අපේ ගෙදර දෙවි­යන් බුදුන් වැඩ­සි­ටින්නේ එකම පූජා­ස­න­යක | Page 2 | සිළුමිණ

අපේ ගෙදර දෙවි­යන් බුදුන් වැඩ­සි­ටින්නේ එකම පූජා­ස­න­යක

මිථුන ලග්න හිමියන් ක්ෂණිකව ක්‍රියාත්මක වන අතර තියුණු බුද්ධියක් ඇත. ක්‍රියාවෙන් කතාවෙන් අන්‍යයන් ආකර්ශනය කර ගැනීමට සමත්ය. කතාවට හා ලිවීමට දක්ෂ නිසා ඉහළට යයි. මිනිසා පිළිබඳවත් මිනිස් ජීවිත පිළිබඳවත් පහසුවෙන් අවබෝධයක් ඇතිකර ගැනීමට සමත්කම් ම දක්වන මොවුන් තමන් නොදන්නා වැඩක් වුවද භාරගත් පසු පළපුරුදුකමි ඇතිඅය ලෙසින්ම ඉදිරියට කරගෙන යයි. හැම දෙයක් ගැනම ටික ටික දනී. පොතට පතට ලිවීමට කියවීමට උනන්දුවක් දක්වන මොවුන් බොහෝ දෙනා බුද්ධිමතුන්ය. රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් පිළිබඳ විමසන කල මෙය සත්‍යයක් බව වැටහේ.

පණ්ඩුකාභය වේදිකා නාට්‍යයේ උන්මාදචිත්‍රාට පෙම්බඳින දීඝගාමිණී ඔහුයි. 1970 දශකයේ විද්‍යා ගණිත ගුරුවරයෙක් ලෙස ජීවන ගමන ඇරැඹූ ශ්‍රියන්ත මෙන්ඩිස් කලාවට පෙම්බැන්දේ දෛවෝපගත ලෙසිනි.

පුංචිතිරය පුළුල් තිරය හා වේදිකාව එකලුකරමින් විවිධ හැඩතලයෙන් රංගන ප්‍රතිභාව විදහාලීය. පළිඟුමැණිකේ, සදිසි තරණය, කවි කඳුළ, දඬුබස්නාමානය, බැද්දෙගෙදර, බෝගල සවුන්දිරිස්, දෑකැති මුවහත, සාගරයක් මැද, මංගල තෑග්ග, අයෝමා, අරගලය, පුංචි සුරංගනාවී, මිල්ලෙ සොයා, භේරුණ්ඩ පක්ෂියා, සුදු සහ කළු, ගරිල්ලා, මාකටින්, සදිසි තරණය, ඉල්ලිස ජාතකය, යන කලා නිර්මාණ තුළින් ඔහුගේ විවිධ පරාසයේ රංගන හැකියාව මේ යැයි පෙන්වීය. ගුරුවරයෙක් රංගන ශිල්පියෙක් වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙක් ලෙස දක්ෂතා දැක්වූ ජූඩ් නීල් ශ්‍රියන්ත මෙන්ඩිස් කතෝලිකයකු වුවද ජ්‍යෙතිෂය විශ්වාස කරන්නෙකි.

හඳහන විශ්වාස කළාට ඔබට පුංචිකාලේ හඳහනක් හදලා තිබුණේ නැහැ.

මගේ දෙමව්පියන් උග්‍ර කතෝලික. රාගම මගේ උපන් ගම. කුඩා කාලේ හඳහනක් හදලා තිබුණා නම් මගේ කලා ගමන ඉක්මන් වෙන්නත් තිබුණා. හඳහන ගැන දෙමව්පියෝ විශ්වාස නොකරන්න ඇති. නමුත් විද්‍යාව හැදෑරුවා කියලා වරදක් උනේ නැහැ. මගේ බිරිඳ කුසුම් රේණු බෞද්ධාගමිකයෙක් නිසා ඇය හමුවුනාට පස්සෙ තමයි කේන්දරයක් හැදුවේ. ඒත් පුංචි කාලේ මට සමහර අය කිව්වලු හෙමිටි කොල්ලා කවදහරි මූ නළුවෙක් නම් වෙයි කියලා.

දෙමව්පියන්ගේ සංකල්පය වෙන්නේ දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි කරවන්න. නමුත් දෛවය විසින් ලියූ හැඩය අනුව අපේ ගමන තීරණය වෙනවා. ගුරු භූමිකාවෙන් මිදිලා ශ්‍රියන්ත මෙන්ඩිස් රංගධරයකු වෙන්නේ දෛවයේ පතාගෙන ආ අයුරින් තමයි.අපි සංසාරේ හුරුපුරුදු කරගෙන ආපු ගමනට අනුව තමයි ජීවන ගමන සැකසෙන්නේ. ඒක කාටවත් වෙනස් කරන්න බැහැ. කොහොම වුණත් රංගනයෙහි හැකියාවක හැඩතල කුඩාවියේ සිටම මා තුළින් ගම්‍ය වුණා කීවොත් නිවැරැදියි. පණ්ඩුකාභය වේදිකා නාට්‍යය ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වුණා. මගේ රංගන ජීවිතයේ වගේම පෞද්ගලික ජීවිතයෙත් සැබෑ වෙනසක් සිදුවුණා කීවොත් නිවැරදියි. සයිමන් නවගත්තේගම ගේ පණ්ඩුකාභය නාට්‍යෙයේ මම දීඝගාමිනී. උන්මාද චිත්‍රා වුණේ කුසුම් රේණු. නාටයයේ පෙම්වතුන් වූ අපි සැබෑ ජීවිතයේත් පෙම්වතුන් වෙලා ජීවන සහකාරිය වුණා. ප්‍රේමය නමැති මහා සංකල්පය තුළ අපේ විවාහයට ආගම බාධාවක් වුණේ නැහැ. අපේ ගෙදර දෙවියන් බුදුන් වැඩසිටින්නේ එකම පූජාසනයක. කුසුම්ට කේන්ද්‍රයක් තියනවා. අපි අවුරුද්දේ අන්තිමට හඳහන් බලනවා. අපි පොරොන්දම් බැලුවෙත් විවාහයට පස්සෙ. 20 න් 17 ගැලපෙනවා.ජ්‍යෙතිෂය කියන්නේ පොදුවේ කාලය ලෝකය හා පරිසරය සමඟ බද්ධ වූ ගණිතමය හැඩයක්.එයට සුභ වෙලාවන් සුබ නැකත් ආදී සියල්ලක්ම අඩංගුයි.

දරුවන්ගේ කටයුතුවලදී ජ්‍යෙතිෂයට මුල්තැන දෙනවද?

දරුවන්ට කැමැති ආගමක් අදහන්න නිදහස දීලා තියනවා. ඒ දෙන්නාම ඉගනගත්තේ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ .ඒ නිසා කතෝලික පසුබිමක හැදු‍ණේ. නමුත් පොඩිදුවත් පන්සල් යනවා.

නිපුනි ප්‍රේක්ෂා මෙන්ඩිස් . ඇය මෝස්තර නිර්මාණ කලාව ඇඳුම් නිර්මාණ කලාව, වේදිකා නාට්‍ය ඇඳුම් නිර්මාණය කරනවා. උපාධිය හැදෑරුවා. සැමියා ෂාන් අමන්ද ඉංජිනේරුවරයෙක්. ඔවුන්ගේ දියණිය ගැබ්‍රියෙලා කැත්ලීන්. දෙවෙනි දියණිය තාරුකී අමායා මෙන්ඩිස් . N.I.B.M. පාඨමාලාවක් හදාරනවා. මානව සම්පත් උපාධිය හදාරනවා.

කුලියාපිටිය ශාන්ත ස්ටෝර්ස් අධිපති ශාන්ත මහතාගේ පුත් ජූඩ් ෂෙහාන් සමඟ විවාහ ගිවිසගෙන සිටිනවා. අපි විවාහ වු‍ණේ මගේ උපන් දිනය දවසේ. ඒ දවසේ උපදින්න හොඳනම් විවාහයට වරදක් වෙන්නේ කොහොමද? මෙය පූර්වාදර්ශයට ගෙන ලොකු දුව විවාහ වුණෙත් ඇගේ උපන් දිනය දවසේ. එය පූර්වාදර්ශයට ගනිමින් පොඩිදුව විවාහ වෙන්නේ එයාගේ මහත්තයාගේ උපන් දිනය දවසේ.

කෙනෙකුගේ සාර්ථකත්වයට පෙර පින් තියෙන්න ඕනෑ....

අපි පෙර ආත්මවල පින් කරලා තියෙනවනම් ජීවිතයේ පිනෙන් අමාරු විටෙක ඒ පින් අපිට පිහිටට එනවා.කුසලතා කියන්නේ පෙර පින් තමයි. පෙර බොහෝ කුසල් රැස්කරගෙන ඇති කෙනා කුසලතාවලින් පිරුණු අයෙක්.ඉංග්‍රීසියෙන් talant බයිබලයේ තලෙන්තු . ඒක තමයි කියන්නේ ජීවිතයේ පිරෙන්න පින් කරන්න කියලා.ක්‍රියාවෙන් මුදල් වියදම් කරලම වෙන්න ම ඔනෙ නැහැ. ආයුබෝවන් කියලා හදවතින් අමතනවනම් ඒ වචනයත් ඇති. ඇත්තෙන්ම පින කියන්නෙ ආයෝජනයක්.

ඔබ හස්ත රේඛා ශාස්ත්‍රයත් විශ්වාස කරනවා.

ඉන්දියාවෙන් ආපු හස්ත රේඛා දෛවඥයෙක්ගෙන් අතබැලුවා. අපි මැරෙන දවස වුණත් දැනගන්න හැකියි. කාටවත් වෙනස් කළනොහැකි පරිදි අපි පතාගෙන ආ අයුරින් දෛවය අතේ ඇඳිලා.මගේ අතේ ඇඳිලා තියන මාළුවකුගේ රූපය හතරැස් කොටුව නිසා ජනප්‍රිය බවට පත්වන බව ඔහු කීවා. අතේ හැඩය අනුව කවදහරි දේශපාලනයට එන බව කීවත් තාමනම් අදහසක් නැහැ. මට ආයුෂ අවුරුදු 96 ක් තියන බව කීවා.ඒක වෙන්න පුළුවන් මගේ පවුලේ අයට දීර්ඝායුෂ තිබුණා.

අපි හැම වසරකම හඳහන් බලලා වසරේ වැඩසටහන් සැළසුම් කරනවා. මම 2000 වසරේ නාට්‍යයක් කළා. කුසුම්ගේ උපන් දිනය දා පෙන්නුවේ. පාදඩ අසපුව නාට්‍යය දර්ශන වාර 500 ලෝකය පුරා දිව්වා. ජ්‍යෙතිෂය තුළ තියන සුබ අසුබ කරුණු සළකා බැලිය යුතුයි. වැඩිපුර එල්බ නොගෙන සමබරව පවත්වා ගැනීම වැදගත්.

ඇතැම් සත්තු පවා අපිට අනාවැකි කියනවා. කපුටු සාස්තරය එකක්. අපේ අත්තලා මුත්තලගේ කාලෙ ඉඳලම කපුටන් පොල්කිච්චන් කෑගැසීම අසුබ ලෙස සැලකෙනවා. උලමා කෑගැසීම තලමල පිපීම ත් ඒ වගේමයි.

අපල කාලෙට පාෂාණ වලින් ඇල්ලූ ගල් සහිත මුදු දානවා. කුසුම් වැඩිපුර යන්න කැමැති කතරගම . අවුරුද්දට වරක් කතරගම යනවා. සිංහල අලුත් අවුරුද්දට චාරිත්‍ර වාරිත්‍ර කරන්නෙ සුබ හෝරාවන් අල්ලලා තමයි.

සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි‍‍යේ සන්නාම තානාපති ලෙස කටයුතු කරනවා. අලුත් ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමටයි බලාපොරොත්තුව. ලබන වසරේ විදේශ සංචාර ගණනක් තියනවා.

Comments