ගේ දරුවනට සිත් සේ පලතුරු කඩාගෙන යන්නට ඇය අවසර ලබා දී තිබිණ. එහෙත් ඇය නොමැති මෙම දින කීපයට සියල්ලන්ටම මෙම සීමාව තහනම් කලාපයක් බවට පත්ව ඇති සේය. ඇය තමා විසින් සිටුවන ලද ජෑම් පේර පැළය සෙවු නමුත් එය සිටුවන ලද ස්ථානය හිස්ව තිබිණ. තමා සමග ඇති කර ගත් අමනාපය නිසා අභීත එම පැළය ද උදුරා විසි කර දමන්නට ඇතැයි ඇයට සිතිණ. ෆියෝනා දිගු සුසුමක් හෙලුවාය.
අක්කර දොළහක් පමණ වූ මීගස්තැන්න වලව්වෙහි කෙළවර පවුලේ සුසාන භූමිය පිහිටා තිබිණ. ලොකු අත්තා ද, අත්තම්මා ද, අප්පච්චි ද මිහිදන් කරන ලද්දේ මීගස්තැන්න පවුලේ සුසාන භූමියෙහි ය. අයියා ගජබා තනිව එහි නොයන්නැයි පවසා සිටියද, අම්මා මිහිදන් කරන ලද ස්ථානය දැක බලා ගැනීමේ වුවමනාව ෆියෝනාට යටපත් කර
ගැනීමට නොහැකි විය. ඇය වත්ත මැදින් වැටී ඇති පාර ඔස්සේ ගමන් කළාය. වියළී ඇති ගොක් රැහැන් තවමත් තැනින් තැන දමා තිබෙනු පෙනෙයි. වෙනදා යන්තමින් අඩි පාරක් ලෙසින් භාවිතා කරන ලද පාර පුළුල් කොට සුදු වැලි අතුරා ඇත්තේ ද අම්මාගේ මළගම වෙනුවෙන් විය යුතුය. ෆියෝනා වේගයෙන් එම පාර දිගේ ගමන් කරන්නට
වූවාය. ඇගේ ගතින් දහදිය වැගිරිණ. අද රාත්‍රියේ ආසර් සමග ආපසු යාමට සිදු වුවහොත් අම්මාගේ සොහොන දැක බලා ගැනීමට අවස්ථාව නොලැබෙනු ඇතැයි ඇයට සිතිණ. එනිසා ඉක්මනින් එහි ගොස් අම්මාගෙන් සමු ගත යුතුය.
එහෙත් වත්තේ ඈතට යන්නට යන්නට සිතට බියක් දැනෙයි. වත්ත පුරාවටම වැවී ඇති කෝපි, කරාබුනැටි සහ සාදික්කා ගස් අතරින් ඇය වේගයෙන් දිව ගියාය. ඇතැම් දින වල අම්මා සමග පවුලේ සුසාන භූමියට ගිය ගමන් ෆියෝනාගේ සිහියට නැගිණ. උදෑසනම එහි ගොස් අප්පච්චිගේ, අත්තම්මාගේ සහ ලොකු අත්තාගේ සොහොන් වැසී
ඇති වල් පැළ ගලවා දමා ඒ අවට පිරිසිදු කිරීමෙන් අම්මා මහත් සතුටක් ලැබුවාය. අවට පිරිසිදු කිරීමෙන් අනතුරුව ඇය පාට පාටින් මල් පිපෙන වින්කා පැළ සොහොන් කොත් වටා සිටෙව්වේ තම උදව්වද ඇතිවය.
“එක අතකට චූටි කුමාරි මෙව්වා බොරු වැඩ. ̃
මල් පැළ සිටුවා එයට වතුර ස්වල්පයක් ඉසින අම්මා පවසන්නේ විඩාපත් ලෙසිනි.
“බොරු වැඩ? ඇයි? මේ පැළ ලොකු ගස් වෙලා මල් පිපෙද්දි කොච්චර ලස්සනද? ̃
“ලස්සන තමයි. ඒත් මේ මල් වල ලස්සන බලන්න මේ පොළව යට හැංගිලා ඉන්න කවුරුවත් ආයෙම එන්නෙ නෑ චූටි කුමාරි. ̃
අම්මා පවසන්නේ ශෝකී ස්වරයෙනි.
“කෙනෙක් ජීවත්ව ඉන්න කාලෙ ඒ කෙනා වෙනුවෙන් කරන කියන දේවල් වලින් හිත සනසවා ගන්නවා මිසක් මැරුණට පස්සෙ රත්තරන් පෙට්ටියක දැම්මත් තව මොන මොන දේවල් කරත් වැඩක් නෑ. ̃
අම්මාගේ සිත තුළ මහත් වේදනාවක් ඇතැයි ඇගේ මුහුණ දෙස බලන තමාට සිතී ඇතත් ඇයගෙන් ඒ කිසිවක් විමසීමට නොසිතෙයි.
“මං මැරුණු දවසක මේ බොරු වැඩ කිසිම දෙයක් නොකර දවසකට වඩා මාව තියා නොගෙන වළලන්න කියලා මං ගජබාටයි, අභීතටයි කියලා තියෙන්නෙ. ඒත් මගේ ඉල්ලීම ඒගොල්ලො ඉෂ්ඨ කරාවිද කියන එක මං දන්නෙ නෑ. මොකද ජීවත් වෙලා ඉන්න අයට ́ඕන මළගමක් මහ ඉහළින් පවත්වලා තමුන්ගෙ ගෞරවේ රැක ගන්න. ̃
“අනේ අම්මා ඔව්වා කියන්න එපා. ̃
“ඇයි? ̃
නිකටින් අල්වා හිස ඔසවා අම්මා තම මුහුණ දෙස බලා සිටින්නේ යන්තමින් මුවග ඇඳුණු සිනාවකින් යුතුවය.
“දුක හිතුනද? මං මේ දේවල් කියන්නෙ නිකන් නෙමෙයි චූටි කුමාරි. හේතුවක් ඇතිව. මගේ ජීවිතේම හරියට පොතක් වගෙයි. ඒ පොත කියවන්න පුළුවන් එකම කෙනා චූටි කුමාරිම තමයි. ̃
“අම්මා හැමදාම ඔහොම කියනවා. ඒත් කවදාවත් අම්මා මට ඒ කතාව කියලා නැහැ. ̃
“නෑ. ඒත් මං ඒ කතාව ලියලා තියෙනවා. ඒක මට දැන් දෙන්න කියලා ඉල්ලා හිටින්න චූටි කුමාරිට අයිතියක් නෑ. කවදා හරි නිසි වෙලාවට ඒ කතාව කියවන්න ලැබේවි. ̃
ෆියෝනා සිතිවිල්ලේම පවුලේ සුසාන භූමිය සමීපයට පැමිණ සිටියාය. අලුතින් ඉදි කරන ලද සොහොන් කොත ඈතින් අභිමානවත් ලෙසින් දිස් වෙයි. ඒ වටා ඇති මල් වඩම් සංඛ්‍යාව ගණන් කිරීමට නොහැකි තරම්ය. ඈතින් සිට ගත් ෆියෝනා ඇසි පිය නොහෙලා එදෙස බලා සිටියාය. අම්මා තමා සමීපයෙන්ම නිදා සිටින බව සිහිවෙත්ම ඇගේ ගත කිළිපොලා ගියේය. පවසා ගත නොහැකි අන්දමේ හැඟීම් සමුදායක් තම ගතත්, සිතත් හිර කර ඇති සේ ඇයට දැනිණ.
“චූටි කුමාරි. ̃
කිසිවකුගේ අතැඟිලි වල සිහිලස ෆියෝනාගේ උරහිසට දැනිණ. තිගැස්සුණු ඇය වේගයෙන් හැරී බැලුවාය.