
දෑ තිලකයකි ඔබ
දෑ හිතකාමී මැතිඳුන් අවැසිම කලෙක
නම දිනු පබු දනන් ඇති නෑදෑ පෙළක
ගම්පහ පෙදෙසෙ වොරැඳෙන යස නිවහනෙක
සුපිපුන කුසුමක්ය ඩී.බී. ජයතිලක
අදිරදවාදී පාලනයෙන් මිලිනවුණ
දෑ ආගම්බේද අසමගි පෙරටුවන
ඉසුරෙන් නැණෙන් ගුණ දහමින් පහළ යන
රටත් දැයත් දසුනට දිසි ‘තිලකමිණ’
හෙළ සකු පාලි ඉංග්‍රීසි බස් උගත් සඳ
භාරතයෙන් පිදුණි සරසවි උපාධිද
කොළඹ අනඳ විදුහල්පති නිලයෙ හිඳ
සහස් ගණන් උගතුන් ලොවට කළෙ පුද
කොළඹ තරුණ බොදු සමිතිය යස ලෙසට
වෙහෙසිණි හදා දෙන්නට මැති මවු රටට
එක්සිය විසි වසකි එහි සේවා දැනට
දිස්වන මහිම එතුමා දනි දෙවි නෙතට
නිති උපාධිය ලදි එංගලන්තයෙන්
පුදදිනි ‘නයිට්’ ගරු පදවිය අදිරදයෙන්
නවසිය තිස් එකේ කැලණිය ආසනයෙන්
රජමැති සභාවේ පිදුණා මැති නිලයෙන්
පඬිරුවනක් වෙමින් ඩී.බී. මැතිඳු යස
හෙළ බස බොදු දහම මතුවට රැකෙන ලෙස
සිංහල සකු පාලි දම් පොත් රුවන් රැස
සකසා ලියා පළ කළෙ සුරගුරුන් ලෙස
පිය මවුරටට නැති නිදහස දිනන්නට
සවියක් දෙමින් සටනේ නියමුවන් හට
නිසි ලෙස කරුණු පහදා අදිරජුන් හට
යුතුකම් කළේ ඩී.බී. මැති කෙළින් සිට
හෙළ දිව කිත් යසස ලොව දන මුවග රැඳූ
ලක් මෑණියෝ නළලත තිලකයක් බඳූ
ගුණ නැණ දැනුම බලමහිමෙහි සුපිරිසිදූ
දෑ තිලකයකි ඩී.බී. ජයතිලක සඳූ
(ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිඳුන්ගේ
150 වන ජන්ම දින සමරුව නිමිත්තෙන්)
විමල් රූබසිංහ
මගේ හිත මියැඳුණා
කළුවරට එළිය දෙන සඳේ සිසිලේ එතී
එක රැළට පළ ගැසී මා වවුලෝ ඉඟිලෙතී
අඳුර ළඟ සිත් මඬල මේ කිසිත් දන්නැතී
තනිකමට රිඳුම් දී වැලපුණා දුක සිතී
තුරු අගෙහි මල් කැකුළු විහිදුවාගෙන පෙතී
මුණු මුණුවෙ ගී ගයා එහෙ මෙහෙට පැද්දෙතී
පිපුණූ සේපාලීකා හීන් මදනළ එතී
නිහඬවම මියැදිලා කඳුළු හා බිම වැතී
පුර පසට අවනතව කණ මැදිරි සැඟවෙති
හද පිරුණ දොම්නසින් ඉඟිල ඈතට යතී
ගගනතට පෙම් කෙරුව තරු පොකුරු හා එතී
මගේ හිත මියැදුණා නුඹෙ ලොවට හිමි නැතී
සුබෝධා ගමගේ
නුඹ කොහේ කොතැනද?
ජීවිතේ වසන්තය පසුකොට
බොහෝ දුර ගොසින් ඇත යෞවනය
එහෙත් තව මඟ බලා හිඳිමි මම
මඟ හැරුණු හිමිදිරිය දකින තුරු...
අතීතය බොහෝ දෑ සඟව ගෙන
කාලයේ රල අතර නිහඬ විය
සදාතනිකව ලොබින් වැලඳ ගත්්
සිහින මිහිදන් වුණිය නෙතු අතර...
ජීවිතය වැරදුෙණ් මටම විතරක් නොවේ
නුඹ ද පීඩා විඳිනු ඇත සිතින්
ලෝකයේ කොහේ කොතැනක
ගොසින් සැඟවුණි ද
අහිමි කරලනු නොහැක මතකයන්...
චන්ද්‍රිකා රණසිංහ
දුල වදුල
නිල් ලොව එළියකර අරුණලු ගලන පැයේ
ලංදේ ඕවිටේ වනමල් පිපෙන දියේ
විහඟුන් මදුර ගී දෙකනට ඇසෙන රැයේ
සඳමිණි සිනාවක් මුතු ලෙස රැඳෙන ළයේ
උස් කඳු මතින් විහඟුන් හිරු රැසින් පෙනේ
සුළං කුමරි පාවෙයි නන් දෙසින් වනේ
ජලබර වෙලා ගස් අතු සොම් නසින් වැනේ
වැසි කුමරියන් නිල් දිය මල් ලෙසින් ගෙනේ
සොබා දහම් මව සෙනෙහස තුරුලු කර
සේපාලිකා මල් නෙලමින් වදුල පුර
දසුනකි දැකුම්කලු දෙනෙතට සෙනෙහෙ බර
සඳමිණ පෙනේ නිල්වන් ලොව නැගෙන හිර
මිනිසා සතුව ඇති සුන්දර දැකුම ඇතී
වනපෙත රකිමු පරිසර මවු තුරුලෙ එතී
රැකවරණයට එයි හිරුමල් පිපෙන පෙතී
හා මුව පැටව් රඟදෙති ළය කවන කිති
සුව දන වන සිතට සඳකැන් ගුවන කුස
මිහිතල සිපගනී පිබිදෙන සිහිල ලෙස
කෝකිල මියුරු වෙනතත් කන පිරුණ රස
සොබා දහම දෙවියෙකි ඇති නැණස හිස
තුරු හිස් පුරා පියකරු මේ දිදුල බිමේ
ලස්සන මල් මදාරා අතු බිමට නැමේ
පෙම්වත් කුරුලු යුවළක් දුල වදුල හිමේ
පෙම් රස විඳිනු දුටුවෙමි විසිතුරුව ළැමේ
සිඹ සිඹ තුරුලතා මහ උස් කඳු රැලිය
නළවනු පෙනේ මේ සුන්දර සුර තලිය
පොරවට පණ දෙමින් බිඳ වන පෙත එළිය
ලොවටම අහිමි නොකරනු මේ සුර තලිය
දෙහිවල ලයනල් ප්‍රනාන්දු
හන්තානට පායන සඳ
අඳුරු වැටෙන විට ඇය වැඩ පොළෙහි හිඳ
සුරැකුම් පාසලට ගොස් සෙනෙහසින් තද
අතකින් නුඹය අනෙකේ බඩු පොදිය බැඳ
අම්මා යන අයුරු රහසින් දුටුව සඳ
ගෙට ගොඩ වුණ හැටිය ගෙය අතු පතු ගෑම
නින්දට පෙර හදයි දරුවන් හට කෑම
පාසල් පොත් මිටිය පිළියෙල කර දීම
දුටුවේ සඳු පමණි මහ රෑ හැමදාම
හිමිදිරි උදෑසන පුන්සඳ බසින පැයේ
නුඹ අත අල්ලගෙන පාසල වෙතට ගියේ
හද සෙලවිලා වැඩ පොළ රතු ඉරට බියේ
ඇගෙ වේදනාවන් සඳුටත් මතක තියේ
කන්නට අඳින්නට පොත්පත් ටික ගන්ට
ඉල්ලන අනෙක් දේවල් අරගෙන දෙන්ට
බැරි වුණ දිනක පඩියෙන් පිරිමහ ගන්ට
සඳ සැඟවුණා නොහැකිව දුක දැක ගන්ට
සිප් කිරි පොව පොවා අති දැඩි කළ අම්මා
නුඹත් අරන් හන්තානෙට ගිය අම්මා
හද විල පිපි සතුටු මල් දැක දැක අම්මා
සඳටත් හොරෙන් අහසට නැගගත් අම්මා
දරුවයි මමයි ආ ගිය තැන් බැලුවාට
මට සැනසුමකි මා පසු පස ආවාට
අලුතින් මවුවරුන් ඇති වී දරුවාට
නොබලන් අනේ සඳ මා තනිවුණ දාට
සුගතදාස කුරුවිට
ආදරය
මවගෙන් දුවට
දුවගෙන් මවට
හැමූ ඒ
ආදර සුවඳ..
ඈ හද දිනූ
ඇයට පෙම් කරන
ඔහු වටා
හමද්දී..
ආදරය බෙදි බෙදි
අතු ගංගා
සොය සොයා
පෙරට ඇදේ
චම්පා විජයවර්ධන
වෙනස
අඳුරේ එකට හිටියත්
අඳුරට පාළුව මැකුවත්
විය හැකිද?
කෙදිනකවත්
කණ මැදිරියෙකුට
පුර සඳක්
තුෂාරි නේරංජා වික්‍රමසිංහ
දෛවය
මලින් කොළින් පලින් බරව
සැමට සතුට සෙවණ අහර දුන්නත්
නැති බැරි කළ
පවන් සලා ගන්නටවත්
එකම එක කොළයකුදු නැතිව
ගිනි අව්වේ කැකෑරෙන
මියැදෙන ගහක්
ගංගා වරුෂවිතාන
පිම්බීම
පිම්බුණත්
කදිමෙට
බොලන්
බලන්
බැලුන්
තුළ ඇත්තේ
හුළං
දඹේගොඩ ජිනදාස
මතක සැමරුම්
1971 අගෝස්තු මස 15 වැනිදා ඉරිදා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ රැස්වීමක් පැවැත්විණි. ටී.බී. තෙන්නකෝන් ඇමැතිවරයා මෙම රැස්වීමෙදි සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ ප්‍රධාන සභාපති තනතුරට පත්කර ගන්නා ලදි.
සමලේකම්වරු හැටියට, පත්වුනේ පී. මලල්ගොඩ කවියා හා ‘මිහින්තලේ’ පාර්ලිෙම්න්තු මන්ත්‍රී පතිරාජ තෙන්නකෝන් කවියා ය. භාණ්ඩාගාරික තනතුරට පත්වුනේ පොළොන්නරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ලීලාරත්න විජේසිංහ කවියාය. එදා රැස්වීමෙන් පසු කවියෝ සභාපති කවියත් පෙරටුකොටගෙන දළදා වඳින්න ගිය හ. බිංගිරියෙ සෙනරත් විජයකුමාර කවියාත් මේ අවස්ථාවට පැමිණ සිටියේය. බිංගිරියෙ කවියා යනු නමින් පිටවෙන සෑම වචනයක් ම රස කවියක් බවට පෙරලා එසැණින් කවි සියගණනක් වුණත් කියන්න පුළුවන් සහජ දක්ෂතාවයක් තිබුණ කවියෙක්. එදින දළදා මාලිගාවෙදි තෙන්නකෝන් ඇමැති තුමා ඉදිරියේ බිංගිරියේ කී කවි වලින් කීපයක්.
සටහන - ජෝ. නවරත්න
කවි සොහොයුරනි! රස දත් මැති ඇමැති යෙනී
දළදා පුද පිණිස රැස් වූ පිනැති යනී
නැගි සෙත් පිරිත් මැද හෙළ කවි රජිඳු වැනී
පදවිය අපේ ඇමැතිඳු අද සුපිළි ගනී
සිංහල කවිය හා කවිකම රකින් නට
අද සිට ඔබට පුළුවන් වැඩ කරන් නට
හෙළයට පොදු සතුරු කඳවුරු බිඳින් නට
හැකිවෙයි අපට ඔබගෙන් අණ ලබන් නට
ලොකු යයි කියන ඇතැමුන් බලයට ගිජුය
ඒ මිනිසුන්ගෙ කුස්වල තැම්බුනු බිජුය
ඔබ අකුටිලය නිරහංකාරය රිජුය
එනිසා අද පටන් ඔබ හෙළ කවි රජුය
නායකයා වෙමින් කවිබල වළල්ලේ
අද මෙහි යෙදෙන සිරි දළදා වැඳිල්ලේ
ගරු ඇමැතිඳුට අප හිතවත් දඹුල්ලේ
ආසිරි ලැබෙයි කවි හදවත් සියල්ලේ
සිංහල සටන මෙහෙයවන කවි බල කායේ
සෙන්පතියන්ය අද මෙහි පිරිවර වූයේ
මහ රජ දඹුල්ලෙනි තෝරාගෙන ආයේ
අපි අද ඔටුණු පළඳිමු කවි රජ දායේ
මැති ඇමැති කම් වලටත් පෙර කවි කාර
මහ සෙනෙවියෙකු වූ බස් සටනෙහි පුර
ටී.බී. නව රජිඳ ලත් කවි උප හාර
ඔබටයි ඉතින් හෙළ කවි පරපුර බාර
බිංගිරියේ සෙනරත් විජයකුමාර
සමරු පෙම
හද පාළුවේ මියෙනවා
තවත් ඉවසනු බෑ...
නැගුණු පෙම් කවි මගේ
තවත් අඬවනු බෑ
ඔබේ සුන්දර මතකයන්
තවත් සඟවනු බෑ
මුල්ම ප්‍රේමය මගේ
ඔබට වැටහෙනු බෑ
අපේ හැම මතකයන්
පිරී ඇත සමරුවේ...
එකින් එක කියවලා
හදාගමි සිත මගේ...
ඒත් එහි හැම වචන
රිදවලා මගේ සිතේ...
දෙනෙත රූරා වැටෙන
කඳුළු බිඳුවක් මගේ...
නොකියවූ පෙම් කවිය
ඔබ නමින් ලියුව මම...
ඈත සිරවී සමරුවේ
සදහටම නොපෙනෙන්න...
ඒත් කෙදිනක ඇපත්
බලනු මැන සමරු පොත...
එවිට වැටහෙයි නිබඳ
සිතේ සැඟවෙච්ච පෙම...
දිලිනි අනුපමා සොයිසා
නැවතීය බස් රිය
ඊයේද මෙතැනම
බැස ගියා ඇය හනිකට
මුමුනමින් තොල් හෙමිහිට...
පෙරදා කලබලෙන්
දිව ගියේ අැයි සොයුරිය
කුස ගින්න වැඩි වී ද
ස්වාමියා ඔත්පළද
මැණියන් එක්තැන්ද
දරු පැටවූ හඬනේද
සලෙළුන්ගේ උකුසු ඇස්
ඔබේ රුව දුටුවාද..
මියගිය මා දයාබර සැමියා
නොදනි සිඟිති දියණිය
රුවාගෙන ඇඟිලි උරමින්
සිනා සී සිහින දකිමින්
සිටින්නී මඟ බලා
කිරි සුවඳ උරන්නට....
සිඟිත්තියගේ සිහින හමුවේ
රුහිරු කිරි වී ඉකිබිඳින සඳ
පුපුරු ගසනා තන පුඩු
රිදුම් දෙයි ඉවසිය නොහැක
එනිසයි සොයුර මා
හනි හනික දිවයන්නේ
පද්ම රංජිත් ගුණවර්ධන
ඉරි තැළුණ සිත
හෙමිහිට පිසදාන
හදේ ගැඹුරු තැන්
නිරතුරු අතුගාන
පිඬු සිඟා යතත්
මපෙම නොසිඟාන
අබිනික්මන් කළ නුඹයි
සෙනෙහේ උතුරුවන
කටුක දිවි මඟට දිරිමඟට
දිරියේ පෙන එවන
දෙසන මුනි බණෙන්
අමසුව වගුරුවන
දුර සිටිතත් නැත
ළඟ ළඟ සිත රැදෙන
ගිහි ගෙයි නොරැඳෙන
මුත් නුඹ මාගේ ප්‍රිය දසුන
ක්‍රස්ටිනා පෙරේරා
පහන් සිළ
මඳනල පහස විඳ නැලවෙන පහන් සිළ
පණ නල නොතිර බව පවසන පහන් සිළ
නෙත තුළ අැඳුණු රුව වඩවන පහන් සිළ
එනමුදු පහන මුල අඳුරුයි පහන් සිළ
ජීවන හුස්ම තිරයට දෙන පහන් සිළ
සවි බල තෙලෙන් ඔද වැඩෙනා පහන් සිළ
සැඩ නල පහර වැද නිවුණා පහන් සිළ
අස්ථිර නිසරු ජීවිතයයි පහන් සිළ
දිබ්බැද්දේ දුල්මන් පිරීස්
මට දැනෙන පෙම
ගඟ කඩනකොට ඇඟ මැළී
සැල්වීනියා උඩ පිහිනතී
සුදු නෙළුම් මල
ඔබ කොහේදැයි
හොරෙන් විමසතී....
පෙඟී ගඟ දෑල
පඬුවන් පාට
එබී සඳ හොරැහින්
ගයා පෙම් ගීත
නිවී පපුතුරෙහි එළි
දැලි පාට
ගිලී රන ගිරවියක්
ළසොවින් හඬවයි
මහ රෑක...
යළි යළිත් මිය යන
රැළි තලාවන්
දිය සුළිත් මවන්නේ
වේදනාවන්
හසරැළිත්
කෙකටිය මල් වගේ නම්
සැලි සැලිත් කඳුළම
ළඟින් ඉඳපන්...
අඩි එරුණු තැනකය
මතක සලකුණු
එතැන තැන, තැන
බමර මළකුණු
පපුව සීරූ තැනක
රතුවුණු
අහිමි ප්‍රේමය
මටම රිදවනු....
ශ්‍යමා රනපති
පදිකයේ ගීතය
ඉරක් ගිනියම් කුසෙන් ගිනි දළු
හිතත් ගිනියම් ගතත් දුබලයි
පරණ කුඩයේ හෙවණ යට හිඳ
නොඉවසිල්ලෙන් බලා ඉන්නා
එළාගත් ඉටිරෙද්ද මත ඇති
වනාගත් අඹ පැෂන් ලොවි ගැට
ගමන් මල්ලට දමාගෙන මට
ජීවත් වෙන්ට කහවණු ලැබේවිද?
වළ පයයි ගොඩ පයයි ඇත්තමයි
මියෙන තුරු ජීවත්වීම අයිතියයි
දිළිඳු දරුවන්ට මං බරක්මයි
ජීවිතේ හැමදාම මෙහෙමමයි
ඇදුමට බෙහෙත් පෙති කරල් ටික
ගන්නවත් යන්තමට එකහු කර
හදිස්සියෙන් ඇවිද යන අය අතර
කවුරු නම් මා දිහා බලාවිද?
මහලු බිරියත් ලෙඩ ඇඳ උඩ
කළ පූසි තනි රකියි ඇඳ යට
උන්දෑට කහට උගුරක් දෙන්ට
වැස්ස එන්නට කලින් යා ගන්ට
රුවන්මලී දීපිකා
මං සරා
ජයන්ති,
මොකද බන් අඬන්නේ
ආදරයට උඹ කිව්ව සරා
කෝ පොඩි එකී
බලපන්කෝ මන් දිහා..
අප්පා... බීඩි දුම
ඉස්තෝප්පුව වහගෙන
කොල්ලෝ ටික වට වෙලා
කුට්ටමේ කොළ අනන්නේ...
පිටි පස්සේ වීදූරු සද්දේ
බොනවද මුන්
මල් සුවඳකුත් එනවා..
කෝප්පවල මෙච්චර තේ ඉතුරු
උඹ නොවෙයි ද හැදුවේ
පාන් පෙතිත් පැත්තක..
මන් එනකොට ගොක් කොළ
දිගටම එල්ලලා
දොරකඩ, සුදු කොඩියකුත් දාලා...
ගෑනු ඔක්කෝම හූල්ලනවා
සමහර උන්ගේ ඇසුත් රතුවෙලා
කවුරු හරි නැතිවෙලාද?..
මේ ...මේ.. මොකද බන්
අර ...අර මන් වගේ එකෙක්
සාලෙ මැද නිදන් ඉන්නේ
උඩු වියන් යට පටේටියක
මට සහෝදරයෝ නෑනේ...
.ජයන්ති, ජයන්ති....
මේ බලපන්
මඟුල් දවසේ මං ඇන්ද
කෝට් එකත් අන්දලා
අශෝක කුමාර කුලතුංග