එක රැයින් ලොව­පුරා ප්‍රසිද්ධ වුණු ගීත ගයන ට්‍රම්ප් | සිළුමිණ

එක රැයින් ලොව­පුරා ප්‍රසිද්ධ වුණු ගීත ගයන ට්‍රම්ප්

අනුකරණය එතරම් හොඳ දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම තවකෙක් අනුකරණය කරමින් මුදල් ඉපැයීම වෙනුවට තමන්ගේම අදහස් වලින් ඉදිරියට ගමන් කරන පුද්ගලයින් සමාජයේ පැසසුමට ලක් වෙනවා. නමුත් අනුකරණය කිරීමේත් කලාවක් තිබෙන බව ඔබ දැන සිටියාද? ප්‍රසිද්ධ පුද්ගලයින් අනුකරණය කරමින් එම ප්‍රසිද්ධ පුද්ගලයා මෙන් පෙනී සිටීම මෙම අනුකරණ ශිල්පීන් සිදු කරනු ලබනවා. අද 15 වැනි පිටුව වෙන්වන්නේ මෙවැනි අනුකරණ ශිල්පීන්ගෙන් ලොව වඩාත්ම ප්‍රසිද්ධියට පත්වූ අනුකරණ ශිල්පියා ගැන තොරතුරු ගෙන ඒමටයි. ඒ තමයි Singing Trump යන නමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව අනුකරණය කරනා ජෙෆ් ට්‍රැක්ටා.

America's Got Talent Season 12 වැඩසටහන සමඟින් ලොව හඳුනාගත් මේ සින්දු කියන ට්‍රම්ප් එක රැයින් මුළු ඇමෙරිකාව පුරාම ප්‍රසිද්ධ වූ සුපිරි තරුවක් ලෙසින්ද හඳුන්වන්නට පුළුවන්. ඇමෙරිකානු ජනපති ලෙසින් වේදිකාවට පැමිණි විගසම ප්‍රේක්ෂකාගාරයේ සමහර නරඹන්නගෙන් දැඩි විරෝධයක් මොහුට එල්ල වූ අතර නූතන පරපුරේ ගායකයකු වන බෘනෝ මාස් ගේ ගීතයක් ගායනා කිරීමට පටන් ගත් විගසම මුළු ප්‍රේක්ෂකාගාරයම සිය අසුන් වලින් නැගිට මොහුට ඔල්වරසන් දීමට පටන් ගන්නවා. විනිසුරු මඬුල්ලෙන්ද මනාප තුනක් ලබා ගනිමින් ඉදිරි වටය වෙත යන මොහු එම වටයේදී ලොව සුප්‍රසිද්ධ බැක්ස්ට්‍රීට් බෝයිස් සංගීත කණ්ඩායමේ ගීත පෙළක් ගායනා කරමින් නැවත වරක් නරඹන්නන් හා විනිසුරුවරුන්ගේ ප්‍රශංසාව ලබා ගන්නවා. ඉන්පසුව අර්ධ අවසන් පූර්ව වටයේදී ‘Shut Up and Dance’ හා ‘U Can’t Touch This’ යන ගීත දෙක ගායනා කරනු ලැබුවත් එම ගායනය හෝ නර්තනය මීට පෙර තරග වට දෙක මෙන් ප්‍රේක්ෂක ආකර්ශනය දිනා නොගන්නේ යම් යම් ස්ථාන ඔහු විසින් දුර්වල ලෙසින් ගායනා කිරීම නිසායි. මෙම වටයෙන් පසු තරගයෙන් ඉවත් වී ගියත් මොහුගේ ජනප්‍රියත්වයේ නම් කිසිඳු අඩුවක් සිදුවී නෑ. ගායනය මඟින් මුළු ඇමෙරිකාව එකමුතු කිරීම අරමුණ වී තිබෙන ගායක ට්‍රම්ප්, මීට පෙර වෘත්තීය මට්ටමේ නළුවකු වනවා. 1960 වසරේ ඔක්තෝබර් මස 6 වැනිදා උපත ලැබූ ජෙෆ් ට්‍රැක්ටා වසර 1989 සිට 1996 දක්වා ‘The Bold and Beautiful’ ටෙලිනාට්‍ය මාලාවේ තෝර්න් ෆොරෙස්ටර් නම් චරිතයට පණ පොවා තිබෙනවා. නැෂනල් ජියෝග්‍රැෆික් හා පීපල්ස් වැනි ලොව සුපතල සඟරා කිහිපයකම මුල් කවරය සඳහා පෙනී සිටීමට තරම් ප්‍රසිද්ධියක් ලබාගත් Singing Trump මේ වනවිට ඇමෙරිකාව පුරා ප්‍රසංග පවත්වමින් තම ආදරණීය ප්‍රේක්ෂකයින් පිනවීම සිදු කරනවා. 

 

 

Comments