උතු­රෙන් එන දුම්රියේ නැගී ස‍‍රෝජාට ගී ලියා | Page 2 | සිළුමිණ

උතු­රෙන් එන දුම්රියේ නැගී ස‍‍රෝජාට ගී ලියා

මහින්ද චන්ද්‍රසේකර දශක හතරක් පුරා ලියූ ගී අසිරිය විඳින්නට ලබන 23 කොළඹ ආනන්ද විද්‍යාලයට එන්න

දීපිකාගේ ළයාන්විත, දුක්බර හඬින් ගැයෙන සරෝජා මගේ දෝණියේ... ගීතය ඇසෙන වාරයක් පාසා එහි රචකයා හා කතා බහ කරන්නට ඔහු පිළිබඳ ලියන්නට සිතුණු වාර අනන්තය. ඒ එක්දහස් නවසිය අනූනවය වසර හෝ දෙදහ වසර වන්නට ඇත. සරෝජා මගෙ දෝණියේ ගීතය ලියූ සංවේදී පද රචකයාට දුරකතන ඇමතුමක් ලබා දුන්නෙමි. අවශ්‍යතාව කීවෙමි. නමුදු පුවත්පතට ලිපියක් ලිවීමට ඔහු එකඟ කර ගැනීම බොහෝ අසීරු විය. අවසානයේ ඔහු පිළිබඳ ලිවීම අත්හැර දැමුවෙමි.

කාලය ගෙවී ගියේ ය. එදා මෙදාතුර ඔහු ගීත ලියුවේ ය. ඒ ගී බෙහෙවින් ජනප්‍රිය වූයේ ය. විටෙක ඔහු ගුවන් විදුලි සාකච්ඡාවලට සහභාගි වන්නේ ය. තවත් විටෙක දේශකයකු ලෙස කටයුතු කරන්නේ ය. ලේඛකයකු ද වූ ගුරුවරයකු ද ව‍ූ මේ නිර්මාණකරුවා ඉකුත් දිනෙක ලේක්හවුසියට ගොඩවූවේ ය. ඒ රසඳුන පුවත්පතෙන් අප කළ ආරාධනයකට ය. කාලය කොතරම් සොඳුරු ද මෙයින් වසර දාහතකට පෙර ඔහු පිළිබඳව ලියන්නට තිබූ ආශාව ගිලිහී ගොස් තිබූ මොහොතක ඔහු ගැන ලියන්නට සිදුවූයේ ය.

‘ස‍‍රෝජා මගේ දෝණියේ’

යුද්ධයේ අත්දැකීම් ඔස්සේ ඔහු එසේ ලියන විට ඔහුම ‘ගුරුවරයා නම් වූ’ උතුමා ගැන මෙසේ ලියන්නේ ය.

‘අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ’

ඔහු ද ගුරුවරයෙකි. දරුවන්ගේ නෙත් පාදන්නෙකි. එපමණක් නොව රසිකයා තුළ හැඟීම් දැනීම් දනවන මානව හිතවාදී ගී ලියන්නෙකි. ඔහු නම් මහින්ද චන්ද්‍රසේකරය. පුරා වසර හතළිහක් තම පන්හිඳින් බිහි වූ ගී පදවල අසිරිය පෙළ ගස්වන ‘ස‍රෝජා ගී මියැසිය’ ලබන 23 වැනිදා සවස 3.00 ට ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වෙන්නේ ය.

1954 ජූලි මස 01 වැනිදා නව දෙනකුගෙන් යුත් පවුලක පස්වැන්නා ලෙස උපන් මහින්ද චන්ද්‍රසේකරගේ ගම වන්නේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැද්දාකන්ද මායිමේ පිහිටි මුවඇටගම නම් කුඩා ගම්මානයයි. කිරිගල්වැව ඔහු මූලික අධ්‍යාපනය ලැබූ පාසලය. අම්මාගේ කවි කියවිල්ලත් ජනශ්‍රැති කතා කියවිල්ලත් මහින්ද කුඩා වියේදීම මනසින් අලුත් ලෝකයකට කැන්දා යන්නට සමත් විය. ඔහු බාල වියේ සිටම කවි ලීවේ ය. ඒ කවි සිළුමිණ, මිහිර, බුදුසරණ ආදී පුවත්පත්වල පළවූයේ ය.

ඔහු දිගින් දිගටම කවි ලියන්නට වූයේ ය. ඒ කවි එකතු කර විශ්වවිද්‍යාලයට ඇතුළත් ව‍ූ අලුතම මුවඇටගම ආනන්ද ස්වාමීන් වහන්සේ සමඟ එක්ව කමටහන් අමතකය නමින් කාව්‍ය සංග්‍රහයක් පළකරන්නේ ය. එකල අද මෙන් නොව තනිව පොතක් පළකිරීම බොහෝ අසීරු ය. මහාචාර්ය රෝලන්ඩ් අබේපාල හා පරගොඩ සිරි එක්ව සංස්කරණය කළ හිමමල් සහ ගිනි පුපුරු, ඔටුන්න හිමි කුමාරයා ආදී සාමූහික කාව්‍ය සංග්‍රහවල මහින්ද ගේ කවි ඇතුළත් විය.

මේ කාලයේ ම ඔහු ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවේ නාට්‍ය රචනය, අධ්‍යක්ෂණය හා රඟපෑම ඇතුළු ධම්ම ජාගොඩ සූරීන් මෙහෙයවූ එක් අවුරුදු නාට්‍ය පාඨමාලාවට ඇතුළත් වන්නේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස ලීලාරත්න පරණගම ලියූ ජයසිරි මොරායස් අධ්‍යක්ෂණය කළ ‘ඇතැන්ස් පුරයේ සිට’ නාට්‍යයේ චරිත දෙකක් රඟපාමින් වේදිකාවට ද එක් වන්නේ ය.

එකල විශ්වවිද්‍යාලයේදී ඔහුට කලා උපාධිය සඳහා සිංහල විෂය හදාරන්නට නොහැකි වූයේ ය.

“ඒ කාලේ මගේ කරුමෙට කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල තිබුණේ නැහැ. මම හැදෑරුවේ ආර්ථික විද්‍යාවේදී විශේෂ උපාධිය. ඉන් පස්සේ ගුරුව‍ෘත්තියට ඇතුළත් වුණු මම 1992 අවුරුද්දේ තමයි සිංහල ශාස්ත්‍රවේදී ‍උපාධිය ලබා ගත්තේ. මුල් ම කාව්‍ය සංග්‍රහය වූ ‘කමටහන් අමතකය’ කියන පොතේ කවරය ඇන්දේ ඒ.ඩී. රංජිත් කුමාර මහත්තයා. අපි ගී පද රචකයන් නිර්මාණකරුවන් ලෙස ඉදිරියට එන්නට අවස්ථාව ලැබුණේ රජරට සේවය ආරම්භ වීමත් සමඟ. 1979 අප්‍රේල් 12 රජරට ජනතාව ලැබුණු අපූරුම අවුරුදු තෑග්ග තමයි රජරට සේවය. එහි ප්‍රධානියා, ප්‍රථම අධ්‍යක්ෂවරයා වුණේ සිරිල් රාජපක්ෂ මහතා. ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, විජයානන්ද ජයවීර, ප්‍රේමකීර්ති ද අල්විස්, සේන ගුණසේකර, කුලසේන ෆොන්සේකා විශිෂ්ටයන් රැසක් එදා ර‍ජරට සේවයේ සිටියා. ස්වර්ණ ශ්‍රී බණ්ඩාර තමා නවක ගී පද රචකයන්ට ගුරුවරයා වගේ වුණේ.”

මහින්ද චන්ද්‍රසේකර තම අතීත ගමන් මඟ එසේ හෙළි කරන්නේ ය.

ඔහුගේ මුල් ම ගීතය වන්නේ ‘කුසුමලතා’ ය. මීට පෙර ඔහු නව පදමාලා වැඩසටහන සඳහා කපුගේ ම ගී පද රචනා කිහිපයක් ලියා දුන්නද එය ප්‍රචාරය නොවිණි. නමුදු 1981 අවුරුද්දේ දඬුවම් මාරුවක් ලබා විශාරද ගුණදාස කපුගේ රජරට සේවයට පැමිණීමත් සමඟ නවක නිර්මාණකරුවන්ට තම නිර්මාණවලට සාධාරණයක් ඉටුකර ගන්නට අවස්ථාව උදා වූයේ ය. ‘නව පදමාලා’ ‘මන්දාකිණි’ ‘ස්වර සමාධී’ ආදී වශයෙන් කපුගේ නිෂ්පාදනය කළ වැඩසටහන්වලින් බොහෝ අයට ගී පද රචකයන් ලෙස ඉදිරියට එන්නට අවස්ථාව ලැබිණි.

මහින්ද ලියූ, හාද වෙලා යමන් පනේ, මරතෝණ්ඩිය රටා, උතුරෙන් එන දුම්රියේ ආදී ගීත අද ද බෙහෙවින් ජනප්‍රියය. ගීත රචනයට අමතරව රජරට සේවාවේ විවිධ වැඩසටහන්වල පිටපත් රචකයකු ලෙස කටයුතු කිරීමට ද ඔහුට අවස්ථාව උදා වූයේ ය.

ඔහු ලියූ ගී අපූරු ය. අද නම් ජාතික සමඟිය, සමාජ අසාධාරණකම්, ආදී වශයෙන් ගීතවලට ‘ලේබල්’ ගසා ලියා ගයන විට එකල මහින්ද චන්ද්‍රසේකර ඇතුළු නිර්මාණශීලී ගී පද රචකයෝ අලුත් අලුත් නිර්මාණ කළහ. ඒ ගී වලට එකල ‘ලේබල්’ අළවා නොතිබිණි. නමුදු ඒ ගීතවල ප්‍රේමය, සමාජ අසාධාරණය, ජාතික සමඟිය, යුද්ධයේ සංවේදී බව මේ ආදී වූ සියල්ලම ඇතුළත්ව තිබිණි. ‘සරෝජා මගේ දෝණියේ’ ගීතය ඔහු ලියූ ගී අතරින් බොහෝ කතා බහට ලක්වූ ගීයකි. ඔහු මේ ගීතය ලියන්නේ ගුරුවරයකු ලෙස සේවය කරන කාලයේ ලැබූ අත්දැකීම් ඔස්සේ ය.

“මම ඒ කාලේ අම්පාර පානම මහා විද්‍යාලයේ ගුරුවරයකු ලෙස කටයුතු කරනවා. ඒකාලේ දෙමළ ළමයින්ට හරියට ප්‍රශ්න තිබුණා. මගේ පන්තිවල හිටපු සමහර ළමයින්ව ත්‍රස්තවාදීන් අරගෙන ගියා. ඒ ළමයි ආයේ ආවේ නැහැ. ඒ ළමයි ඔවුන්ට ඇති ප්‍රශ්න කිව්වා. ඒ වගේ ම සිංහල ළමයි යුද්දෙට යන්න අස්වීම් සහතිකය අරගෙන යනවා. අන්තිමට දැනගන්න ලැබෙනවා. ඒ ළමයි මැරුණා කියලා. මම ඒ මළගෙවල්වල යනවා. ඒ මළගෙවල්වල කතා කරන්න සිදුවෙන්නේ මට. මේ සිද්ධිවලින් අවුරුදු දහයකට විතර පස්සේ තමයි ගීතය ලියැවෙන්නේ.

දවසක් කරුණාරත්න දිවුල්ගනේ මගෙන් ගීතයක් ඉල්ලුවා දීපිකා කැසට් එකක් කරනවා.‍ එයට ගීතයක් දෙන්න කියලා.‍ මම සරෝජා ගීතය ලිව්වේ රූ රැසේ අදිනා ලෙසේ තාලයට. රෝහණ වීරසිංහ මෙයට තනු දෙකක් දාලා. නමුත් ගීතය දිග වැඩියි ලු. මම යළිත් ‍එය කෙටි කරලා වෙනම ගීතයක් දීපිකාට යැව්වා. නමුත් දීපිකා පළමු ගීතයම ඉල්ලනවලු. කොහොම නමුත් ‍රෝහණ වීරසිංහයන් මෙයට තනු නිර්මාණය කරනවා. අවසානයේ 2012 වසරේ දී මෙන් ම හොඳම සාම ගීතය ලෙස ............ සම්මානය ලැබෙනවා. මට මතකයි රෝහණ කියනවා යම් වැඩසටහනකදී මේ ගීතයට දැම්මේ හදවතේ ගැස්ම කියලා.”

ස‍රෝජා ගීතය දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලට ද පරිවර්තනය වී ඇත්තේ ය. ඔහු ලියූ බොහෝ ගී ගැයුවේ කරුණාරත්න දිවුල්ගනේ ය.

විටෙක මහින්ද උතුරු දුම්රියෙන් එන ප්‍රේමය ගැන ලියන්නේ ය. මේවා ඔහු ලද අත්දැකීම් ය. ඒ අත්දැකීම් විටෙක ඔහු සිත රිදවා ලූයේ සංවේදී සිතෙහි ඇති වූ දුක කනගාටුව පසුව ගී පද බවට පෙරළිනි.

“ඒ යුද්ධය බොහෝම සැරට යන කාලේ. 1983 ජූලි කලබල කාලේ උතුරට යන දුම්රිය ගමන නතර වුණා. නමුත් කලකට පසුව යළිත් යාල්දේවි යන්නට ප‍ටන් ගත්තා. දවසක් කෝච්චිය ඇවිත් දුම්රිය ස්ථානයේ නතර වුණා. මම දුටුවා දුම්රිය කවුළුවක් ගාව අතක් පිරෙන්න වළලු දාලා ඉන්න ද්‍රවිඩ තරුණියක්. අතක් පිරෙන්න වළලු දානවා කියන එකේ තේරුම තමයි ඇය අවිවාහකයි කියන එක. මම ඇය දිහා බැලුවා. ඇය එක පාරටම අහක බැලුවා. මට ලැජ්ජයි දුකයි දෙකම. මට හිතුණා ඇය මේ රැව්වේ මට නොවෙයි මගේ ජාතියට කියලා. මම බෝඩිමට ගියා. ඉන්පසුව තමයි ‘උතුරෙන් එන දුම්රියේ’ ලියැවුණේ.”

මහින්ද චන්ද්‍රසේකර විටෙක උතුරේ ද්‍රවිඩ තරුණියගෙන් ලද අත්දැකීම ඔස්සේ ගිලී යන අතර තවත් විටෙක ෆාතිමා වෙනුවෙන් ලියන්නේ ය‍. ඔහු රාමලාන් සඳ බලන්ට එන්න යැයි පාතිමාට කියන්නේ ය. තවත් විටෙක ඔහු ප්‍රේමය ගැන ලියන්නේ ය. කොහේ හෝ ඔබ ඉන්නව ඇති, ගාලු කොටුවේ නෝනච්චි, සඳටත් හොරා පිපි කුමුදක් ලෙසින්, හාදවෙලා යමන් පනේ ආදී වශයෙන් ගී පද රැසක් ලියා ඇත්තේ ය.

1984 වසරේදී ගුරුවරයකු ලෙස පත්වීම ලබන ඔහු පසු කලෙක ගුරු උපදේශකවරයකු ලෙස ද, අනුරාධපුර තරුණ සේවා සරසවියේ කථිකාචාර්යවරයකු ලෙසින් ද, කටයුතු කරන්නේ ය. 2008 වසරේදී රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය වරයකු ලෙස කටයුතු කරන මහින්ද චන්ද්‍රසේකර මහතා තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විෂය සමඟ ගීතය නම්වූ නිර්මාණ කාර්යය තුළින් ජීවිතය කියා දෙන්නේ ය.

“ගුරුවරයකුට තිබෙන එකම සතුට තමයි උගන්වන එක. තමන්ගෙන් ඉගෙන ගන්නා දරුවාත් සමාජය තුළ හොඳ මිනිසුන් වෙන එක. මම ගුරු වෘත්තියේ නියැළෙන කාලයේ සිට ගී ලිව්වා. සිලබස් එක කරනවට වඩා මම කළේ දරුවන්ට ජීවිතය උගන්වන එක. මම ගුරුකමයි ගීතයයි දෙක එකට අරගෙන ගියේ. මම ව්‍යාකරණ ඉගැන්නුවේ ගීතය ආශ්‍රයෙන්.”

ඔහු තම අතීතය වර්තමාන සිහිපත් කරන්නේ එසේ ය. පුරා හතළිස් වසක් ගීත නිර්මාණ ක්ෂේත්‍රයේ නියැළෙන ඔහු ‘ස‍රෝජා’ සහ ‘ජයසිරි මා හාමුදුරුවනේ’ නමින් ගීත සංග්‍රහ දෙකක් එළිදක්වා ඇත්තේ ය. ඊට අමතරව විචාර කෘති ලියා පළකර ඇත්තේ ය. මේ සොඳුරු නිර්මාණකරුවා ඇගැයෙන, ඔහු ගැන කතා කරන ඒ සොඳුරු මොහොතට ඔබත් එක්වන්න. එය ඔහුට සතුටක් වේවි. 

 

 

Comments