සියලු දෙනා රයි­ග­ම­යන් හා ගම්පො­ළ­යන් වූ සමා­ජ­යක් | සිළුමිණ

සියලු දෙනා රයි­ග­ම­යන් හා ගම්පො­ළ­යන් වූ සමා­ජ­යක්

වැරදී ඇත්තේ ඉහළ සිටද? වැරදී ඇත්තේ පහළ සිට ද? ජනප්‍රිය තර්කය වන්නේ වැරදී ඇත්තේ ඉහළ සිට බවය. මාධ්‍ය මගින් එම තර්කය නඟන්නේ පහළ සිටින පිරිස ඉහළ සිටින පිරිසට වඩා වැඩි බැවිනි. ඒ අනුව පහළට බනිනවට වඩා ඉහළට බනින විට එයට වැඩි ග්‍රාහකයන් සංඛ්‍යාවක් ආකර්ශනය වේ. පුවත්පත පුංචි තිරය පමණක් නොව නාට්‍යය තුළ පවා බොහෝ විට සිදුවන්නේ එයයි. ඒ අනුව ඉහළ සිටින අයගේ වැරදිම ජනප්‍රිය කතිකාව බවට පත් ව ඇත. එහෙත් ඇත්ත කතාව නම් වරද සමාජගත වී ඇත්තේ ඉහළ පහළ භේදයකින් තොරව බවය. එහෙත් ඒ ගැඹුරු කතිකාව කරා සමාජය ගමන් කරන්නේ

නැත. එයට හේතුව එමගින් සමාජයේ ප්‍රීතිය අහිමිවීම යැයි ද කිව හැකිය.

එනම් සමාජය සතුට සොයාගෙන ඇත්තේ ඇත්ත නොදැකීම තුළය. ඇත්තෙන් වෙන්වීම තුළය. ඇත්ත සැගවීම ම මහා විනෝදාංශයක් හා වීර ක්‍රියාවක් බවට පත් ව ඇත. ඇත්ත දකිමින් ඇත්ත දැනගෙන නොදන්නවුන් මෙන් සිටීමෙන් මහා වින්දනයක් ලබන ජනසමාජයක් අද දකින්නට හැකියැයි පැවසිය හැකිය. මෙය පොදුවේ පහළ පමණක් නොව ඉහළ අයගේ ද ඉහළ පමණක් නොව පහළ අයගේ ද ක්‍රීඩාවක් වී ඇත. රටේ ජනප්‍රිය ම ක්‍රීඩාව ක්‍රිකට් නොව මෙය බව ද පැවසිය හැකිය.

පහළින් ම පටන් ගනිමි. ගොවියා තමන් ගොවිතැන් කරන දේ ආහාරයට නොගනියි. එය තමන්ගේ දරුවන්ට නොදෙයි. තමන්ගේ පවුල සඳහා වෙනම වගා කරගනියි. වස විස දමා ලබන අස්වනු වෙළඳපොළට අලෙවි කරයි. තමන්ගේ පරිභෝජනයට නොගනී.

වෛද්‍යවරුන් සමහරවිට රෝගීන් සඳහා බය නැතිව නිර්දේශ කරන බෙහෙත් තමන්ට එවැනි රෝගී තත්වයක් පැමිණි විට භාවිතා නොකරයි. රෝගීන්ට නිකුත් කරන උපදෙස් තමන් සම්බන්ධයෙන් අදාළ කර නොගනියි. අනුන්ගේ දරුවන්ට දෙන බෙහෙත් තමාගේ දරුවන්ට නොදෙයි.

බොහෝ ටීවී චැනල් ලොක්කන් තමන්ගේ චැනල් එක තමන්ගේ දරුවන්ට බැලීම තහනම් කර ඇතැයි සිතමි. ඔවුන් සියලු නිර්මාණ හදන්නේ අනුන්ගේ දරුවන්ට බැලීම සඳහාය.

අනුන්ගේ දරුවන් කඩේ යැවීම සඳහාය. ඔහු කරන එකම යුතුකම තමාගේ දරුවන් තමන් හදන හානිකර නිර්මාණවලින් බේරාගැනීම පමණි. ඔහු දන්නා එකම විසඳුම එයයි.

ඔවුන් සියලු වැඩසටහන් පිළිබඳ සැලසුම් හදන්නේ තමන්ට දරුවන් නැතැයි සිතාගෙනය. ඉන්පසුව තමන්ට ද දරුවන් සිටින බව කල්පනා වේ. ඒ අනුව ඉන්පසුව තමන්ගේ දරුවන්ට තමාගේ චැනල් එක තහනම් කරයි. සමහර විට එය තමාගේ නැණමහිමය පිළිබඳ සාධකයක් ලෙස ද සලකයි. ඔවුන්ගේ නුවණක්කාරකම එබඳුය.

කම්මල්කරුවා ද තමාගේ භාවිතය සඳහා වෙනම කැත්තක් පිහියක් හදාගනියි. විකිණීම සඳහා හදන එක බාලය.

ගුරුවරයා පවා අනුන්ට උගන්වන දේ තමන්ගේ දරුවන්ට උගන්වන්නේ නැත. තමන්ගේ දරුවන්ට එක උපදෙසක් සහ අනුන්ගේ දරුවන්ට වෙනත් උපදෙසක් දීම ගුරුකම යැයි ඔවුහු සිතා සිටිති.

දේශපාලනඥයා අසත්‍යයම කියමින් අන් සියලු දෙනාගෙන් සත්‍යය බලාපොරොතේතුව වෙයි. අනුන් කියන අසත්‍යයට විරුද්ධව අවි අමෝරා නැගී සිටියි. වංචාව හා

දූෂණය තමන්ගේ තනි බූදලයක් යැයි සිතයි. වෙනත් දේශපාලනඥයෙක් එය කරනු දුටු විට කෝපයෙන් වියරු වෙයි. ඒ අතරම තමන් රට හදන හැටි තමන් දන්නා නිසා

පිටරටින් ගෙවල් ඉඩම් ගෙන තම අනාගත පරම්පරාවන් රට පැටවීමට ද සැලසුම් කරයි.

නිලධාරියා පහළ නිලධාරීන්ට දෙන උපදෙස් තමන් අනුගමනය නොකරයි. පහළ නිලධාරීන්ගේ කරන ආකාරයේ වැරදි තමන්ගේ රාජකාරි කටයුතුවලදී සිදුවන්නේ දැයි සෙවීමට උත්සාහ නොකරයි. තමන්ගේ අයට පමණක් නීතිය හා යුක්තිය ඉෂ්ට කිරීමට උත්සාහ කරන අතර සෙසු ජනතාවට එය ම ලබාදීමට උත්සාහ නොකරයි.

හෝටලයේ හදන කෑම මුදලාලි කන්නේ නැත. එම කෑම පාරිභෝගිකයන් කනු බලා සතුටුවීම පමණක් ඔහු කරයි. ඔහු ව්‍යාපාරය ලෙස සලකන්නේ එයයි. තමන් කන කෑම ම පාරිභෝගිකයාට ලබාදීම අද වන විට ඔහු නොදන්නා දෙයක් බවට පත්ව ඇත.

ලේඛකයා පොත් ලියන්නේ ද තමන්ගේ දරුවන් ඒවා කියවයි කියා සිතා නොවේ. තමන් නොඅහදන දේ අනුන් වෙනුවෙන් නිර්දේශකිරීමට ලේඛකයා නොපැකිලේ.

වෙළඳ සමාගම් කරන්නේ ද පොඩි කඩ කරන දේ මය. තමන්ගේ මහා සමාගමේ නිෂ්පාදනය කරන දේ අනුභව නොකර ඔවුහු පොළට ගොස් ගමේ කෑම සොයති. ලොකු සමාගම්වල නිෂ්පාදන ලොකු සුපර් මාර්කට්වල ඇති අතර ලොකු සමාගම්වල ලොක්කෝ සුපර්මාර්කට් නොයා පොළට ගොස් ගමේ කෑම සොයති. කෙසේවුවත් වාසනාවට හෝ අවාසනාවට ගමේ ගොවියන් බොහෝ දෙනා ද සිතන්නේ සමාගම්වල ලොක්කන් සිතන පරිද්දෙන්මය. විශේෂ රසායනයක් යොදා එක දවසෙන් මඤ්ඤොක්කා බස්සන ආකාරය ද එක දවසනේ කොච්චි අස්වනු නෙලන ආකාරය ද ඔවුහු දනිති.

මේ කතාවට ඇති එකම කතාව මෙය අවසාන කළ නොහැකි වීමය. එහෙත් මෙය අලුත් දැනුමක් නම් නොවේ. එදා හිටියෙ එක රයිගමයෙක් සහ ගම්පොළයෙක් පමණි. අද ඇත්තේ සියල්ලන් රයිගමයන් හා ගම්පොළයන් වූ සමාජයකි. ඒ අනුව අද සියලු දෙනාට බුලත් වෙනුවට ගම්මිරිස් කොළ කෑමට සිදුව ඇති අතර ගම්මිරිස් වෙනුවට ගස්ලබු ඇට කෑමට සිදුව ඇත. එය ද එක්තරා සතුටකි. එනම් සමාජයක් වෙනුවට සමාජය නාට්‍යයක් වී ඇති බැවිනි.

ඇතැම් ටෙලිචැනල් ප්‍රධානීන් අපේක්ෂා කරන්නේ ද එය විය හැකිය. එනම් තමාගේ චැනලයේ පෙන්වන දෙයෙහි ප්‍රතිරූපයක් වූ සමාජයක් බිහිකිරීම විය හැකිය. එය

ඉටුවෙමින් පවතී. ඉහළ පහළ සියලු දෙනා පතන සමාජය අද ඒ සියලු දෙනාටම ලැබී ඇත. ඒ ගැන කතා නොකරන්නේ ද ඒ නිසාමය. ඒ අනුව ඇත්ත කතා කරන දේ නොව කතා නොකරන දේ ය. මේ ලිපියට ද එය අදාළ නොවන්නේ නොවේ.

 

Comments