
අවාසනාවන්ත අකාකි අකාකියේවිචිගේ ඉරණම, ඔහුගේ මරණයෙන් ද අවසන් නොවෙයි.
මුළු ජීවිත කාලය තුළ ප්‍රසිද්ධියක් නො ලැබීම පිළිබඳ වන්දියක් වශයෙන් දෝ ඔහුගේ මරණයෙන් දින කීපයකට පසු නගරයේ කරන කතාබහවලට ඔහු මුල් විය.
“අපේ දුප්පත් කතාව බලාපොරොත්තු රහිත ලෙස අරුම පුදුම අන්දමට අවසාන වන්නට හේතු වූයේ” එම කාරණය වෙතැයි ගොගොල් පවසන්නේ උත්ප්රාසය මුසු වදන්වලිනි.
“ආණ්ඩුවේ ලිපිකරුවකුගේ හැඩහුරුකම ඇති අවතාරයක් කලින්කින් පාලම අසල එළිමහනෙහි හොල්මන් කරන්නට පටන් ගෙන ඇති බව පීටර්ස්බර්ග් නුවර පුරාම කට කතා පැතිරෙන්නට විය. මෙම අවතාරය, හොරකම් කළ හිම කබායක් හොයන බවත්, නැති වූ එම හිම කබාය හොයන ව්‍යාජයෙන් හැම මිනිසකුගේ හැම වර්ගයකම හිම කබා, එනම්, බළල් ලොම් සහිත හිම කබා, මුගටි ලොම් සහිත හිම කබා, හිවල් හා වලස් ලොම් සහිත හිම කබා, කොටින් කියතොත් හැම වර්ගයේ සත්ව ලොමින් කළ මිනිසුන් පාවිච්චි කරන හිම කබා ඇද ගලවා ගන්නා බවත් පැතිරිණ. තම ඇස්පනාපිටම අවතාරය දුටු දෙපාර්තමේන්තුවක එක්තරා ලිපිකරුවෙක් ඒ අකාකි අකාකියෙවිච් බව එක් වරම හඳුනා ගත්තේය. එහෙත් ඔහු කොතරම් බය වුණාදයත්, ඔහු එක්වරම දුවන්ට පටන් ගත් බැවින් අවතාරය හොඳ හැටි දැක ගැනීමට ඔහුට නුපුළුවන් විය.
එහෙත් අවතාරය ඈත සිට ඇඟිල්ල උරුක් කොට තර්ජනය කරන සැටි පමණක් ඔහු දුටුවේය. හැම පැත්තකින්ම තොර තෝංචියක් නැතුව පැමිණිලි ගලා එන්ට විය. නිතරම හිම කබා ගලවා ඇද දැමීම නිසා මන්ත්‍රීවරුන්ට පමණක් නොව රාජ්‍ය උපදේශකවරුන්ට පවා මහත් අනතුරු ඇතිවන්ට පටන් ගත්තේය. පණ පිටින් හෝ මරා හෝ අවතාරය අල්ලන සැටියටත්, අනික් අවතාරයන්ටත් පාඩමක් වශයෙන් අනුකම්පා විරහිතව දඬුවම් පමුණුවන සැටියටත් පොලිසියට අණ ලැබිණ. එහෙත් ඔවුන්ට අවතාරය අල්ලාගත නො හැකි වූයේ යන්තමිනි. කිර්යුෂ්කින් පටු මගේ සේවයෙහි යෙදී සිටි එක්තරා පොලිස් භටයෙක් වරක් අවතාරය කබායක් උදුරා ගන්නට තැත් කරන විටම ඔහුගේ කොළරයෙන් අල්ලා ගත්තේය. එය සිදු වූයේ කලෙකදී බටනලා වාදනය කළ මහලු සංගීත කාරයකුගේ හිම කබාය උදුරා ගන්නට අවතාරය තැත් කරන විට දීය. පොලිස් භටයා කොළරයෙන් අවතාරය අල්ලා ගෙන උදව්වට තම සගයන් දෙදෙනෙකුට අඬ ගැසුවේය.
සගයන් පැමිණි විට ඔහු තක්කඩියාව ඔවුන්ට අල්ලා ගන්නට දී, සීතල නිසා හයවරක් ලෙඩවුණු තම නැහැයට පණ පොවා ගන්නට දුම්කුඩු ඩිංගක් උරනු පිණිස, තම එක් උස් සපත්තුවක ලා ඇති දුම්කුඩු හෙප්පුව ගන්නට නැඹුරු වුණේය. එහෙත් එම දුම්කුඩු යකෙකුටවත් උහුලන්නට බැරි තරම් සැර දුම්කුඩු වුණා විය යුතුය. පොලිස් භටයා තම දකුණු නාස්පුඩුව ඇඟිල්ලකින් වසා ගෙන, අතින් බාගයක් පමණ වූ දුම්කුඩු වම් නාස්පුඩුවෙන් ඉරුවේය. එවිට අවතාරය කොතරම් තදින් කිඹීහුමක් ඇරියේදයත් ඔවුන්ගේ ඇස් නො පෙනී ගියේය. ඔවුන් තම නෙත් පිස දැමීමට අත් එසවූ අතරතුරේදී අවතාරය මුළුමනින්ම අතුරුදන් විය. අවතාරය තමන් අතට අසු වී සිටියාමදැයි සහතිකකොට කීමට පවා ඔවුන්ට හැකිකමක් නො වීය. එතැන් පටන් පොලිස් භටයෝ මළ අයට කොතෙක් භය වුණාද කීවොත් ජීවත්ව සිටින්නන් අත්අඩංගුවට ගන්නට පවා බියක් දැක්වූහ. ඔවුහු “ඒයි, උඹ ඔහේද මෙහාට එනවද?” යනුවෙන් ඈත සිට කෑගසති. ලිපිකරුවාගේ අවතාරය, නීති ගරුක, බයාදු ගති ඇති මිනිසුන් බිය එළවමින් කලින්කින් පාලමට එහායින් පවා හැසිරෙන්නට පටන් ගති.”
ඇන්තන් චෙකෝෆ්ගේ සුප්‍රකට හාස්‍යෝත්පාදක කතාවක එන නෘතය ශාලාවේදී තම හාම්පුතා ඉදිරියේ කිවිසුම් ඇරීම ගැන ඔහුගෙන් නැවත නැවත සමාව අයදිද්දී ඇසූ බැණුමකින් පසුව, ගෙදර ගොස් මියැදෙන මහලු ලිපිකරුවා මෙන් ම, අකාකිද මියැදෙන්නේ “බෙහෙවින් වැදගත් පුද්ගලයාගේ” තරවටුව නිසාය. අවතාරය ගැන කරන තාත්වික වූ ද, අතාත්වික වූද විස්තරකථනයෙන් පසුව, ගොගොල් පාඨකයා ඉදිරියට, නැවත පමුණුවන්නේ, ඉහත කී “බෙහෙවින් වැදගත් පුද්ගලයාය”.
තම මිතුරා කාමරයෙන් පිට වී ගිය විගසම අසරණ අකාකි ගැන කණගාටුවක්, ඔහු තුළ පහළ විය. නිලධාරියකුගේ තර්ජනයක් මිනිසකු මෙන් විඳ දරා ගත නො හැකි වූ, බයාදු ආණ්ඩුවේ ලිපිකරුවාගේ සුදුමැලි මුහුණ ඔහුට තම හිතෙන් ඉවත් කළ නො හැකි විය. ඇත්ත වශයෙන් ම ඔහු අකාකි ගැන කොතෙක් කණගාටු වූයේ ද යත්, අකාකිගේ සැප සනීප කොහොමද, ඔහුගේ හිම කබාය සම්බ වුණාද, ඔහුට පිහිට වීමට කිසියම් මඟක් ඇත්තේද යන්න සොයා බැලීමට ඊට සතියකට පමණ පසු තම ලිපිකරුවෙක් අකාකි වෙතට යැව්වේය. අකාකි උණෙන් හදිසියේ මළ බව දැන ගත් විට ඔහු බොහෝ දුරට කලබල විය. මුළු දවසම හෘදය සාක්ෂිය ඔහුට පීඩා කෙළේය. ඔහු සිටියේ නොසන්සුන් ස්වභාවයකිනි.
කෙසේවෙතත් ඔහු ආපසු ප්‍රකෘති තත්ත්වයට පැමිණියේය. තම යහළුවන් අතර මහත් සිනා ඇති කළ, දැනුත් තමන්ටම සෙමින් කියා ගන්නා විහිළු වදන් ඔහුට සිහි විය. එම විහිළු වදන් පළමුවැනි වතාවට අසන්නාක් මෙන් ඔහු මහත් ආස්වාදයක් වින්දේය. ඔහු මහත් සන්තෝසයෙන් සිනාසුණේය. කොහෙන්ද, කුමකටද, යන්න ගැන කිසි තැකීමක් නොමැතිව හදිසියෙන්ම මොරගහමින් හමා යන්නට වූ සැඩ සුළඟ පමණි, ඔහුගේ ප්‍රීතියට ඉඳහිට බාධා කෙළේ. සැඩ සුළඟ තියුණු පිහියක් මෙන් ඔහුගේ මුහුණ කපා ගෙන යයි. හිම ගුලි ඔහු වසා ගෙන වැටේ. ඔහුගේ කොළරය රුවල් දෙකක් මෙන් ලෙළ දෙයි. කිසියම් අද්භූත බලවේගයක් හදිසියේම ඔහු හිස මත කඩා වැටී එයින් ඔහු බේරීමට නිරතුරු වෑයම් කරන්නාක් මෙන් දැනිණ.
හදිසියෙන්ම කිසිවෙක් තරයේ තම කොලරයෙන් අල්ලා ගත් බව බෙහෙවින් වැදගත් පුද්ගලයා දැනිණ. පසුපස හැරී බැලූ විට ඔහු දුටුවේ පරණ වී, නූල් පෑදුණු ලිපිකාර නිල ඇඳුමකින් සැරසුණු කුඩා මිනිසෙකි. ඒ අකාකි අකාකියෙවිච් බව ඔහු එකපාරටම හඳුනා ගත්තේය. ලිපිකරුවාගේ මුහුණ හිම මෙන් සුදුපාටය; පෙනුම මළ මිනිහකුගේ පෙනුම වැන්න. මළ මිනිසාගේ මුව ඇදවනු දුටු විට බෙහෙවින් වැදගත් පුද්ගලයා මරණ බියෙන් කිලිපොළා ගියේය.
“අහා, උඹ නේද, අන්තිමට මට උඹ අහු උණා බෙල්ල මුලින්! මට ඕනැ උඹේ හිම කබාය! උඹ මාව තුට්ටුවකට ගණන් ගත්තෙ නෑ. එහෙම නේද? මට හිම කබාය හොයල දෙන්න මොකුත් කෙළේ නෑ. ඒ මදිවට මට නින්දා කරා. දැන් ඉතින් දීපන් මට උඹේ එක” යි අකාකිගේ අවතාරය කියන්නට විය.
අසරණ බවට පත් බෙහෙවින් වැදගත් පුද්ගලයා නො මැරුණා විතරකි. කන්තෝරුවේදී සාමාන්‍යයෙන් ඔහුට වඩා පහත් ඈයන් ඉදිරියේදී ඔහුගේ එක බැල්මක් හා පෙනුම “ඕ! මොන තරම් තේජසක්ද!” යනුවෙන් කීමට තරම් ප්‍රමාණ වුවත්, මේ හදිසි අවස්ථාවේදී, හොඳ දේහ ශක්තිය ඇති අනික් බොහෝ මිනිසුන් මෙන්ම ඔහු භටයෙන් පෙළෙන්නට විය. ඔහු තම හිම කබාය තමන් විසින්ම ඉවතට වීසිකොට බියජනක හඬකින් රියැදුරාට “හනික ගෙදර පලයන්” කීවේය. කියන ලීලාවෙන් හදිසි අවස්ථාව වහාම තේරුම් ගත් රියකරු මෙවැනි අණත් සමඟ වෙනදා ලැබෙන පහර එදා නො ලැබුණද එය බලාපොරොත්තුවෙන් දෙවුර හකුලා පහත්වී තෝන්පට වැරයේ අල්ලා ගෙන, කසය ලෙළවා ඊයක වේගයෙන් යන්නට විය. විනාඩි හයක් යන්නට මත්තෙන් බෙහෙවින් වැදගත් පුද්ගලයා තම ගෙදර දොරකඩෙහි විය.
ඔහු සුදුමැලිව, බිය පත්ව, හිම කබාය නොමැතිව ගෙදර පැමිණියේය. කෙසේ හෝ වැනි වැනී ගොස් අමාරුවෙන් ඔහුට තම කාමරයට යා ගත හැකි විය. ඔහු ගත කෙළේ බෙහෙවින් නොසන්සුන් රාත්‍රියකි. උදේ තේ පානය කරද්දී ඔහුගේ දියණිය “අද තාත්තා හොඳටම සුදුමැලි වෙලා” යි කීවාය. එහෙත් පියා පිළිතුරු දුන්නේ නැත. තමාට සිදු වූ දෙය ගැනවත්, තමා කොහේ සිටියාද, තමාට යෑමට වුවමනා කෙළේ කොහොටද යන්න ගැනවත් ඔහු වචනයක් දෙඩුවේ නැත.
ඊට පසුව සිදු වූ බෙහෙවින් අරුම පුදුම දෙය නම්, ලිපිකරුවාගේ අවතාරය හොල්මන් කිරීම එදායින් මුළුමනින්ම නතරවීමයි. තමාට හොඳට ගැළපුණු ජෙනරාල්ගේ හිම කබාය ගැන ඔහු මහත් සතුටට පත් වූවා විය හැකිය. හිම කබා උදුරා ගනු ලැබූ මිනිසුන් ගැන තවත් අසන්නට නො ලැබිණ.
ගොගොල් සිය හිම කබාය අවසන් කරන්නේ, එය අවතාරයක් බවටද පත් කරමිනි. මැරුණු අකාකිගේ අවතාරය යථාර්ථයෙන් පිට පනින්නේ නැත. එසේ නොවන්නේ, ගොගොල් ගේ ශූර කතා රීතිය හේතුකොටගෙනය.
ගොගොල් චරිත සිත්තම් අඳින්නේ අපූර්වාකාරයෙනි. ඒ චරිත සිත්තම් මඟින් මුළු මහත් තත්කාලීන සමාධියම සිත්තම් කෙළේ ඊටත් වැඩි අපූර්වාකාරයෙනි. සාර් යුගයේ සමාධිය නමැති සුවිශාල සිත්තම, ඔහු චිත්රණය කළ ආකාරය දැකිය හැක්කේ ඔහුගේ “මළ මිනිස්සු” නවකතාව මුල සිට අගට කියවීමෙනි.
මතු සම්බන්ධයි.