සිංහල කවි කෙතට වට කවි වැස්සක් ‘මම වහි­නවා’ | සිළුමිණ

සිංහල කවි කෙතට වට කවි වැස්සක් ‘මම වහි­නවා’

කර්තෘ - පරාක්‍රම කොඩිතුවක්කු

ප්‍රකාශනය - සරසවි ප්‍රකාශකයෝ

මිල: රු. 250

පරාක්‍රම කොඩිතුවක්කු කිවිඳුන්ගේ නවතම කාව්‍ය සංග්‍රහය වන “මම වහිනවා” ග්‍රන්ථ නාමයේම ඇත්තේ අපූර්වත්වයකි. කවි සිත්තම් 43 කින් සුසැදි මේ කාව්‍ය සංග්‍රහය සඳහා වස්තු විෂය වී ඇති කාව්‍යානුභූතීන් පරාක්‍රම කිවිඳුන් විසින් විවිධ සමාජ තලයන්හි දිවිගෙවන මිනිසුන්ගේ මානව ක්‍රියාකාරකම් හා බැඳෙමින් උකහා ගත් ජීවන අත්දැකුමෙන් පොහොසත් ය. බොහෝ කවි සමාජ පරිධියේ දිවි ගෙවන්නවුන්ගේ දිවි පෙවෙත් ඇසුරින් නිර්මිත ය. පරාක්‍රම කිවිඳුන්ගේ විඳුම් ලොවහිදී සියුම් වේදයිතයන්ගෙන් උපන් මෙම කවි අපගේ පරිකල්පනය පුබුදුවන කවි රසයෙන් අනූන කාව්‍යාවලීන්ගෙන් සමන්විතය.

මේ කවිවල දකිත හැකි වෙසෙස් ලකුණක් වන්නේ එක ම සම්මත විරිතකට අනුගත නොවී, අත්දැකීම් විකාශනයට උචිත කාව්‍යාකෘතීන් යොදා ගනිමින් කවි සිත්තම් නිමවා තිබීමයි. මේ නිසාම මේ කවි අමුතු ය. ඒ අමුත්ත නම් අත්දැකුමෙන් පිරිපුන් කාව්‍යානුභූතීන් කෙරෙහි ඔහු දක්වන අමිත මානව දයාවයි.

“ගෝනුන් හත්දෙනාම ඉස්කෝලේ” නමින් පුරාණ කවියක් ඇසුරෙන් රචිත කාව්‍ය රචනාව උතුරු මැද පළාතේ දුෂ්කර පාසලක සත්‍ය සිද්ධියක් ප්‍රතිනිර්මාණය කිරීමකි. මෙහිදී කවියා විසින් උපයුක්ත සරල සුගම බස් වහර ද, රචනා විලාසයද බලනු මැනවි.

ළමයි වටවෙලා

බලා ඉන්නවා

ඉස්කෝලෙට ආ ඒ

ගෝනා දිහාව.,..

කොහොමද ඉස්කෝලෙට

ගෝනුන් ආවේ

 

මෙම කාව්‍ය රචනය පුරාවටම ඇත්තේ ගැමියන්ගේ පුරා කතා ය. ඒ කතා ඇසුරෙන් විශද වන්නේ ගෝන්නු හත්දෙනාම පාසල් පිටියත්, ඉස්කෝලෙත් තමන්ගේ කර ගැනීමකි. මිනිසා විසින් පරිසරයට හානි කළ පසු ගෝනුන් නොපැමිණියේ ඔවුන්ගේ ආදි වාසෙ නැතිවීමෙනි. මිනිසාත්, ගහකොළ හා සතා සිවුපාවුන් අතර පැවතිය යුතු අවියෝජනීය සබඳතාවය පිළිබඳ සංසිද්ධියක් ගැන කියැවෙන මේ කාව්‍ය රචනය අවසන් කරන්නේ මෙලෙසිනි.

ඉතින් මේ පාසලින් ලෝකෙට යන

එක ළමයෙක් වත්

ගෝන්නු හත්දෙනාව ගැන

කවියක් ලියයිද කවදාවත්

 

මෙවැනි අපූර්ව සංසිද්ධියක් පිළිබඳව කවියක් ලිවිය හැක්කේ නවමු කියැවීම් සහිත සංවේදී කවියකුට පමණි.

මෙහි එන “කිරාගෙ පුතාය - කිරීගෙ පුතාය” කාව්‍ය රචනය දුගී දරුවකු දුක්විඳ ඉගෙනුම ලබා වරප්‍රසාද සහිත ඉහළ පන්තියට අවතීර්ණ වීම කේන්ද්‍ර කර ගනිමින් රචිත ය. මෙහිදී කවියා පිදුරු මඩුවේ නිදාගත් කිරාගේත්, කිරීගේත් පුතා පාසල් ගොස් විද්‍යා ගණිත පරිගණක දැනුමෙන් පොහොසත් ව ඉහළ තනතුරු ලැබ යාන වාහන මතින් ගමට පැමිණ යසස ගෙනෙන අයුරු චිත්‍රණය කරන්නේ අනුප්‍රාස බහුල “කිරාගෙ පුතාය- කිරීගේ පුතාය” වදන් තුළිනි. නිදසුනක් ලෙස මේ කවි ගෙනහැර දක්වමි.

පිදුරු මඩුවෙ කවුදැයි බුදියන්නේ

කිරාගේ පුතාය කිරීගේ පුතාය

සිප්ගෙන සමුදුරු තරණ කරන්නේ

කිරාගේ පුතාය කිරීගේ පුතාය

 

ගැමි කඩේ සිට පත්තර කියවා ලත් ජීවිතාවබෝධය විදාරණය කරන්නේ සිතුවම් පටක් ඇදී යන පරිද්දෙනි.

ඒබරන් මුදලාලි

දොඩමළුය සැම දෙන හා

.....කියවන එක බෝම අගෙයි

‘සිළුමිණ‘ දේය මාතට

කතා පිටු කවි පිටු විත්ති පිටු

රූප පිටු පණ්ඩිත පිටු

මොන පිටු ද එහි අඩු

තේරුනත් නොතේරුනත්

මුල සිට අගට කියවමි

 

පියකුගේ නොසණ්ඩාලකමක් නිසා වූ විපතත්, ඒ පිළිබඳ ව දොස්තර මහතාගේ ප්‍රතිචාරයත් මැනවින් නිරූපිත “කැපිල්ල” කාව්‍ය රචනය ඒ සිද්ධිය නිරූපණය කරන්නේ වදන් කිහිපයකිනි.

ඒ පිහිපාරට

කැපිලා විසි විය ඇඟිල්ල

දොස්තර මහතා

ඉවසුම් නැති වී ....

.... මිනිහෝ දැන්

ගෙදරට ගිහිල්ල අඬපන්

.... උඹේ කැපිල්ලට....

 

සැමියාගේ පිහි පහරින් දියණියගේ ඇඟිල්ල කැපිලා විසිවුණත්, පොලිසියට දුන් කට උත්තරයේ ඇත්තේ පොල් බිඳිද්දී අතට වැදුණු බවයි. නමුත් මේ සිද්ධිය මැනවින් දන්නා දොස්තර මහතාගේ වදන් තුළින් සත්‍ය හෙළි වෙයි. මේ සිදුවීම් කවියට නැඟීමේදී පරාක්‍රම කිවිඳුන් යොදාගත් ව්‍යංග්‍යාර්ථවත් හැඟුම්කාරක කවි බස තුළින් යටි පෙළ අරුත් විහිදුවයි.

“නිහඬ වූ සාක්ෂිය” බලවතකු අතින් අහඹු ලෙස අතවරයට පත් වූ අහිංසක කාන්තාවක් එම සිදුවීම මුහුදින් එතර රටක රිය අනතුරකින් මියෙනතුරා සඟවා ගෙන සිටි අයුරුත්, ඇගේ මරණය නිසා බලවතා ඉන් නිදහස් වීමත් වස්තු විෂය කරගෙන ඇත. එම සිදුවීම් කවියට නැඟීමේදී පරාක්‍රම කිවිඳුන් කවි බස හසුරුවා ඇත්තේ සියුම් වියමනකින් වදන් චිත්‍රයක් මවමිනි. අල්ප වාං මාලාවකින් සුවිසල් අරුතක් ජනනය වන පරිද්දෙනි.

එදා සිට වියපත් වන තුරු

ඔහු සිත තිබුණෙ

එක ම බියකි

ලෙන් කුටයක සුළං හඬක් වැනි

සිතින් නැගුණෙ එක ම හඬකි

....... යම් දවසක

ඇය කතා කරාවියැ යි ලොවට

තට්ටු කරාවියැ යි දොරට

සුන්බුන් වේ යැයි තම නාමය

එහෙත් දැන් බියක් නැත

සිත නිදහස් විය

ඇගේ මරණයෙන්

ශේෂව තිබුණු එක ම සාක්ෂිය ද

ඇය රැගෙන ගිය නිසා .......

 

කේ. ජයතිලකගේ “චරිත තුනක්” අසිරිමත් නව කථාවේ “ඉසා” චරිතය කේන්ද්‍ර කර ගනිමින් රචිත “ඉසාට ඇමතුමක්” ප්‍රතිනිර්මාණී කාව්‍ය ප්‍රබන්ධයේදී පරාක්‍රම කිවිඳුන් විරාගයේ අරවින්දගේ ගති සොබා සමඟ ඉසාගේ චරිතය සිත්තම් කරන්නේ අපූර්ව ආකාරයෙනි.

අරවින්ද නොගත් මග

ඔබ ගත්තෙ

අරවින්ද නොදිනු මග

ඔබ දිනුවේ

....දැන් ය මගෙ සෙවුම් ඇස දකින්නේ

 

අරවින්දයක්වන් අරවින්ද සරා ගැන පිළිබඳ සිතක් ඇති කර ගත්තද, එය යථාර්ථයක් කර ගැනීමට අවැසි දිරිය නොමැතිව නිෂ්ක්‍රීය වනවිට ඉසා යථාර්ථයට මුහුණ දෙමින් ලලිතාද දිනා ධනයෙන් හා බලයෙන් ආඪ්‍ය විය.

කෝකිලානේ

සිටු වන්ට පැතූ ඔබ

එහි සිටාණෝ වූහ

එමතු නොව අවසනෙහි

කෝකිලානේ ඉසිවුහ

 

ජීවිතය ජය ගත හැක්කේ උකටලී වීමෙන් නොව ජීවිතයට නොබියව මුහුණ දීමෙනි. කාව්‍යය අවසන්හි දී ඒ බැව් හඟවන්නේ මෙසේය.

මිනිසා පිරිපුන් ව සිටින්නේ

ඒ ආලෝකයෙහි ය .... ඉසා

බයක් නොවී ඔබ

ආදරය කරන්නෙය

ආදරය ලබන්නෙය

 

“හමුවකි පුදුම” හද සන්තානයේ ජනිත වන සියුම් හැඟීම් මැනවින් නිරාවරණය තරන හෘදයානන්දකර කාව්‍ය රචනයකි. කළු මුහුණක් ඈ සතු වුවද කළු මුහුණ යට කවියා දකින්නේ නිහැඬියාව, ඉකි ගැසීම සහ රිදුම් ය. ඔහු විවාහකයකු වුවද ඈ කෙරෙහි ඇත්තේ ප්‍රේමණිය හැඟීමකි. ඔහු සිය බිරියටත් ආදරේ ය. එබැවින් එක් නොවන හමුවකට තිත තැබීම හැර වෙන කළ හැක්කේ කුමක්ද? මේ මානසික සංකර්ෂණය සිත්තම් කරන අයුරු බලනු මැනව.

මට ඔබ ව ගන්න බැරි

මා විවාහක නිසයි

මගේ බිරිඳටත් මම

ආදරය ඇති නිසයි

උන් ගමන් ඔබ ඒය

සිහින නැති මගෙ සිතට

ඒ දකින සීනයෙන්

අතේ දුරකින් සිටියි

 

කවිය ගැන පෙර’පර දෙදිග කවියන් හා විචාරකයින් කළ නිර්වචන බොහෝ ය. පරාක්‍රම කිවිඳුන්ගේ “කවිය නම්” කාව්‍ය රචනය කවිය ජීවිතයට ඇති සමීප බවත්, කවියක් ලිවීමේ ඇති ආයාසකර බවත්, මැනවින් විදාරණය කරයි. කවිය ගැන ලියු පරාක්‍රම කිවිඳුන්ගේ මුල් කවිය හා අවසන් කවිය පහතින් ඇද දක්වමි.

දුක් වෙහෙස ගෙන ඉගෙන ගන්නට

බැරි දෙයක්ම ය කවිය නම්

අරුත් මේයැ යි... රසය මේයැ යි

කියා දෙනු බැහැ කවිය නම්

හඬාලා කම්පාව උන්නත්

ළඟ සිටිත් ම ය කවිය නම්

ඉවසන්න බැරි ආ ද ර ය ම ය

කවිය නම් ... කවිය නම්

 

මෙම කාව්‍ය සංග්‍රහය අවසන් කරන්නේ ග්‍රන්ථ නාමය හඳුන්වන “මම වහිනවා ” යන කාව්‍ය රචනයෙනි. මෙහි “මම වහිනවා” යන වාච්‍යාර්ථය තුළ ව්‍යංග්‍යාර්ථ , සංකේතාර්ථ, භාවාර්ථ, රැසක් දැකිය හැක. ඒ බැව් මෙම පද්‍යයන්ගෙන් පැහැදිලි වේ.

අතහැර දා වැරහැලි

ඉවතලා කඳුළු ගුලි

බොරලු වැලි උඩින් ඔබ

යන්න... මම වහිනවා

මැඩ ගන්න බැරිම තැන

ඔය කෝප ගිනිදැල්ල

සිත තුළම පුපුරයි ද

ඉන්න.... මම වහිනවා

 

පරාක්‍රම කොඩිතුවක්කු කිවිඳුන් මානව ජීවිතයේ විවිධ සංසිද්ධීන් දෙස තෙවැනි ඇසකින් බලා යථාර්ථය පිරිසිඳ මනරම් කවිකම්හි යෙදෙමින් විරචිත “මම වහිනවා” කාව්‍ය සංග්‍රහය තුළ රසාවේෂණ ශක්තියෙන් අනූන කාව්‍ය රචනා බොහොමයක් දක්නට ඇත. එම කවි අප ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යයි.

 

  

Comments