HOLLY WOOD | සිළුමිණ

HOLLY WOOD

 හැරී, මෙගාන්ට පලඳන්නේ ඩයනාගේ මුදුවයි.

ජනප්‍රිය නිළි මෙගාන් මාක්ල් සහ හැරී කුමරුන‍් ගේ පෙම් පුවත දැන් ලොව පුරාම ප්‍රචලිත වී හමාරයි. මේ සබඳකම හැරී කුමරුන්ගේ ආත්තම්මා වන එළිසබත් මහ රැජිනගේද අනුමැතිය හිමි වෙලා. පසුගිය මාස ගණනක් තිස්සේ කවුරුත් බලා සිටියේ හැරී සහ මෙගාන් ගේ විවාහය සිදුවන දිනය දෙසයි. මේ ගැන විවිධ ආරංචි පැතිර ගියා. පසුගිය සතියේ හොලිවුඩ් මාධ්‍ය වාර්තා කර තිබුණේ හැරී - මෙගාන් යුවළ ලබන ජනවාරි මාසයේදී විවාහ ගිවිස ගැනීමට නියමිත බවයි. විවාහ ගිවිස ගන්නා දිනයේදී හැරී විසින් මෙගාන්ට පලඳවන්නේ ඉතා වටිනා දියමන්ති මුද්දක්. මේ මුද්ද හැරී ට දැනටමත් ලැබී තිබෙනවා. ඒ, ඔහුගේ ආදරණීය මව ඩයනා කුමරියගෙන්. හැරී, මෙගාන්ගේ සුරතෙහි පලඳන්නේ ඩයනා කුමරිය සතු වු ඉතා වටිනා ස්වර්ණාභරණ අතරින් තෝරා ගත් සිත් ඇදගන්නා මුදුවක්. මේ විවාහ ගිවිස ගැනීමට හැරී කුමරුන් ගේ වැඩිමල් සොයුරු විලියම් සහ ඔහුගේ බිරිය, කේට් මිඩ්ල්ටන් වෙතින් ලැබී ඇත්තේ ‍නොමසුරු සහයෝගයක්. විවාහ ගිවිස ගැනීමෙන් පසුව සම්ප්‍රදායිකව සිදුවන නව යුවළ ගේ ඡායාරූප ගැනීමෙන් පසුව ඔවුන් දෙදෙනා බකිංහැම් මාළිගයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ජොනී ව අයින් කරන්නලු.

ජේ. කේ. රෝලින්ස් ගේ කතාවක් ඇසුරෙන් නිර්මාණය වන ‘ෆැන්ටෑස්ටික් බීස්ට්ස් ද ක්‍රයිම් ඔෆ් ග්‍රීන්ඩල්වොල්ඩ්’ චිත්‍රපටය තිරගත කිරීමට නියමිතව ඇත්තේ ලබන වසරේ නොවැම්බර් මාසයේදීයි.

මේ චිත්‍රපටයේ ගිලට් ග්‍රින්ඩල්වෝල්ඩ් ගේ චරිතය නිරුපණය කරන ජනප්‍රිය නළු, ජොනි ඩෙප් වෙත සිනමා රසිකයන් වෙතින් පළ වී ඇත්තේ ප්‍රසාද ජනක ප්‍රතිචාරයක් නම් නොවෙයි. දැනට රූගත වෙමින් පවතින මේ චිත්‍රපටයෙන් ජොනි ඩෙප් ව ඉවත් කරන්නැයි ඔවුන් උද්ඝෝෂණය කරන බවයි හොලිවුඩ්පුර ආරංචි වල සටහන් වන්නේ. ‘‍ෆැන්ටෑස්ටික් බීස්ට්ස් : වෙයා ටු ෆයින්ඩ් දෙම්’ නම් වු මෙහි මුල් කොටස ඇතුළත් චිත්‍රපටයේ ද ජොනි ඩෙප් රඟපෑවේ ගිලට් ග්‍රින්ඩල්වෝල්ඩ් ගේ චරිතයමයි. ඔහු දෙවන කොටසින් ඉවත් කරන්නැයි රසිකයන් ඉල්ලා සිටින්නේ ඇයි දැයි අපැහැදිලියි. මෑතකදී ඔහු , සිය බිරිය ඇම්බර් හර්ඩ් නම් වු ජනප්‍රිය නිළියගෙන් වෙන් වුණා. වෙන්ව යාමෙන් පසුව ඇය පැවසුවේ ජොනි සමඟ ගත කළ කාලයේදී තමන්ට ඔහු ගෙන් ‍වාචික සහ ශාරීරික වධ හිංසා ලැබුණු බවයි.

‘නොගයමින් ගැයු’ හැටි

සෙලිනා ගෝමස් වසරක පමණ කාලයක් ගත කළේ ප්‍රසංග වේදිකාවෙන් ඇත් වෙලා. ඇය දැඩි ලෙස රෝගාතුර වී සිටීම එයට හේතුවයි. සෙලිනා වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට මුහුණ දී සිටියා.

පසුගිය දා ඇය යළිත් ප්‍රසිද්ධියේ ගී ගැයීමට එක්වු‍ෙණ් සුවය ලබා සිටින නිසායි. ලොස් ඇන්ජලීස් නුවර, මයික්‍රොසොෆ්ට් රඟහලේ දී පැවැත්වුණු සංගීත සම්මාන උළෙලකට සහභාගි වුණු මේ යොවුන් ගායිකාව ගී ගැයු විලාසය බොහෝ දෙනෙකුගේ විවෙචන වලට ලක් වී තිබුණා. ඒ, ඇය සජීවීව ගී නොගැයු නිසයි.

සෙලිනා මේ වේදිකාවේ ‘ගී නොගයමින් ගී ගැයුවා’ යැයි කීවොත් නිවැරදියි. පසුබිමෙන් ඇය ගැයු ගීයක් වාදනය වෙද්දී ඇය එම ගීයේ වචන අනුව තොල් සෙලවීමක් පමණක් සිදු කළ බවයි. ප්‍රේක්ෂකගාරයේ සිටි පිරිස පැවසුවේ.

“මම සෙලිනාගේ සින්දු වලට කැමතියි. ඒත් එයා මේ සම්මාන උළෙලේ දී කළේ තොල් සෙලවීමක් විතරයි. එයාට සින්දු කියන්න බැහැයි කියල කිව්වා නම් ඉවරයි නේ” රසිකයෙකු එලෙස කීවා.

අඳුරු අතීතයක්.

‘වන් ඩිරෙක්ෂන්’ ගායක කණ්ඩායමේ ලියම් පේන්, තම ජීවිතයේ අඳුරු යුගයක් මෑතකදී හෙළි දරව් කර තිබුණා. ඔහු පැවසුවේ ‘වන් ඩිරෙක්ෂන්’ කණ්ඩායම සමඟ එක් වී ගී ගැයු එක්තරා කාලයකදී තමන් වීෂාදයෙන් පෙළුණු බවයි. ඒ කාලයේ කණ්ඩායමේ සියලුම සගයන් ට මුළු ලෝකයෙන්ම උණුසුම් ප්‍රතිචාර ලැබෙද්දී තමන් පමණක් පීඩනයකින් කල් ගෙවු බවත් ලියම් පේන් පැවසුවා. “මම අපේ කණ්ඩායමක් එක්ක ප්‍රසංග වල සින්දු කියන කොට ප්‍රේක්ෂකයන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබුණා. මමත් ඒවාට හිනා වෙලා ප්‍රතිචාර දැක්වුවා. නමුත්, ඒක ව්‍යාජ හිනාවක්.” ලියම් මාධ්‍ය හමුවකදී පැවසුවා. ලියම් ගේ බිරිය, චෙරිල් ඈන්ට්වීඩි ද ජනප්‍රිය ගායිකාවක්. ඒ විතරක් නොවෙයි. ඇය රූපවාහිනී ශිල්පිනියක් සහ නර්තන ශිල්පිනියක්. මීට මාස 8 කට පෙර ලියම් සහ චෙරිල් බිලිඳු පුතෙකුගේ මවු පියන් බවට පත්වුණා. 

Comments