
උඳුවප් මහේ පායන තරු රටා අභිබවමින් ශ්‍රී ලාංකේය ගීත අඹරේ නව තරු දිදුලන තවත් එක් සිහින තාරකාවක් සොයා යන දෙරණ ඩ්‍රීම් ස්ටාර් 7 වැනි අදියර පසුගිය රාත්‍රියේ දී නිමාවුණා.
රියැලිටි කලාවේ අභිමානවත් චාරිකාවේ Dreamstar අවසන් මහා තරගයේ කිරුළ දිනාගත්තේ කවුදැයි දැන් තීරණය වී අවසන්.
ලක්ෂ දෙකකට ආසන්න තරගකරුවන් අතුරින් අවසන් වටය සඳහා වරම් ලැබූ 48 දෙනකුගේ ප්රතිභාවය සතියෙන් සතිය පෙළ ගැසෙමින් ඉදිරියට ආ ඒ ගමනේ අවසන් සිහින කිරුළට හිමිකම් කියන්නට තරග වැදුණේ එක් සිහින තාරකාවියක් හා තරු දෙකකි. යෞවනයේ හද කළඹන ඒ තරු ත්‍රිත්වයේ දිස්නය හැඩ වී තිබුණේ ඔවුන්ගේ ජීවිත ගමනේ කළ අපමණ කැපකිරීම් වල සටහන් සමඟිනි.
තරු රැයේ පායා ආ සිහින තරුවේ ආකර්ෂණයට ගෙනා රාගම සුනිර සුමංගගේ (අවුරුදු 20) දෑස් අග ලියැවී තිබුණේ ජයග්‍රහණය පිළිබඳ දහසක් වූ බලාපොරොත්තුවකි....
“තරගයට පැමිණි මුල් දිනයේ මගේ හිතේ අවසාන මහා තරගය ජයග්‍රහණය ගැන බලාපොරොත්තුවක් නම් තිබුණේ නැහැ. ඒත් අවසන් වටයේ 48 දෙනා අතරට එක්වීමත් සමඟ මට පුංචි බලාපොරොත්තුවක් ඇති වුණා. දැන් නම් ජයග්‍රහණය ගැන පුංචි චකිතයකුත් තියෙනවා. මම ජයග්‍රහණය කළත් නොකළත් සංගීත ක්ෂේත්රයේ දිගු ගමනක් යන එකට හොඳ අත්තිවාරමක් මේ තරගයෙන් වැටුණා.
මගේ පාසල කඳානේ මැසිනෝද් විද්‍යාලය. පුංචි කාලේ පටන් ම සංගීතය ගැන තිබුණේ පුදුම ආසාවක්. 3 වසරේ පටන්ම මම සංගීත තරගවලට ඉදිරිපත් වුණා. සමස්ත ලංකා ජයග්‍රහණ රැසක්ම දිනාගෙන තිබෙනවා. 2015 අවුරුද්දේ පාසල් ගායනා තරගයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හිමි වුණාට පස්සේ උසස් පෙළ සඳහා සංගීත විෂය තෝරා ගත්තා. උසස්පෙළ කරන කාලයේදීම මේ තරගයට අයදුම් පත්‍රයක් දැම්මා. අපේ පාසලේ සංගීත ගුරුවරුන් ලබා දුන්න ශක්තිය තමයි මේ ගමනට මඟ පෑදුවේ. උදිත රුවන්, රජීව් අකිල, උපුල් කියන ගුරුවරු ත මයි මට සංගීතය මුලින්ම කියා දුන්නේ. මෙම තරගයේදී මට විශාල ශක්තියක් වුණේ රෝස් අලගියවන්න සර්. ඔහු විශාල කැපවීමකින් මට මේ තරගයට ඉදිරිපත්වීමට ශක්තියක් දුන්නා. මේ තරගයේදී විශේෂයෙන් ම මට පුදුම විදිහට උදව් කරන්නේ අපේ අම්මාගේ අක්කා සහ ඇගේ දරුවෝ.
ෙම් තරගය පුරාවටම මම වැඩිපුරම තෝරා ගත්තේ පණ්ඩිත් අමරදේවයන්ගේ ගීත. ඔහුගේ ගීතවල තිබෙන භාවපූර්ණබව මගේ ගමනට ආශිර්වාදයක් වුණා. ඇත්තටම මේ ගමනේදී මට සහයෝගය දක්වන විශාල පිරිසක් මුළු රට පුරාම සිටීම විශාල ශක්තියක්. මගේ අම්මා, තාත්තා නංගී වගේම අපේ නෑ හිතවතුන් වසරක් පුරාවට දැක්වූ සහයෝගය මිල කරන්න බැරි තරම්. මේ තරගයෙන් පසුව මගේම නිර්මාණයක් කිරීම තමයි මගේ ලොකුම හීනය.”
හැකියාව දෝත දරා පෑයූ සිහින විමනේ එකම තාරකාව වේයන්ගොඩ මහේෂා සඳමාලී කරුණාරත්න (අවුරුදු 23) මේ තරු විමනට එක් කළේ අභිමානයකි. කැලණිය විශ්ව විද්‍යාලයේ සංගීත කලා විශේෂවේදී උපාධිය හදාරන ඇයගේ හඬත්, හැඩත් තරගයට එක් කළ අපූර්වත්වය සටහන් වූයේ මෙලෙසිනි.
“මම මූලික අධ්‍යාපනය ලැබුවේ නිට්ටඹුවේ ශ්‍රී සංඝබෝධි විද්‍යාලයෙන්. මේ රියැලිටි තරගයට මගේ මිතුරියෝ දෙදෙනෙක් ඉදිරිපත් වුණා. ඉතිං නිකමට මටත් හිතුණා ඉදිරිපත් වෙන්න. හැබැයි මේ තරගය මගේ අධ්‍යාපනයට වඩා වෙනස්ම අත්දැකීමක් එක් වුණා.
මගේ හිතේ තිබුණ ලොකුම ආසාව තමයි සංගීත ක්ෂේත්රයේ ඉහළටම යන්න. මගේ අධ්‍යාපන කටයුතු අවසන් වුණාට පසුව ඒ වෙනුවෙන් ප්රවිශ්ට වෙනවා. මේ තරගය මගේ ජීවිතේ වටිනා අවස්ථාවක්. ජයග්‍රහණය කළත් නොකළත් මෙයින් ලැබූ අත්දැකීම ජීවිතේ විශාල හැරවුම් ලක්ෂයක්.
අපේ පවුලේ ඉන්නේ මල්ලියි මමයි විතරයි. හැබැයි මේ තරගය හරහා මට විශාල පිරිසක් හමුවුණා. ඔවුන් දැක්වූ සහයෝගය නිසයි මම මේ තරම් දුරක් පැමිණියේ.
තරගයේ අභියෝග මැදින් ආ අවිහිංසකම තරුව බවට පත් ශලින් කෞෂල්‍ය පෙරේරාගේ (අවුරුදු 19) හදෙහි තැවරී තිබුණෙත් ජයග්‍රහණයට අභියස වූ බලාපොරොත්තුවකි. නවගමුවෙන් තරග බිමට එක්වූ ඔහු මීගස්තැන්න මහ විදුහලෙන් අධ්‍යාපනය හදාරා පසුව සිරිවර්ධන මහ විදුහලේත් බෝමිරිය ජාතික පාසලේත් ශිෂ්‍යයෙකි. පාසල් සමස්ත ලංකා ජයග්‍රහණ රැසකටම හිමිකම් කියන ඔහුගේ හඬේ තැවැරුණු ජෝතිමත් ගී ස්වරය ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණයට හේතු විය. ශලින් දෙරණ අවසන් කිරුළ දක්වා පැමිණි ගමන සටහන් කළේ අවිහිංසකත්වය රැඳි බලාපොරොත්තුවකිනි.
“මගේ මේ තරගයේදී මට ආදරය කළ විශාල පිරිසක් සිටිනවා. ඔවුන්ගේ ශක්තිය තමයි මාව අවසානය දක්වා රැගෙන ආවේ. මගේ මුල්ම සංගීත ගුරුවරයා වුණේ ජනක ප්‍රියන්ත සර්. ඊට පසුව සුනිල් ශාන්ත සර්. ඇත්තටම මම මුලින්ම සංගීතය කළේ විනෝදයට. හැබැයි දැන් නම් අවසාන තරගය නිසා පුංචි බයකුත් තියෙනවා.”
තරගයේ ජයග්‍රහණය පිළිබඳ තිදෙනාටම තිබුණේ දහසක් වූ අපේක්ෂාවකි. .ජයග්‍රහණය තීරණය කරනුයේ SMS මත වූ ප්‍රේක්ෂක ජනතාවය. සංගීත ක්ෂේත්රයේ ප්‍රවීණයන් වූ නදික ගුරුගේ, සමිතා එරන්දති මුදුන්කොටුව, කීර්ති පැස්කුවල් යන තිදෙනාගේ තීරණයට අමතරව ඔවුන් හට ප්‍රේක්ෂකයන් දක්වන ප්‍රතිචාරය ඔවුන් තිදෙනාගෙන් එක් අයකුට ජයග්‍රාහී කිරුළ හිමිකර දෙයි.
විශේෂ ස්තූතිය :- ඩ්‍රීම්ස්ටා නිෂ්පාදිකා රාජිකා ක්‍රිෂාන්ති සහ කැළුම් දර්ශන