සමීප රූප | සිළුමිණ

සමීප රූප

සිවගුරුනාදන් 5 සමත්වෙයි

ඉන්ද්‍රචාපගෙ සමීපරූපයෙ ඇ‍ඳෙනවා බයිස්කෝප් එකක කට්අවුට් එකයි. ඉස්කෝලෙ යන පොඩි එවුන් දෙන්නකුගේ පින්තූරයි ස්කූල් යුනිෆෝම් එකෙන්. ළමයින්ට හදපු චිත්තරපටයක් කියන එක ඉන්ද්‍රචාපට දැන් සැකයක් නෑ. චිත්‍රපටයෙ නම 5 සමත් කියලත් අධ්‍යක්ෂක සිවගුරුනාදන් කියලත් සමීපරූප අතරෙ ඇඳිල හමාරයි.

සිවගුරුනාදන්ගෙ චිත්‍රපට සමීපරූප එක්කම ටෙලිනාට්‍ය සමීපරූපත් ඉන්ද්‍රචාපගෙ මතකයට එනවා. කිං හන්තර්, කෝ මාර්ක් නෝ මාර්ක් වගේ හාස්‍යජනක චිත්‍රපට, බොහිමියානුවා වගේ ටෙලි නාට්‍ය සිවගුරුනාදන්ගෙ නම ඉස්සරහ ලියැවෙන්නෙ කාලෙකට පෙර. අධ්‍යක්ෂ සිවගුරුනාදන් එයාගෙ මුල් නිර්මාණවලින් ප්‍රේක්ෂකයන්ගෙ පසුම්බියට විදින වර්ගයෙ චිත්‍රපට හදල නෑ කියලා තමයි ඉන්ද්‍රචාපගෙ සමීපරූප කතා කියන්නෙ.

විහිළු චිත්‍රපට හදපු, ඊට වඩා වෙනස් ම විදියෙ බොහිමියානුවා වගේ හොඳ ටෙලි හදපු සිවගුරුනාදන්ගෙ මෙදා සැරේ බයිස්කෝප් එක වෙනම ම පැත්තකට ගිය එකක්. සමීපරූප අතරෙ ඇඳුණු ළමා රූප එක්ක සිවගුරුනාදන් කියන්න හදන කතාව නැරඹූ ඉන්ද්‍රචාපගෙ සමීපරූපාවලියෙ අපූරු ළමා චිත්‍රපටයක රූප රාශියක්.

ළමා චිත්‍රපට හදන එක, සෑහෙන්න අමාරු, අසීරු කටයුත්තක් වග ඉන්ද්‍රචාප දන්නවා. ටයිටස් තොටවත්තගෙ හඳයා වගේ චිත්‍රපටයක් දැකපු අපට මෑත කාලයේ ළමා චිත්‍රපට ජනප්‍රිය කරවන්න උත්සාහ ගත් අධ්‍යක්ෂවරු කීපදෙනෙක් මතක් වෙනවා. සෝමරත්න දිසානායක තමයි මුලින්ම සමීප රූපෙට එන්නෙ.

සූරියඅරණ, සරිගම, සරෝජා වගේ චිත්‍රපට සෝමරත්න හදන කොට, ඉන්දික ෆර්ඩිනැන්ඩු, වෙනස් ම තාලේ අපූරු ළමා චිත්‍රපටයක් අපේ ළමුන්ට ප්‍රදානය කරනවා හෝ ගානා පොකුණ නමින්. හෝ ගානා පොකුණ ඉන්ද්‍රචාපගෙ සමීප රූප අතර රැඳිල තියෙන්නෙ, මෑත කාලෙ අපි නරඹපු හුඟාක්ම කලාත්මක ළමා චිත්‍රපටයක් විදියට. සිවගුරුනාදන්ගෙ 5 සමත් චිත්‍රපටය අනිත් චිත්‍රපට එක්ක සසඳන්න ඉන්ද්‍රචාප උත්සාහ කරන්නෙ නෑ.

5 සමත් අත්දැකීම අපේ රටේ හුඟාක් දුවල පුතාලට විතරක් නෙවි, අම්මල තාත්තලටත් එක‍වගේ ම බලපාන එක්තරා විදියක සමාජ ප්‍රශ්නයකුත් වෙලා තියෙන අත්දැකීමක්. පහවසර ශිෂ්‍යත්වයට දූ පුතුන්ට වඩා වෙහෙසවෙන්නෙ දෙමාපියන් කියලයි ඉන්ද්‍රචාපට වාර්තා වෙන්නෙ. තමන්ගෙ දරුවා ‍හොඳින් ශිෂ්‍යත්වෙ සමත් වෙනවා දකින්න සෑම දෙමාපියෙක් ම කැමැතියි. ඒත් වාර්තා පිහිටුවන්න තමන්ගෙ දරුවට බලාපොරොත්තු දීපු මවකගෙ පියෙකුගෙ අභිලාෂය පෙන්වන වෙනස් ම පැත්තක් පෙන්වන තිරනාටකයක් ලියලා දීලා.

කපිල පූගලආරච්චිගෙ සංගීත නිර්මාණයෙන් රසවත්වුණු ළමා ගීත, නරක ම නෑ. ඉන්ද්‍රචාපට පේන්නෙ, සිවගුරුනාදන්ගෙ අධ්‍යක්ෂණයේ දක්ෂකම. රූස්සකන්ද හෙවිලියාය කියන්නෙ ඈත දුෂ්කර ගමක්. ඒ ගමේ ජීවත් වෙන පවුලක් ජීවත්වීමට, තමන්ගෙ කුඹුරු කෑල්ලට වතුර හොයා ගැනීමේ ප්‍රශ්නයට මුහුණදීල ඉන් බැටකනවා. සමත් පවුලෙ පුතා. පොතපතට වඩා අලුත් දේ නිර්මාණය කරන්න දක්ෂමක් වගේම උනන්දුවකුත් ඇති පුතෙක්. තාත්තගෙ ගොවිතැන් වැඩට උදව්වෙන ගමන් විදුලි බල්පයක් ගෙදර පත්තු කරන්න අත්හදා බැලීම් කරනවා. ගමේ වැඩිහිටියොත් එක්ක සමගි සමාදානෙන් ඉන්නවා.

පහවසර ශිෂ්‍යත්වෙ ලංකාවෙන් ම පළමුවැනියා වෙනකොට ගමේ සමත්, නගරයේ ඉහළ මධ්‍යම පංතික පවුලක පුතෙකු‍ෙග පළමුවෙනියා වීමේ සිහිනය බිඳ වැටෙනවා. ඒ දරුවා වියරුවෙන් වගේ සමත් ඉගෙන ගන්නා පාසලේ දී සමත්ට වධහිංසා පමුණුවන්නෙ. ශාරීරිකව පවා හිංසා පීඩා කරන්නෙ. ගමෙන් ආපු සමත්, එයා රිදවන, විනුර ගැන පැමිණිලි කරන්නෙ නෑ කොයිතරම් හිංසා පීඩා කළත්. ඒත් එක මොහොතක තමන්ගෙ ඉවසීමේ සීමාව ඉක්මවාල ගිහිං විනුරට පහර දෙනවා රෝහල්ගත වෙන්නම.

විනුර රෝහලේ එයාගෙ දෙමාපියන්ට කියනවා සමත්්ට කළ අකටයුතුකම් ගැන. චිත්‍රපටය පළමු භාගය මන්දගාමීව ඇදෙන්නෙ. ගැටුම පටන්ගන්නෙ සමත් නගරයෙ පාසලට ඇතුළුවුණු තැන සිට. විනුරගෙ හා එයාගෙ යාළුවන්ගෙ මැර වැඩ මැද සමත් නොසෙල්වී තමන්ගෙ ඉගෙනීමේ කටයුතුත්, තමන්ට පැවරුණ ව්‍යාපෘතියේ කටයුතුත් කරගෙන යන්නෙ අවසානයේ ජය ලබාගැනීමේ අදිටනින්.

ළමා චරිතයකට අනවශ්‍ය බලාපොරොත්තු රැඳවීමේ අනිෂ්ට විපාකය විනුරගේ චරිතයෙන් නිරූපණය වෙන අතර ඒ දරුවාගේ ක්‍රියා කලාප තවත් අහිංසක දරුවකුගේ ජීවිතයට ඉතා නරක ලෙස බලපාන ආකාරය චිත්‍රපටයේ දෙවන භාගයෙන් පෙන්නුම් කරනවා.

අවසානයේ විනුරට ම තම වරද වැටහීමෙන් පසු සමත් සමඟ යළි මිත්‍රත්වය ගොඩනඟා ගැනීම, සමන්ගේ ගමට ගොස් මිතුරාගේ ව්‍යාපෘතියේ ජයග්‍රහණය විඳගැනීම චිත්‍රපටයේ සාධනීය ලක්ෂණයක් ලෙස පෙනෙනවා. ඉතාඅඩු වියදමකින් තැනූ චිත්‍රපටයක් බව පෙනුනත්, සිවගුරුනාදන්ගේ අවශ්‍යතාව තම අධ්‍යක්ෂණයෙන් ඉටු කර ගන්නවා. ළමා චිත්‍රපටයක තිබිය යුතු සංයමය, ළමා බව, සංගීතය, ළමුන් දෙදෙනාගේ රඟපෑම් 5 සමත් මඟින් සිවගුරුනාදන් සමත්කරවීමට සමත් වී තිබෙනවා. 5 වසර ශිෂ්‍යත්වය වැනි තරග විභාගයක අයහපත් ප්‍රථිපල ද චිත්‍රපටයෙන් ඉන්ද්‍රචාපට පෙනුණා. 

Comments