
බැලූ බැල්මට මධ්‍යම පන්තියට අයත් නිවෙසකි. නිවෙසේ ඉදිරිපසට පැමිණෙන සුන්දර යුවතියක් නිවෙසේ ඉදිරිපස බිත්ති කණුවකට අත තබාගෙන විමසිල්ලෙන් පාර දෙස බලා සිටින්නේ කවුරුන් හෝ බලාපොරොත්තුවෙන් බව පෙනේ. ඒ ඇගේ පෙම්වතා විය හැකියි. නමුත් ඇයට දක්නට ලැබෙන්නේ පාසල නිම වී තමාගේ මල්ලී බෑගය කරේ දමාගෙන නිවෙසට දුව එන අයුරුයි.
'අදවත් මගෙ පෙත්තා කතා කළා ද?'
තමා දැඩි සේ ආදරය කරන නිවෙසේ ඉස්තෝප්පුවේ එල්ලා අැති ගිරා කූඩුව දෙස බලමින් ගෙට ගොඩ වෙන මල්ලී අක්කාගෙන් විමසයි. එහෙත් අක්කා එය ගණනකට නොගන්නා බව ඇගේ ඉරියව් මඟින් පෙනේ. මල්ලී නිවෙස තුළට යන අතරවාරයේ අක්කාගේ හිත ගත් තරුණයා නිවෙසට පැමිණෙන්නේ මල්ලීට අසුවේදෝයි දෙගිඩියාවෙනි. ඔහු තරුණියට තම අත වූ ක්‍රීම් ක්‍රැකර් පැකට්ටුව තිළිණ කරයි. එයින් බිස්කට් එකක් එළියට ගන්නා යුවතිය ආසාවෙන් එය රස බලයි. තරුණයා දෙස බලන ඇය,'පැටියො ඔයාටත් එකක් කවන්න ද?' තරුණයාගෙන් විමසයි.
මේ කතාව ඇසෙන මල්ලී ගේ තුළ සිට දිව එන්නේ, අක්කා තමාගේ ගිරවා සමඟ කතා කරනවා යැයි සිතා 'ඔයා දැන් කාත් එක්ක ද කතා කරන්නේ?'යි සැකයෙන් මෙන් විමසමිනි. මල්ලී එළියට පැමිණෙත්ම තරුණයා නිවෙස පිටුපසට දිව යන්නේ මල්ලීගෙන් වසන් වීමටය. කර කියා ගන්නට දෙයක් නැති තරුණිය ගොළුවත රකියි. කිසිවක් කියා ගන්නට නොහැකිව අසරණ වන තම පෙම්වතිය බේරා ගන්නට තරුණයා කටයුතු කරන්නේ බිත්තිය පිටුපසට වී 'අඳුර ගත්ත ද මන්දා මං මේ කතා කරන පෙත්තා' යැයි ගිරවකුසේ කතා කර කුඩා මල්ලීව රවටමනි. තමා බොහෝ කලක සිට කතා කරවන්නට පෙරුම් පිරූ පෙත්තා කතා කළා යැයි සිතා උද්දාමයට පත්වන කොලුවා සතුටින් ඉපිලෙන්නේ අක්කාගෙන් බිස්කට් එකක් අතට ගෙන පෙත්තාටද කැබැල්ලක් කන්නට දෙන්න දැයි අපිරිමිත සතුටින් අසමිනි.
මේ දිනවල කවරුත් කතා කරන දැන්වීමක් ලෙස මෙම ක්‍රීම් ක්‍රැකර් දැන්වීම ලොකු කුඩා ප්‍රේක්ෂක කා අතරත් ප්‍රචලිතය. එනිසාම මේ පිළිබඳව මෙවර කතා බහ කරන්නට අපි කටයුතු කළා. මෙම දැන්වීමේ නිර්මාණාත්මක අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ ඇන්ඩෲ පුල්ලේ සහ සහාය අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ නාකුල් ප්‍රසාද් දැන්වීම පිළිබඳ පවසන්නේ මෙවැන්නකි.
''කතා කරන පෙත්තා ලෙස හඳුන්වන මේ නිර්මාණාත්මක දැන්වීමට මේ වන විට විශාල ප්‍රතිචාරයක් ලැබෙනවා. මේ දැන්වීමේ ස්ක්‍රිප්ට් එක රචනා කළේ සචිත්ර ගුණරත්න. ඔහු සාර්ථක ස්ක්‍රිප්ට් එකක් අපිට ලබා දුන්නා. එය තව දුරටත් ක්‍රියේටිව් කරලා ස්ටෝරි බෝඩ් එක හදලා රූ ගත කිරීම් කරන්න අපිට හැකි වුණා. මේ දැන්වීම රූ ගත කිරීමට අපි යොදා ගත්තේ කොට්ටාවේ හයිවේ එක ළඟ තිබෙන ගෙයක්. මේ දැන්වීම සඳහා අවශ්‍ය කාස්ටින් සඳහා මොඩල්ස්ලා තෝරා ගනිත්දී අපි විශේෂයෙන් ඒ චරිත පිළිබඳ සැලකිලිමත් වුණා. අධ්යක්ෂවරයාගේ, ඇඩ්වර්ටයිසින් ඒජන්සියේ වගේම අපේ ක්ලයන්ට්ගෙත් අදහස් අනූව තමයි මේ දැන්වීමේ සියල්ල නිර්මාණය වුණේ. මේ දැන්වීම XTEN ප්‍රඩක්ෂන් හවුස් එකෙන් තමයි සිදු කළේ. මෙහි නිෂ්පාදක ලෙස කටයුතු කළේ ප්‍රසන්න කිතලගමයි. ඒ වගේම කැමරා කළේ ධම්මික රත්නායක, මියුසික් කළේ අමිල නිදහස්. මේ අයගෙන් ලැබුණු සහයෝගය විශාලයි. එනිසයි මෙය සාර්ථක කර ගන්නට පුළුවන් වුණේ'. නාකුල් පවසන්නේ එලෙසයි.
නිර්මාණශීලී දැන්වීමක සාර්ථකත්වය රඳා පවතින්නේ එහි අඩංගු දෙබස් හා රූප රචනාවන් හි ඇති ප්‍රබලත්වය මතයි. මෙම දැන්වීමේ කතා රචක සචිත්ර ගුණරත්න ඔහු ජයගත් මේ අභියෝගය පිළිබඳ පවසන්නේ මෙවැන්නකි. 'මට මේ දැන්වීමේ තිර පිටපත ලියන්නට අවස්ථාව උදාවෙන්නේ TBWASri Lanka මම සේවය කරන ඇඩ්වර්ටයිසින් ඒජන්සිය නිසා. මම එහි කටයුතු කරන්නේ නිර්මාණ අධ්යක්ෂවරයෙක් ලෙසයි. මෙය නිර්මාණය කරත් දී ආයතනයේ ප්‍රධාන නිර්මාණ නිලධාරී සුභාෂ් පින්නපොළ ලබා දුන් සහයෝගය විශාලයි. ඇත්තටම දැන්වීමක් නිර්මාණය කරත් දී නිර්මාණයට අදාළව ස්ක්‍රිප්ට් ලියන්න අවස්ථාව අපි හැමදෙනාටම උදා කර දෙනවා. අපි ලියූ පිටපත් අතුරෙන් ක්‍රියේටිව්ම පිටපත තමයි තෝරා ගන්නේ. මම මෙය රචනා කරත්දී බේස් වුණේ 'අඳුරගත්ත ද මන්දා මාව ' කියන ප්‍රධාන තේමාවයි. සාමාන්‍යයෙන් කෙනෙක්ව හඳුනගන්න බැරිව පැටලුණාම තමයි මේ වගේ දෙයක් කටින් පිටවෙන්නේ. ඒ අනූව පුංචි දරුවෙක් ගිරවකුට දක්වන ආදරය වටා තමයි මේ දැන්වීම ගොඩනැගෙන්නේ. සාමාන්‍යයෙන් මේ දැන්වීම නිර්මාණය කරත් දී අපේ ක්ලයන්ට් ට අවශ්‍ය වුණේ ඔවුන්ගේ 'අඳුරගත්ත ද මන්දා ' කියන තේමාව යටතේ නිර්මාණය ගොඩ නඟන්නයි. මොකද මේ වදන සමාජයේ ජනප්‍රිය වෙලා තිබුණේ. ඒ වගේම දැන්වීම් පෙළක් මේ ආශ්‍රිතව ගොඩනැඟී තිබුණා. ඒකේ දිගුවක් ලෙස තමයි 'කතා කරන පෙත්තා' දැන්වීම නිර්මාණය වෙන්නේ. මම එයට උචිත විදිහට තමයි මේ නිර්මාණය රචනා කළේ. එ් සඳහා අද සමාජයේ ඇති ආදරය, තාරුණ්‍යය, මේ සියල්ල යොදා ගත්තා. මෙහි එන මල්ලී පාසල ඇරී ගෙදර එනවා. ඒ පවුල මධ්‍යම පාන්තික පවුලක්.
අක්කාට ආදරය කරන හොරෙන් හොරෙන් ගෙදරට එන පිරිමි ළමයෙක් ඉන්නවා. මල්ලිට තියෙන්නේ ගිරා පිස්සුව. කාලයක ඉදන් ඇති කරන ගිරවා කතා කරවන්න ට්‍රයි කරනවා. ඒ අතර අක්කගේ ආදර කතාව ගලාගෙන යනවා. මේ කන්සෙප්ට් එක මත තමයි මෙය රචනා වෙන්නේ.
විශේෂයෙන්ම ක්‍රීම් ක්‍රැකර් කිව්වම සමාජයේ ප්‍රචලිත වෙලා තිබුණේ එය ලෙඩ වුණාම කන්න ලෙඩුන් බලන්නට අරගෙන යන්න හොඳ බිස්කට් එකක් ලෙසයි. ඒ මතය බිඳ දමන්න අපේ ක්ලයන්ට අවශ්‍ය වුණා. ක්‍රීම් ක්‍රැකර් කියන්නේ ඕනම වෙලාවක ඕනම කෙනෙකුට රසවිදින්න පුළුවන්. තරුණ තරුණියන් වඩාත් ඇලුම් කරන බිස්කට් එකක් කියන එක මේ දැන්වීම් පෙළ ඔස්සේ අපි සමාජයට රැගෙන ගියා. ඒ පණිවිඩය සාර්ථකව සමාජ ගත කරන්නට අපිට අවස්ථාව හිමි වුණා. ලැබෙන ප්‍රතිචාර නිසාම ඒ ගැන ඇත්තටම සතුටුයි.