පුංචි වුණත් සතා භයා­න­කයි | Page 3 | සිළුමිණ

පුංචි වුණත් සතා භයා­න­කයි

සූරෙ අයියාගේ නිවෙසට පැමිණෙන නව යොවුන් වියේ තරුණයන් තිදෙනෙකි.

"ආ! ඉඳගන්න මල්ලී"

සූරෙ අයියා ගැඹුරු හඬින් පවසන්නේ, තරුණයින් ගැන එතරම් තැකීමක් නොකරමිනි.

"මේ සූරෙ අයියා! තත්පර දෙකෙන් හතරපස් දෙනෙකුම බිම දාපු කෙනෙක්."

ඔවුන් අතුරෙන් තරුණයෙක් සූරෙ අයියාගේ නිර්භීතකම වීරකම පිළිබඳ හොඳින් දන්නා සෙයකි. ඔහු තම මිතුරන් තිදෙනාට සූරෙ අයියා හඳුන්වා දෙන්නේ සූරේගේ වීරකම් පිළිබඳ පවසමිනි.

'ඇත්තට!' තරුණයෝ සූරේ අයියාගේ වීරකම් පිළිබඳ මවිත වෙති. තමා ගැන හඳුන්වාදීමත් සමඟම උද්දාමයට පත්වන ඔහු,

'ඕක සුළු දෙයක්නෙ මල්ලී' යැයි පවසන්නේ තමා ගැන අධිතක්සේරුවකට පත්වෙමිනි. සූරෙ අයියාගේ වීරකම් දිස්වෙන ජායාරූප එකතුවක් තරුණයින් නරඔමින් සිටියි.

'අයියා මාර ඇක්ටිව් නේ!' තරුණයන් ජායාරූප දෙස බලමින් පවසයි. මෙයින් තවතවත් උද්දාම වන සූරෙ අයියා,

‍'මල්ලි දැකලා නැහැනෙ නියම පින්තූරෙ, ඉන්න පෙන්නන්නම්'

පවසමින්ම තම නිවෙසේ කාමරයකට යයි. කැමරාවට අසුවන්නේ කැරපොත්තෙකුට බිය වී තමා අතේ ඇති රාමුකරන ලද ජායාරූපය ද බිඳගෙන කකුල් දෙකත් උඩට ගෙන බයේ ගැහෙන සූරෙ අයියා යි. වීදුරු ‍බිදෙන සද්දෙට එතැනට දිව එන්නේ සූරෙ අයියාගේ බිරියයි. ඇය අත ඇත්තේ කැරපොතු නාශකයයි. එයින් බෙහෙත් විද කැරපොත්තා මරා දමන ඇය සූරෙ අයියාගේ අතට කැරපොතු නාශකය ලබා දෙයි.

සූරෙ අයියා කැරපොතු නාශකයත් අතට ගෙන බයාදු ලෙස තරුණයන් ඉදිරියට පැමිණෙන්නේ පත් වූ ලැජ්ජාව වසා ගන්නට 'පුංචි වුණත් සතා භයානකයිනෙ මල්ලී' යනුවෙන් පවසමිනි.

ඉහත සඳහන් කළේ මේ දිනවල රූපවාහිනියේ විකාශය වන ජනප්‍රිය දැන්වීමක රූපරාමු පෙළ නිර්මාණය වි ඇති අන්දමයි. මෙම දැන්වීම වත්මන් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ මෙහි එන 'පුංචි වුණත් සතා භයානකයිනේ ' වැනි දෙබස් කාණ්ඩ පවා විවිධ අවස්ථාවල තම ව්‍යවහාරයට එක්කර ගන්නා බැවිනි.

සමහර අවස්ථාවල දේශපාලන කාටුන්වලට පවා මේ වදන යොදා තිබූ අවස්ථා දක්නට හැකි විය. නිර්මාණශීලී දැන්වීමක් ලෙස කවුරුත් කතා කරන මෙම කැරපොත්තන් නාශක දැන්වීම පිළිබඳ මෙවර කවුරුත් කතා කරන දැන්වීම් කතා පෙළ ඔස්සේ කතා බහ කරන්නට අපි කටයුතු කළා. ඒ ගැන පළමුව අප සමඟ කතා බහ කළේ මෙහි අධ්‍යක්ෂක උදය ධර්මවර්ධනයි.

'මේ දැන්වීමටත් මගේ දායකත්වය මම ලබා දෙන්නේ මට ලැබුණු ආරාධනාවකට අනූවයි. ග්‍රාන්ට් ආයතනයෙන් ස්කයි ප්‍රඩක්ෂන් ආයතනයෙන් මට මේ සඳහා ආරාධනා කරනවා. විශේෂයෙන්ම මෙහි නිර්මාණාත්මක අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේ දිලිත් කුලතුංගයි. ඔහු මේ දැන්වීම සඳහා මට ලබා දුන් තේමා පාඨය වුණේ 'පුංචි වුණත් සතා භයානකයි ' කියන පාඨය. ඒ අනූව තමයි මෙය නිර්මාණය වෙන්නේ. මෙයට රංගනයෙන් දායක වෙන්නේ විජය කන්ගරා , මාධව විජේසිංහ වැනි ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන රංගන ශිල්පින්.

සූරෙ අයියාගේ චරිතයට අපි උඩු රැවුලක් යොදා ගත්තා ඒ මඟින් ඔහුගේ චරිතය වඩාත් ඉස්මතු වුණා. ඒ වගේම ඔහු නිතර ඇඟිලි කඩන කෙනෙක්. රාත්‍රී කාලයේ තමයි මේ තරුණයින් ඔහුගේ නිවෙසට එන්නේ. මෙහි එන චරිත සඳහා නළුනිළියන් ‍සොයා දුන්නේ ශැගී යෂිත. ලොකු ලොකු වැඩ කළාට ගඩොල් කැඩුවට කරාටි ගැහුවට කැරපොත්තන්ට වගේම ගෙදර හාමිනේටත් අපේ චණ්ඩි බයයි. මේ කන්සෙප්ට් එක අනූව සැකසුණු දැන්වීමට අද ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුයි“. මෙම දැන්වීමේ නිර්මාණාත්මක අධ­්‍යක්ෂ දිලිත් කුලතුංග පවසන්නේ මෙවැන්නකි.

'මේ නිර්මාණය මට භාරදුන්නේ මගේ ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂතුමා. අපි ළඟට ආපු client ට අවශ්‍ය වුණේ ජනප්‍රිය වගේම අපූර්වත්වයෙන් යුතු දැන්වීමක් නිර්මාණය කර ගැනීමටයි. වසර කිහිපයකට පසුව තමයි මේ බ්‍රෑන්ඩ් එකෙන් ලංකාවේදී වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කළේ.

මීට පෙර බොහෝ වෙලාවට මේ දැන්වීම් පිටරටින් ගෙන්වා ලංකාවේදී හඬකවා විකාශය කළා. ඒ කන්සෙප්ට් එකෙන් මිදිලා ලංකාවේ මොඩල්ස්ලා දාලා මේ ආකාරයේ දැන්වීමක් නිර්මාණය වුණේ කලකට පසුවයි. මේ දැන්වීම නිර්මාණය කරත්දී අභියෝග කිහිපයකටම මුහුණ පාන්නට අපිට සිදු වුණා. ලංකාවේදී ආවට ගියාට දැන්වීම් නිර්මාණය කරන්න බැහැ. දැන්වීමක් නිර්මාණය කරත්දී ඒ සඳහා යම් නීතිරීති පද්ධතියකට අනුගත විය යුතුයි. එය තරමක අභියෝගයක්. මේ අභියෝගයට අමතරව මගේ client ගෙනුත් මට අභියෝග කිහිපයක්ම ලැබුණා.

මේ දැන්වීම ජනප්‍රිය විය යුතු වගේම මේ බ්‍රෑන්ඩ් එක ගැන පාරිභෝගිකයාට මේ චරිත ඔස්සේ නොකියා කිවිය යුතුයි කියන අභියෝගය ඔවුන් මට දුන්නා. ඒ වෙනුවෙන් වඩා නිර්මාණශීලී පසුබිමක් කරා මට යන්නට සිදුවුණා. එයට මනා සහයෝගයක් මෙය අධ්‍යක්ෂණය කළ උදය ධර්මවර්ධනගෙන් මට හිමි වුණා. ඔහුත් නිර්මාණශීලී දැන්වීම් කලාවක් වෙනුවෙන් පිපාසිතව සිටින අධ්‍යක්ෂවරයෙක්. මම සිතුවාටත් වඩා නිර්මාණශීලීව ඔහු මේ දැන්වීම පාරිභෝගිකයා වෙත ගෙන ගියා.

මෙහි පිටපත් රචනයේ දී මම දන්න කෙනෙක්ගේ චරිතයක් තමයි පදනම් කරගත්තේ. ඔහු ඇඟපතින්, කතාවෙන් ලොකු චණ්ඩියෙක්. ඒත් පොඩි කැරපොත්තෙකුට, මකුළුවෙකුට, හූනෙකුට පුදුමාකාර බයක් තමයි තිබෙන්නේ. මෙය ලංකාවෙ විතරක් නෙමේ ලෝකයේම එහෙමයි. නයෙක් පොළගෙක් දැක්කට වැඩි කැරපොත්තන්ට සමහර උදවිය බයයි. මේ ඉන්සයිට් එක උඩ තමයි මම සූරෙ අයියාගේ කතාව ගොඩනැඟුවේ. මේ දැන්වීම නිර්මාණයට අපිට මාස එකහමාරක විතර කාලයක් ගත වුණා.

පිළියන්දල ප්‍රදේශයේ නිවෙසක තමයි මෙහි රූගත කිරීම් සිදු වුණේ. ඒ වගේම චරිතවලට ගැලපෙන ලෙස නිවෙසේ පසුතලය අපි නිර්මාණය කළා. මේ දැන්වීමට අනූව සූරෙ අයියා කියන්නේ යමක් කමක් තිබෙන 70ව 80ව දශකවල චණ්ඩියෙක්. ඒ ස්වභාවය ඉස්මතු වන පරිදි තමයි ඔහුව හැඩ ගැන්නුවේ. උඩු රැවුලක් ඇති නිතරම ඇඟිලි කඩන කරාටි ගහ ගන්න, දත්වලින් ට්‍රැක්ටර් අදින සූරෙ අයියාට සාපේක්ෂව සමාජයේ සියලු දේ කුඩා කියලයි ඔහු හිතන් ඉන්නේ.

'ඕක සුළු දෙයක්නෙ මල්ලී' ඔහු නිතර මේ සුළු යන වචනය පාවිච්චි කරන කෙනෙක්. තමාගේ ප්‍රතිරූපය හැමදෙයටම වඩා විශාලයි කියලා හිතාගෙන තමා ගැන මවාගෙන ඉන්න චරිතයක් මොහු. ඒ වගේම මෙහි එන තරුණයන් තිදෙනාත් එකිනෙකාට වෙනස්. ඇඳුමෙන්, කොණ්ඩෙන්, පාටින්. සූරෙ අයියා ගැන ඔවුන්ගේ ප්‍රතිචාරය මෙහි දී ඉස්මතු කරන්නට අවශ්‍ය වුණා. ඔවුන් හිතන්නේ සූරේ අයියා තරම් වීරයෙක් නැහැ කියලයි. ඒත් අවසානයේ පෙනෙන්නේ කැරපොත්තෙකුට පවා ඔහු බයයි කියන එකයි.

කැරපොත්තා නිසා තත්පරයෙන් සූරෙ අයියා ගැන තක්සේරුව වැරදි බව ඔවුනට වැටහෙනවා. මෙහි එන සූරෙ අයියාගේ දෙබස් චරිත ලක්ෂණ මේ බ්‍රෑන්ඩ් එකට උචිත ලෙස ඒ පිළිබඳ පැවසෙන පරිදි පිටපතේ යොදන්නට මම කටයුතු කළා. 'තත්පර දෙකෙන් හතරපස් දෙනෙක්ම බිමදැම්මා', 'අයියා මාර ඇක්ටිව් නේ' වැනි දෙබස් එය වඩාත් තීව්ර කරනවා. මේ දැන්වීමට හඬ කැවීමට දවසක්ම අපිට ගත කරන්නට සිදු වුණා.

ඒ සඳහා මියුසික් වලින් ලොකු සහයෝගයක් මට ලැබුණා. මෙයට දායක වූ හැම දෙනාටම මම ස්තූතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මෙහි අධ්‍යක්ෂ උදය ධර්මවර්ධන, නිෂ්පාදනයෙන් දායක වූ රශික ජිනසේන, සංගීතයෙන් ඉරංග ජයවර්ධන, කැමරාකරණයෙන් කාවින්ද මුදලිගේ ඇතුළු හැමදෙනාමගේම නොමද සහාය මේ දැන්විමේ සාර්ථකත්වයට හේතු වුණා. ඒ වගේම මගේ client ගෙන් මට ලැබුණු නිදහසත් හුඟක් වැදගත් වුණා.

 

Comments