
නිකොලායි ගොගොල්ගේ හිමකබාය ඇත්ත වශයෙන් ම හිම කබා දෙකක් පිළිබඳ කතාවකි. එකක්, පරණ හිම කබායකි. අනෙක, අලුත්ම අලුත් හිම කබායයි.
තම කන්තෝරුවේ උප ප්‍රධාන ලිපිකරු තෙමේ, ආරාධනය කළ තේ පැන් සංග්‍රහයට යන්ට පෙර, අකාකි - අපේ කථානායකයා - මේ කබා දෙක එකට තබා සසඳා බලයි. ගොගොල් ඒ අවස්ථාව විස්තර කරන්නේ මහත් අභිරුචියෙනි.
“ඒ දවස අකාකිට මහා මංගල දිනයක් මෙන් විය. ඔහු ගෙදර පැමිණියේ සිතෙහි හටගත් බලවත් ප්‍රීතියකින් යුතුව ය. ඔහු ගෙදර පැමිණ කබාය ගලවා බොහොම පරිස්සමින් එය බිත්තියෙහි එල්ලුවේය. මඳ වේලාවක් සිටගෙන රෙද්ද හා පෝරුව දෙස මහත් ආශාවෙන් බලන්නට විය. ඉක්බිති දැනට මුළුමනින් ම කඩමලු වී ඇති පරණ හිම කබාය ගෙන, එය අලුත් හිම කබාය හා නිකමට සසඳා බලන්නට විය. ඔහුට කොක් හඬලා සිනා නොවී සිටිය නොහැකි විය. කොපමණ වෙනසක් ද! ඔහු දවල් කෑම ගන්නා අතරතුරේදී තම පරණ හිම කබාෙය් ලජ්ජා උපදවන තත්ත්වය මතක් වීමෙන් තමන්ටම මඳකොට සිනාසුණේ ය. ඔහු දවල් කෑම ගත්තේ, මහත් ප්‍රීතියකිනි. කෑමෙන් පසු ඔහු එක ලියවිල්ලක්වත් පිටපත් කෙළේ නැත. ඔහු ඇඳිරි වැටෙන තුරු ඇඳෙහි දිගා වී මඳක් සිත පිනවා අනතුරුව අනවශ්‍ය ලෙස පරක්කු නොවී ඇඳුම් ඇඳගෙන, හිම කබාය ලා ගෙන වීදියට බැස්සේ ය.”
අකාකි අකාකියේවිච් උප ප්‍රධාන ලිපිකරුගේ ගෙය සොයා ගත්තේ මහත් අසීරුවෙනි. ඔහු බොහොම ‘ජය පහට’ ජීවත්වන තැනැත්තෙකැයි කතුවරයා පවසයි. තමාගේ අලුත් හිම කබාය කාමරයේ එල්ලා තැබූ අකාකි, සෙසු සගයින් සමඟ තේ පැන් සංග්‍රහයට සහභාගි වෙයි. ඔහුගේ අලුත් කබාය ගැන නොයෙකුත් වර්ණනා කරන මිත්‍රයෝ ඉක්බිතිව මේසය වටා වාඩි වී කාඩි සෙල්ලම් කරති. තේ පැන් පමණක් නොවෙයි. රෑ කෑම ද පිරිනැමෙයි. සලාද, සීත කළ වහුමස්, මස් කට්ලට්ස්, පස්තැල පමණක් නොව බොන්නට ෂැම්පේන් ද ලැබෙයි. මිත්‍රයෝ අකාකිට ෂැම්පේන් වීදුරු දෙකක්ම බොන්නට සලසවති.
තවත් වේලාවක් මේ සාදයෙහි ගත කළ නොහැකිය. අකාකි තම සත්කාරකයාගේ ඇවිටිලිවලින් බේරීම සඳහා හොරෙන්ම කාමරයෙන් සාලයට අවුත්, තමාගේ අලුත් හිමකබාය සොයා ගනියි. කනගාටු හිතෙන ආකාරයට, එය බිම වැටී තිබුණි. එය අහුලා දූලි ගසා දමා උර මත ලාගෙන, ඔහු වීදියට බසියි.
ගොගොල් නමැති ශූර ප්‍රබන්ධකරු සිද්ධි ගළපන්නේ අපූර්වාකාරයෙනි. අකාකිට වැඩිදුරක් යන්ට ලැබෙන්නේ නැත. උඩු රැවුල් ඇති මිනිසුන් දෙදෙනෙක් වීථියේ අඳුරෙන් එළියට පනිති.
ගොගොල් මේ ආඥාදායක ප්‍රබන්ධකාරයා - අකාකිට තම අලුත් ම හිම කබායේ ආඩම්බරකාර අයිතිකාරයා වන්නට ඉඩ දෙන්නේ, එකම එක දිනකට පමණි. එය උරෙහි දමාගන්නට ඔහුට ඉඩ දෙන්නේ දෙවතාවකට පමණි. එහෙත් ගොගොල්ගේ ඒ අකාරුණික භාවයෙන් අකාකිට ගැති වන්නේ හිමකබායක් පමණි. ලෝකයේ ප්‍රබන්ධ සාහිත්‍යයට ඉන් ලැබෙන ප්‍රතිලාභය සැලසෙන සෙත ඉමහත් ය. සැබැවින් ම, නව ලේඛක පරපුරක් ම එළියට ආවේ ගොගොල් නමැති සූර ප්‍රබන්ධකාරයා අසරණ අකාකිගෙන් උදුරාගත් හිම කබායෙනි.
එකෙක් අකාකිගේ කබාය උදුරා ගනියි. අනෙකා ඔහුට පා පහරක් දෙයි. අකාකි හිම ගොඩ මත ඇද වැටෙයි. මුර පොළේ පොලිස් භටයකු සිටියත්, ඔහු හිතන්නේ අර කබා හොරුන් දෙදෙනාම අවාසනාවන්ත අකාකිගේ මිත්‍රයින් කියා ය! තමාට බැණීමෙන් පලක් නැති බවත් මේ කාරණය පසුදා උදේම ගොස් පොලිස් ඉන්ස්පැක්ටර්ට පැමිණිලි කළ යුතු බවත්, පොලිස්කාරයා අකාකිට කියයි.
ඒ කාරණා කොහොම වුණත්, ඇත්ත තත්ත්වය නම් දැන් ඉතින් අකාකිට හිම කබායක් නැති බව ය; ඔහුට එය ආපහු ලැබෙන්නේ ද නැති බව ය.
මේ මංකොල්ලය ගැන පොලිස් ඉන්ස්පැක්ටර් හමුවීමේ පලක් නැති බවට අකාකිට උපදෙස් දෙන්නේ, ඔහු කුලියට සිටින ගෙදර කාන්තාවය. ඇගේ උපදෙස නම්, ඔහු කෙළින්ම ගොස් පොලිස් කොමසාරිස්වරයා හමු විය යුතු බව ය.
අකාකි පොලිස් කොමසාරිස්ගේ කාමරයට ඇතුළු වන්නේ බලෙන් මෙනි. ඔහු නවතාලන්නට ඒ කාර්යාලයේ ලිපිකරුවන්ට ද බැරි විය. මේ මිනිහා අකාකිගෙන් අහන්නේ කාරණයට අදාළ ප්‍රශ්න නොවෙයි. පැමිණිලිකාරයා එදා රාත්‍රියේ ගණිකා නිවාසයකට නොගිය බව සහතික කොට කියන්නේ කෙසේ දැයි ඔහු අකාකිගෙන් විමසයි!
අන්තිමේදී තම කාර්යාලයේ අනෙක් ලිපිකරුවකුගේ උපදෙස් පිට, අකාකි යන්නේ “බෙහෙවින් වැදගත් පුද්ගලයකු” හමුවන්නට ය.
මේ අතර, අකාකි දැන් යළිත් අඳින්නේ, ඔහුගේ අණ්ඩ දැමූ ඇත්ත වශයෙන් ම අණ්ඩ දමන්ඩත් බැරි පරණ කබායට බැව් පාඨකයා අමතක කළ යුතු නැත.
වඳින්න ගිය දේවාලය අකාකිගේ හිස මත කඩා වැටෙන්නේ මේ “වැදගත් පුද්ගලයා” හමුවන්ට ගිය තැනේදීය.
අකාකි යනවිට, මේ වැදගත් මිනිහා සිටින්නේ, තමාගේ පැරණි යාළුවකු සමඟ සතුටු සාමීචියේ යෙදෙමිනි. අකාකි බොහෝ වේලාවක් එළියේ තබාගෙන සිටීමෙන් ඔහු තම මිත්‍රයාට තමාගේ ලොකුකම ද පෙන්වන්ට මගක් පාදා ගනියි.
ගොගොල්ගේ බොහෝ සාහිත්‍ය නිර්මාණවල දක්නට ලැබුණු විශේෂ කාරණයක් විය. ඒ, එදවස සාර් පාලනය යටතේ සිටි නිලධාරි පැලැන්තිය කෙරෙහි, ලේඛකයා දැක්වූ පිළිකුලය. ඔහු තමා තුළ වූ ඒ පිළිකුල ගෙනහැර දැක්වූයේ අතිශය උත්ප්‍රාසාත්මක උපහාසාත්මක විලාසයෙනි.
අකාකි දැන් හමුවන්ට යන්නේ පොලිස් ජෙනරාල්වරයා ය. නිලයේ ලොකුකම හිතට ගත් මේ මිනිහා, ඒ ලොකුකම අනෙක් අයට කියාපාන්ට ද දැක්වූයේ මහත් අභිරුචියකි. අකාකිගේ බැගෑ පෙනුමත්, පරණ නිල ඇඳුමත් දකින ඔහු ප්‍රශ්න කරන්නේ කෙටියෙනි; වචන දෙකකිනි.
“මොකද කාරණාව?”
ඒ වචන තෙපලන ලීලාව, අලුත් ජෙනරාල් පට්ටම ලැබෙන්නට සතියකට කලින් කණ්ණාඩිය ඉදිරියේ සිට ඔහු විශේෂයෙන් පුරුදු වූ වගද, ගොගොල් හෙළි කොට කියන්නේ උපහාස මුඛයෙනි.
“බෙහෙවින් වැදගත් මිනිහා” ඉදිරියේ අකාකි තම පැමිණිල්ල ඉදිරිපත් කර සිටියි. ඔහුගේ ඉල්ලීම පොලිස්පතිට හෝ වෙනයම් ලොක්කෙකුට හෝ කියා, තමාගේ නැති වුණු හිම කබාය සොයා දෙන ලෙස ය. අකාකි කතා කළ කුලුපග විලාසය මේ පොලිස් ලොක්කාට ඇල්ලුවේ නැත.
අන්තිමේදී අකාකිට මේ වැදගත් මිනිහා (දැන් ඔහු පොලිස් ජෙනරාල් බැව් ගොගොල් හෙළි කරයි) ඉදිරිපිටට පමුණුවනු ලබයි. පොලිස් ලොක්කාගේ ප්‍රතිචාරය, ගොගොල් හෙළි කරන්නේ, මුළුමහත් පොලිස් සංහතියම නිරුවත් කරමිනි.
“උඹ මොකක්ද කියන්නෙ මිනිහො? උඹ දන්නෙ නැද්ද මේවා කරන්න ඕන විදිය? උඹ මොකටද මා ළඟට ආවේ? මේ වැඩ කරන හැටි උඹ දන්නෙ නැද්ද? ඉස්සර වෙලා උඹ මගේ කාර්යාලයට පෙත්සමක් එවන්න ඕන. ඒ පෙත්සම ප්‍රධාන ලියන්නා ගාවට යවන්න ඕන. ප්‍රධාන ලියන්නා මගේ ලේකම්ට බාර දෙන්න ඕන. ලේකම් මට බාර දෙන්න ඕන...”
පොලිස් ලොක්කා, අකාකිට කඩාපනින්නේ, ඒ රළු වදන් කියාගෙන ය.
අකාකි තවත් කතා කරන්ට වෑයම් කරයි. තමා ඔහුට ආයාචනය කරන්නේ, ලේකම්වරුන් විශ්වාස කරන්ට බැරි නිසාවනැයි ද අකාකි පවසයි. ඒ නම්, තම නිල තන්ත්‍රයටම කෙරෙන චෝදනාවකි. පොලිස් ලොක්කාට යකා නගියි.
“උඹට තේරෙනවද, උඹ කතා කරන්නෙ කාටද කියල? උඹ ඉදිරියෙන් ඉන්නෙ, කවුද කියල උඹට තේරෙනවද? මං අහන්නෙ, උඹට තේරෙනවද?”
පොලිස් ලොක්කා බිම අඩි හප්පා කොතරම් වැරෙන් බෙරිහන් දුන්නේ ද යත්, අකාකිගේ මුළු සරුවාංගයම වෙවුලන්ට පටන් ගනියි.
අකාකිගේ මේ අසරණ ලිපිකරුගේ ජීවිතය අවසානයට ගෙන යන්නේ ජනරාල්ගේ ඒ අඩි හැප්පීමය; බැණ වැදීමය. තමන් ගෙදර පැමිණියේ කෙසේදැයි අකාකිට කිසිම නිනව්වක් නැත. ඔහු ඇඳෙහි වැතිරුණේ ය. ඒ යළිත් නැගිටින්ට නොවේ.
මතු සම්බන්ධයි.