අවුකන ප්‍රගති කැකුළු පෙරපාසලේ විවිධ ප්‍රසංගයෙන්... | Page 2 | සිළුමිණ

අවුකන ප්‍රගති කැකුළු පෙරපාසලේ විවිධ ප්‍රසංගයෙන්...

අවුකන ප්‍රගති කැකුළු පෙර පාසලේ සිඟිති දරු දැරියන්ගේ දස්කම් එළිදැක්වූ වාර්ෂික විවිධ ප්‍රසංගය පසුගිය 11 වැනිදා පෙරපාසල් භූමියේදී පැවැත්විණි. එහිදී ඉදිරිපත් කළ පොලිස් නැටුමේ අවස්ථාවකි මේ.

මාරම්බරී දෙසැම්බර් 28 මහරගමදී සහ 30 මීරිගමදී

සිංහල සුභාවිත ගීතයේ ස්වර්ණ වර්ණය විශාරද එඩ්වඩ් ජයකොඩිගේ මාරම්බරී ඒක පුද්ගල ගී ප්‍රසංගයේ 2017 වසර අවසන් ප්‍රසංග දෙක මහරගමදී සහ මීරිගම දී පැවැත්විමට කටයුතු යොදා ඇත.

දෙසැම්බර් 28 වැනිදා මහරගම ජාතික තරුණ සේවා රඟහලේදී රාත්‍රී 7.00ට පැවැත්වෙන ප්‍රසංගය සංවිධානය කොට ඉදිරිපත් කරන්නේ ඖෂධ විද්‍යා සංගමයයි. 30 වෙනිදා සවස 2.30ට සහ සවස 6.30ට මීරිගමදී පැවැත්වෙන මාරම්බරී ප්‍රසංගය සංවිධානය වනුයේ මීරිගම ඩී.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගනයට ඉදිකිරීමේ අරමුදලට ආධාර පිණිස එම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසිනි. යුග ගායනයෙන් විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්, චන්දිප ජයකොඩි සහ ශාරණ්‍යා ජයකොඩි දායක වෙති. මෙම ප්‍රසංගයේ සංගීතය මෙහෙයවිම ප්‍රවීණ සංගීතවේදී සුසිල් අමරසිංහගෙනි. 28 වනදා ප්‍රසංගය වසන්ත රෝහණ විසින්ද 30 වනදා ප්‍රසංගය ජනප්‍රිය රූපවාහිනී නිවේදක සමිත ප්‍රසන්න ආරච්චි විසින්ද කථනයෙන් සරසනු ලබයි.

දශකත්‍රයක සුදත් රෝහණ නිර්මාණාලංකාරය 23දා රාත්‍රි10.30ට ස්වාධීන රූපවාහිනියෙන්

සම්මානනීය ටෙලි නාට්‍ය හා සිනමා අධ්‍යක්ෂ සුදත් රෝහණයන්ගේ කලා ජීවිතයට දශක තුනක් සම්පූර්ණවීම නිමිත්තෙන් සත්ජන සහෘද සංසඳය සංවිධානය කළ පසුගිය නොවැම්බර් 26වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති දශකත්‍රයක සුදත් රෝහණ නිර්මාණාලංකාරය උපහාර උළෙල මෙම මස 23වැනි දින රාත්‍රි 10.30ට රූපවාහිනියෙන් විකාශය වේ.

ආචාර්ය නන්දා මාලනී, සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්, එඩ්වඩ් ජයකොඩි,සේනානායක වේරලියද්ද, සංගිත් විජේසූරිය, නිර්මලා රණතුංග, මිත්‍ර කපුගේ, හර්ෂණ දිසානායක ඇතුළු ගායික ගායිකාවන් රැසක් සුදත් රෝහණයන්ගේ ටෙලිනාට්‍යවලට ගායනා කළ ගීත නැවත ගායනාකළ ගීත ඇතුළත් මෙම ප්‍රසංගයේ සංගීතය මෙහෙයවීම ආචාර්ය රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, ආනන්ද ගමගේ සහ ගයාත්‍රි කේමදාස විසිනි.

ජැක්සන් ඇන්තනී කලාකරුවන්ගේ කෙටි දෙසුම හා සුදත් රෝහණ පිළිබඳ ශ්‍රව්‍ය දෘෂ්‍ය නිර්මාණයක්ද ඇතුළත් වු මෙම වැඩ සටහනේ සහෘද ආමන්ත්‍රණය සමන් අතාවුදහෙට්ටිගෙනි.

වාද බයිලා නත්තල් සවාරිය 14 සිට 23 දක්වා

පර්සි රාජපක්ෂ වාදබයිලා සංගීත කලායතනයේ ශිල්පීන් හා සමස්ථ ලංකා වාදබයිලා ශිල්පීන් ඉදිරිපත් කරන කිතු බැති පෙම අවදි කරන වාද බයිලා නත්තල් සවාරිය පසුගිය 14 වැනිදා ආරම්භ කෙරුණු අතර එය ලබන 23 වැනිදා දක්වා කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කයන්හි පැවැත්වේ. සුධර්ම හෙට්ටිආරච්චි කථනයෙන් දායක වන මෙම වැඩසටහන ඔබේ නගරයට, ගමට ගෙන්වා ගැනීමට පර්සි රාජපක්ෂ වාද බයිලා සංගීත කලායතනය, 91/4, අරලිය මාවත, සමගිපුර, බොරුපන, රත්මලාන යන ලිපිනයෙන් හෝ 0788955311 යන දුරකතන අංකයෙන් විමසිය හැකිය.

රේඩියෝ රන් ලංකා පළමු සංවත්සරය සමරයි

විදේශගතවී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ රසවින්දනය අරමුණු කරමින් ආරම්භ කරනු ලැබූ රේඩියෝ රන් ලංකා අන්තර්ජාල ගුවන්විදුලි සේවය පසුගිය 11 වැනිදා සිය පළමු සංවත්සරය සැමරීය. එෆ්.එම්. ගුවන්විදුලි නාළිකාවන් හී පළපුරුදු , අත්දැකීම් සපිරි නිවේදක නිවේදිකාවන් රැසකගේ දායකත්වයෙන් ඇරැඹූ රන්ලංකා ගුවන් විදුලි සේවාව සිය ශ්‍රාවකයන් වෙනුවෙන් සිය පළමු සංවත්සරයේ සිට වැඩසටහන් රැසක් හඳුන්වාදීමට සැලසුම් කර ඇතැයි එහි සභාපතිනිය ප්‍රවීණ නිවේදිකා රාජිනී ජාලියගොඩ මෙනෙවිය ප්‍රකාශ කළාය.

රේඩියෝ රන් ලංකා ඔස්සේ රන් හිමිදිරිය, සිංදු හැන්දෑව, ආදර රන් රේඛා, මතක පොත, පියගැටපෙළ, පිං මංපෙත, ඔබ වෙනුවෙන් මා, හද රැඳුණු ගී මෙන්ම කාලීන වැඩසටහන් ද පැය 24 පුරාම රසවිඳීමට

සිය ශ්‍රාවකයන්ට ඉඩහසර ලබා දී තිබේ. මීට අමතරව සෑම පසළොස්වක පෝ දිනකම දම් සයුර සජීවි ධර්ම දේශනා 2ක් ද රේඩියෝ රන් ලංකා තුළින් ප්‍රචාරය කෙරේ. අන්තර්ජාල ගුවන් විදුලි ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් සිදුකරමින් පසුගිය කාලයේ දේශීය ශ්‍රාවකයන් අතර ද වැඩි ජනප්‍රියත්වයක් ලැබු රේඩියෝ රන්ලංකා අන්තර්ජාල ගුවන්විදුලි සේවය ‘www.redioranlanka.lk වෙබ් අඩවියෙන් සවන්දීමට හැකිය.

 

'රිදම් ඔෆ් ශ්‍රීමත්' සිතුවම් දැක්ම 22දා

ගුවන්විදුලි රූපවාහිනි නිවේදකයකු, රංගන ශිල්පියකු,කටහඬ පදනමේ නිර්මාතෘ ශ්‍රිමත් ඉන්ද්‍රජිත් ලියනගේ අඳින ලද සිතුවම් ඇතුළත් rhythm of srimath ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය මේ මස 22වැනිදා උදෑසන 10සිට සෞන්දර්යකලා විශ්ව විද්‍යාලයීය ජේ. ඩී. ඒ පෙරේරා කලාගාරයේදි පැවැත්වේ. මේ අවස්ථාවට මැති ඇමැතිවරු , කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතයි. 

Comments