හිමකබායේ | සිළුමිණ

හිමකබායේ

 

රැය ගෙවී යෑමට පෙර
හෙට පිපෙන්නට තිබෙන
මල් පෙතිවල
යුහුසුලුව පාට තවරන
මේ සිත්තරා කවුරුද...

පාලිත සේනාරත්න නම් කවියා වරෙක මුහුණු පොතේ එසේ සටහන් කර තිබිණි. උදේට පිපෙන මල් පෙරදා රැයේ නොදුටු ආකාරයෙන් විචිත්‍රවත් ය. පෙරදා පොහොට්ටුවක් ව පෙති හකුළා ගෙන සිටි මල රැයේ අසිරිමත් මොහොතේදී සිත්තරකුගේ තෙළිතුඬින් වර්ණවත් ව නෙක විසිතුරු රටා මවමින් පිපෙන්නේ ය. කවියා අසන්නේ හෙට පිපෙන්නට තිබෙන මේ මල් පෙතිවල රැය පුරා වෙහෙසෙමින්, යුහුසුලු ව පාට තවරන සිත්තරා කවුද කියා ය. හයිකු කවියක අනුවාදයක් වන මේ පද පේළි කියවන විට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ‘ වෙසක් මිහිර‘ කවි පේළිය සිහිපත් වීම වැළැක්විය නොහැකි ය.

දරුවා අම්මාගෙන් අසන්නේ මල් පෙතිවල මෙලෙක ගැනත් තමා නොදන්නා පාට ගැනත් ය. ඒ කවිය මෙසේය.

මොනවද අම්මේ අකුරු ජාතියක්
මල් පෙතිවල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේවා ලියන්නේ
පාට පාට ඉරි හැඩ දමලා...

කවියන්ට වස්තු විෂයය වන කාව්‍ය සංකල්පනා උපදින්නේ කොතනින්ද කියා කිසිවකුටත් කිසිලෙසකින් කිව නොහැකිය. සිග්මන් ‍ෆ්‍රොයිඩ් කලා නිර්මාණ අරභයා කොතෙක් පර්යේෂණ කළ ද කලා නිර්මාණ බිහිවන්නේ කෙලෙසදැයි තේරුම් ගැනීමට නොහැකි බව ප්‍රකාශ කළේය. කලා කෘතියක් නිම­ැවූ කලාකරුවකුට වුව ද තමා ඒ කලා කෘතිය නිමැවූවේ කෙසේද යන්න ගැන පැහැදිලි කිරීමට නොහැකිය.

විද්‍යාව දියුණු අද පවා කලා නිර්මාණය ආශ්චර්යවත් දෙයකි. නිර්මාණය උගැන්වීම පිණිස දියුණු රටවල විවිධ විශ්වවිද්‍යාල පාඨමාලා ආරම්භ කර ඇතත් තෝල්ස්තෝයි, ගොර්කි, හෙමිංග්වේ වැනි ලේඛකයකුගේ හො පිකාසෝ, මයිකල් ආන්ජලෝ වැනි චිත්‍ර ශිල්පියකු හෝ බිහි කිරීමට හෝ ඔවුන් සමත් වූයේ නැත. මිනිස් මනස ගැන කෙනෙක් නිර්මාණ කළත් නිර්මාණ සූත්‍රය නම් අපට හමු වන්නේ නැත.

අප ජීවිත කාලයේ ම කරන්නේ ඉගෙනීමය. විවිධ විවිධ දෑ උගැනීම සඳහා විවිධ ක්‍රම අප අනුගමනය කරන්නෙමු. යම් තැනැත්තකු පාසලට හෝ විශ්වවිද්‍යාලයට යන විට ඔහු තොරතුරු රැසක් උගනියි. සමහර විට ඒවා වැදගත් නොවූව ද අපි ඒවා උගනිමු. ඒවා දිනෙක දැනුම බවට පෙරළෙයි. ඒ දැනුම උපයෝගී කර ගෙන අපි වැඩ කරන්නෙමු. ඉගෙනීම වත්මන් කාලයට අයත් වන්නක් බවත්, එය නිරන්තරයෙන් සිදු වන්නක් බවත් ඔබ දනියි. එහෙත් ඉගෙනීම දැනුම රැස් කිරීමේ මඟක් බවට පත් වූ විට එය සහමුලින් ම වෙනස් වෙයි. ගින්නෙන් පිලිස්සෙන බව දන්නේ අත්දැකීම් අනුසාරයෙනි. එය දැනුමයි. තොරතුරු රැස් කර ගත්විට එය දැනුම බවට පෙරළේ. එහෙත් නියම ඉගෙනීම මීට හාත්පසින් ම වෙනස් වූවක් යැයි මා කිවහොත් ඔබ එකඟ ද?

ඉගෙනීම උසස් කලාවක් වන්නේ යම් සේද දැකීම ද උසස් කලාවක් බවට පත් වේ. මලක් දකින විට ඔබට කුමක් සිතේද? ඔබ නියම වශයෙන් ඒ මල දකින්නේ ද? නැත්නම් ඒ මල ගැන ඔබ අසා ඇති තොරතුරු අනුසාරයෙන් එය දකින්නෙහිද? මේ ක්‍රම දෙක සහමුලින් ම එකිනෙකට වෙනස් ය. ඒ මල කුමක්දැයි නම් කරන්නේ නැතිව තමාත්, තමා මල සේ දකින දේත් අතර තිරයක් නැතිව, වචන නැතිව, සිතිවිලි නැතිව පාටක් හෝ මලක් දෙස ඔබ බැලීමේදී ඒ මලෙහි අසාමාන්‍ය සුන්දරත්වයක් තිබේ. එහෙත් ඔබ සතු විද්‍යාත්මක දැනුම භාවිත කරමින් මල දෙස බලමින්, ඒ මලේ ස්වභාවය ගැන සිතන විට ඒ ඔබගේ බැලීම හැඩ ගැස්මකට ලක් වූ බැලීමක් බවට පත් වෙයි. දකිමින් ඉගෙනීම නියම කලාවකි.

ඒ කලාව ඉගැනීමට විශ්වවිද්‍යාලයට යෑමට අවශ්‍ය නැත. ඔබ මල දෙස බලන විට ම ඔබ ඒ දෙස බැලුවේ කුමනාකාරයෙන් ද යන්න ඔබේ සිතට ම දැනේ. ඔබ සංවේදී නම්, පරීක්ෂාකාරී නම්, සජීවි නම් ඔබත් මලත් අතර ඇති අවකාශය අතුරුදන් ව යනු ඇත. ඒ අවකාශය නැති වූ ඇසිල්ලේ ඔබ ප්‍රාණවත් ලෙසත්, තියුණු ලෙසත් මල පටන් ගන්නේ ය. එවිට තමා තමාටම පහනක් වන නිසා තම පහන වෙන කිසියම් හෝ පහනකින් දැල්විය යුතු නැත. ඒ, පහන ඔබ ම වන නිසා ය.

සමහර විට ඔබට සිතේවි, මල් පිපෙන ආකාරය හෝ ඉර බැස යන ආකාරය ගැන බැලීමට යම්කිසි පුහුණුවක් අපට නිරායාසයෙන් ම ලැබී තිබෙනවා කියා. ඔබට එසේ සිතෙනවා නම් එය යම්කිසි අකාරයක අවදි වීමකි.

ඔබට කුසගිනි ඇතැයි වෙන කෙනෙක් කීම එකකි. ඔබට කුසගිනි ඇතැයි ඔබට ම දැනීම ත‍ෙවකකි. මේ දෙකෙන් සත්‍ය වන්නේ කුමක්ද? ඔබ, ඔබ කෙරෙහි අවධානවත් නිසා, ඔබේ ජීවන ගමන ගැන ඔබ දන්නා නිසා ඔබට බඩගිනි ඇති බැව් ඔබ අවබෝධ කර ගැන්ම ජීවන ශක්තියකි. වත්මන් තරුණ පරපුර විප්ලව කරන්නාක් මෙන් ඔබ අනෙකකුගේ ක්‍රියාවකට, ප්‍රතික්‍රියා දැක්විය යුතු නැත.

ඔබේ සිත ගැන, ඔබේ සිතිවිලි ගැන දන්නේ ඔබ ය. එබැවින් නිදහස් මනසක් ඇති කරගත හැක්කේ ද ඔබට ය. සංසන්දනයෙන් තොර මනා අවබෝධයක් ඇති කරගත හැක්කේ ඔබට ය. පූර්ව නිගමනවලින් තොරව යමක් දෙස අවබෝධයෙන් බැලිය හැක්කේ ඔබට ය. කොටින් ම කිවහොත් සිතට ආදරය දැනෙන්නේ එවිට ය.

[email protected]

Comments