LED පහන් 15000කින් ඒකාලෝක වන ඔප්ටස් ක්‍රීඩාං­ග­ණය | සිළුමිණ

LED පහන් 15000කින් ඒකාලෝක වන ඔප්ටස් ක්‍රීඩාං­ග­ණය

ක්‍රීඩාංගණයකට ගොස් තරගයක් නරඹනවා යනු නිවසට වී රූපවාහිනියෙන් තරගය නරඹනවාට වඩා වෙනස්ම අත්දැකීමක් ලබාගත හැකි අවස්ථාවක්. අපේරටේ නම් එසේ නරඹන්නට තිබෙන්නේ ක්‍රිකට් හා රග්බි තරග පමණයි.

එයිනුත් විදේශ කණ්ඩායමක් සමඟ පැවැත්වෙන තරගයක් යනු දහස් ගණනින් ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගණය වෙත පැමිණෙන අවස්ථාවක්. ඔල්වරසන් හඬ සමඟින් මුසුවූ සංගීතය ක්‍රීඩාංගණය තුළ මවන්නේ වෙනස්ම වූ පරිසරයක්. දියුණු රටවල්වල ක්‍රීඩාංගණ සකස් කිරීමේදී ප්‍රේක්ෂයන්ට/නරඹන්නන් ට ක්‍රීඩාංගණය තුළදී ලැබෙන අත්දැකීම වැඩි කිරීමට ඔවුන් සෑමවිටම උත්සාහ දරනවා. එවැනි උත්සාහයක ප්‍රතිඵලයක් පිළිබඳව තොරතුරු මේ දිනවලදී ඕස්ට්‍රේලියාවෙන් අසන්නට ලැබෙනවා.

ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 1.6ක වියදමින් ඉදිවන ‘පර්ත් ක්‍රීඩාංගණය’ එසේත් නැතිනම් ‘ඔප්ටස් ක්‍රීඩාංගණය’ බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේදී නොබෝදිනකින් විවෘත වීමට නියමිතයි. ආසන 60000ක් සහිත මෙම ක්‍රීඩාංගණය ක්‍රිකට්, රග්බි, පාපන්දු, ඕස්ට්‍රේලියානු ෆුට්බෝල්, මළලක්‍රීඩා හා සංගීත සංදර්ශන වැනි විනෝදාස්වාද අවස්ථා සඳහා භාවිතා කිරීමට සකස් කර තිබෙනවා.

මෙම ක්‍රීඩාංගණයේ පවතින විශේෂත්වය වන්නේ ලොව විශාලම ක්‍රීඩා LED ආලෝක පද්ධතියකින් රාත්‍රී කාලයට ආලෝකමත් වීමයි. LED ආලෝක පහන් 15000කින් සමන්විත මෙම පද්ධතිය මගින් ඕනෑම ක්‍රීඩාවකට උචිත පරිදි සුදු පැහැති ආලෝකය ලබා දිය හැකි අතරම ක්‍රීඩාංගණයේ වහළය ඕනෑම වර්ණයකින් සැරසිය හැකිය.

ක්‍රීඩාංගණයේ පිටත සැකැස්මද මෙසේ අවශ්‍ය පරිදි වර්ණය වෙනස් කරමින් ආලෝක කිරීමට හැකියාව ලැබෙන අතර ගෝලයක් ලබා ගත් අවස්ථාවක් වැනි විශේෂ අවස්ථාවකදී මුළු ක්‍රීඩාංගණයම එම කණ්ඩායමේ වර්ණයෙන් සැරසිය හැකි වීම මෙම LED ආලෝක පද්ධතියේ සුවිශේෂීත්වයයි. මීට අමතරව වර්ග මීටර 340ක අති විශාල LED තිර 2ක් හා රූපවාහිනි 1000ක් මෙම ක්‍රීඩාංගණයේ සවි කර තිබෙන්නේ ප්‍රේක්ෂකයන්ට ඉතා සුවිශේෂී අත්දැකීමක් ලබා දීමටයි.

මෙම LED පුළුල් තිර 2ක ලෝකයේ දකුණු අර්ධ ගෝලයේ ක්‍රීඩාංගණයක සවි කර තිබෙන විශාලතම පුළුල් තිරද වනවා. අති නවීන ශබ්ද විකාශන පද්ධතියකින් සමන්විත මෙම ක්‍රීඩාංගණයේ LED විදුලි ආලෝක පද්ධතිය හා පුළුල් තිර 2ක මෙම ශබ්ද විකාශන පද්ධතිය සමඟින් සමගාමීව ක්‍රියාත්මක කිරීමට සකස් කර තිබෙනවා. මෙම තාක්ෂණය ක්‍රීඩාංගණයක් තුළදී දක්නට ලැබෙන ලොව පළමු වතාව මෙය වනවා.

ක්‍රීඩාංගණයේ පිටත සැකැස්ම සඳහා ලෝකඩ ඵලක යොදා ගෙන තිබෙන්නේ බටහිර ඕස්ට්‍රේලියානු භූ විද්‍යා සැකැස්ම විදහා පෑම සඳහා වන අතර ක්‍රීඩාංගණයේ අවට ප්‍රදේශය තුළ ආදිවාසී ඇබොර්ජින්වරුන් නියෝජනය වන ඉදිකිරීම්ද සකසා තිබෙනවා. ක්‍රීඩාංගණයට පැමිණීමට පොදු ප්‍රවාහන සේවය ඉතා විධිමත් කර තිබෙන අතර වේදිකා 6කින් සමන්විත දුම්රිය ස්ථානයක් පවා ක්‍රීඩාංගණය තුළ ඉදි කර තිබෙනවා.

ක්‍රීඩාංගණය තුළ හා ඉන් පිටත ආපනශාලා හා ආහාර ලබා ගැනීමට හැකි ස්ථාන රැසක් ඉදිකර තිබෙන අතර ක්‍රීඩාංගණයේ පිටත තිබෙන ආපනශාලා වසර පුරාම විවෘතව තැබෙන්නේ ක්‍රීඩාංගණය වටේට ඉදිකර තිබෙන උද්‍යාන, එළිමහන් රංග පීඨය, කුඩා දරුවන්ගේ ක්‍රීඩා පිටිය වැනි වසර පුරාම මහජනයාට පැමිණ නිදහසේ විනෝද විය හැකි ස්ථාන සකස්කර තිබෙන නිසායි. මේ දිනවල පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලියෙන් පසුව තිබෙන එක්දින තරගාවලියේ ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර ජනවාරි 28 වැනිදා පැවත්වෙන පස්වැනි එක්දින ජාත්‍යන්තර තරගය මෙම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු තරගය වනවා. 

 

Comments