
ජාතික නාළිකාවේ විකාශය වන සඳ දිය සිත්තම් හි තේමා ගීතය
සුසුමක් වී ඔයා හමුවුණ මොහොතේ
මා සිත ආදර හැඟුමින් පිරුණා
මා ළය ආදරෙන් සැනසූ සිහිනේ
බොඳ නොකරනු මැනවි මේ සිහිනේ
ඔබේ ආදරෙන් සැනසෙන්නම් මා මේ මුළු ලොවට හොරෙන්//
දුහුල් මීදුමේ නැඟුන හිරුසේ
සිහින කතරේ තැවෙන සුසුම්
සඳුට හොරෙන් නොසලන් කඳුළක්
දැනෙනවා මට ආදරේ හැඟුමන්
ඔබේ ආදරෙන් සැනසෙමි මා මේ මුළු ලොවට හොරෙන් //
දෙහිතක් ආදරයෙන් බැඳෙන්නට විවිධ හේතු බලපානවා.ඒ කොතැන කොයි මොහොතේද කියලා කියන්නට බෑ.නමුදු ඒ ඇතිවන ආල හැඟුමන් මුවින් ප්‍රකාශ කර ගැනීමට නොහැකි වේනම් අපි අසා ඇති අයුරින් සිතින් විතරක් පෙම් කරමින් දුරින් හිඳ බලා සිටිනා පෙම්වතුන් පමණක් බවට පත්වේවි.ඇතැම් විට දෛවයට අනුව ඔවුන් එක්කරාවි.
මෙවන් වූ ජීවිතයේ ආදරණීය කතාවක අත්දැකීමක් ඔබටද මටද තියෙන්නට පුළුවන.‘සඳ දිය සිත්තම්‘ කියන්නේද මෙවන් වූ තේමාවක් ඔස්සේ දිගහැරෙන අපූරු ටෙලි නාට්‍යයක්.සතියේ දිනවල රාත්‍රී 9.00ට ජාතික රූපවාහිනියේ විකාශය වන මෙය රොෂාන් වීරසිංහගේ අධ්‍යක්ෂණයක්.තේමා ගේය පද රචනයේද හිමිකරුවා වන්නේ ඔහුය.අනුරාධ බණඩාර සහ රිත්මාවී ඇන්තනීගේ හඬින් ගැයෙන ‘සඳ දිය සිත්තම්‘ ටෙලි නාට්‍ය නිෂ්පාදනය අනූෂා වඩුගේගෙනි.
වෙනස්ම විදිහේ තේමාවක් තුළින් ආදරයේ තවත් පැතිකඩක් සමාජයට විවර කරන මෙහි තේමා ගීතයෙන් කියැවෙන කතාව කුමක්ද? ඒ ගැන ප්‍රේක්ෂක ඔබටත් ඇත්තේ කුතුහලයක් විය හැකිය.එකී කුතුහලය සැකහැර දැනගන්නට අප සම්බන්ධ කර ගත්තේ අධ්‍යක්ෂක හා ගේය පද රචක රොෂාන් වීරසිංහයි.
‘‘ අපි දන්නවා අපේ ජීවිතවල නොහිතන අවස්ථාවක අපෙන් තවකකුට හෝ තවකකුගෙන් අපට සිදුවන උපකාරයක් නිසා තරුණ දෙපළක් නම් ඔහු හෝ ඇය ජීවන සහකාරිය හෝ ජීවන සහකරුවා වන්නට ඉඩ තිබෙනවා.එහෙමත් නැත්නම් ඔවුනොවුන් කෙරෙහි ප්‍රේමණීය හැඟීමක් ඇතිවන්නට පුළුවන්.නමුදු අවසානයේ කුමකින් කුමක් සිදුවීද යන්න නිශ්චිත අනාවැකි ඵල කරන්නට අපට බෑ.
මේ කතාවේ සිදුවන්නේද එවන් දෙයක්.අහඹු ලෙස දුම්රියක් තුළදී හමුවන තරුණියකට පෙම් බඳින තරුණයකු ඇය පසුපස ලුහු බඳින්නේ එතෙක් නොකිවූ ආදරය නිසාමය.ඇයද එසේමය.තරුණියට සිදුවු හදිසි අනතුරක් නිසා ඔවුන් හදවතින් තව තවත් ළංවේ.එහෙත් ඇය ඔහුට පෙම් කළද, ඔහු වටහා ගන්නේ ඇගේ සිතේ ඇත්තේ ආදරයක් නොව අතීතයේ දවසක කළ උපකාරය නිසාවෙන් තමාට ළෙන්ගතු බවක් පෙන්වන බවය.
වෙනස්ම තේමාවක් ඔස්සේ රචිත ‘සුසුමක් වී‘ ගීතය SADHADIYA SITHTHAM DRAMA THEME SONG ඔස්සේ YOU TUBE හරහා දැන් ඔබටද රසවිඳිය හැකිය.