අපි තාමත් ළිඳෙහි ඉන්න මැඬි­යන් වගෙයි | Page 3 | සිළුමිණ

අපි තාමත් ළිඳෙහි ඉන්න මැඬි­යන් වගෙයි

මහාචාර්යවරයකු, ගත් කතුවරයකු, කලා නිර්මාණවේදියකු, වන මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය ‘මහසුපින‘ මේ මස පස්වැනි දින කැලණිය විශ්ව විද්‍යාලයේදී වේදිකා ගතවීමට නියමිතය.

මාධ්‍ය ක්ෂේත්‍රය තුළ උඩුගම් බලා පීනමින් විශිෂ්ට කෘති ගණනාවක් රචනා කරමින්ද, කලා නිර්මාණ කිහිපයක්ම මෙරටට දායද කළ ඔහු කලක් ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස මුල් පුටුවද හෙබවීය. මෙසේ භූමිකා රැසකින් අප හමුවට එන ඔහු හා කළ මේ කතා බහ වෙන්වන්නේ ‘මහ සුපින‘ ඔහුගේ නවතම කලා නිර්මාණය පිළිබඳවයි.

‘මහ සුපින‘කියන්නෙ මොනවගේ නිර්මාණයක්ද?

මෙය වේදිකා නාට්‍යයක්. ඒ වගේම සංස්කෘතිමය ගනුදෙනුවක් මෙන්ම විශ්ව විද්‍යාලයක් හා බාහිර කලා කරුවන් අතර ඒකාබද්ධව සිදුවන අලුත්ම අද්දැකීමක් කියන්නට පුළුවන්.ජාතක කතා පොතේ එන පුරාවෘත්තයට අනුව කොසොල් රජතුමා දුටු සිහින දහසයක් පිළිබඳ බුදුන් වහන්සේ කළ අනාගත විවරණය පදනම් කරගෙන නිර්මාණය වුණු තවත් නාට්‍යයක් තමයි ‘මහ සුපින‘.

කවදා කොහේදීද මේ කටයුත්ත සිදුවන්නේ?

මේ මස 5 වැනි අඟහරුවාදා සවස 5.30 ට කැලණිය විශ්ව විද්‍යාලයේ ධර්මාලෝක ශාලාවේදී තමයි මෙය වේදිකා ගතවෙන්නෙ.

ඇයි මෙවැනි නිර්මාණයක් කරන්නට හිතුවේ?

ඔබ දන්නවා අපි කලාවක කියලා ලොකු මුලාවක තමයි අද ඉන්නෙ. අද තියෙන ටෙලි නාට්‍ය පුද්ගලයාට යමක් හිතන්නට දෙන්නෙ නෑ. පුද්ගලයාව පෝෂණය කරන්නේ නෑ. ඒවාගෙන් කරන්නේ කාගේ හෝ දුර්වල අත්දැකීම් සමුදායක් ටෙලි නාට්‍යක් හරහා ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කිරීම. අද අපේ ප්‍රේක්ෂකාගාරය ඉතාම දිළිඳු මට්ටමකට වැටීමට හේතුව මෙයයි.

එහෙත් 70 දශකය තුළ රසවින්දනය ඉතා ඉහළ මට්ටමකයි තිබුණේ.එකී සාර්ථකත්වය නිසා තමයි සේකරලා, අමරදේවලා වැන්නවුන් අපේ රටට බිහිවුණේ. අද ඊට හාත්පසින්ම වෙනස්.මා දකින්නේ මේ අපේ සමාජ පරිහානියයි.

පාසල් මට්ටමේ සියලු දරුවන් තම මූලික කලා අත්දැකීම ගන්නේ නාට්‍ය කලාව තුළින්. පන්ති කාමරවල , සාහිත්‍ය උත්සව වල කලාව ඇසුරින් ඔවුන් බොහෝ දේවල් කරනවා. එනිසා සමාජය හා ජනයා කලාවට ආදරය කිරීමට නැඹුරු කිරීම මෙහි එක් අරමුණක්.

දෙවැනි කාරණය තමයි මා දකින විදිහට අපේ නූතන නාට්‍ය කලාව එක තැන නැවතිලා. එහෙමත් නැත්නම් දේශීය නාට්‍ය කලාව මුදලට සහ රැල්ලට හසුවෙලා. ලෝකයේ නව ප්‍රවණතාවන් එක්ක අපේ වේදිකාව , රංග භූමිය ගමන් කරන්නේ නෑ. තාක්ෂණය හා දියුණු මතවාද සමඟ ගනුදෙනු කරන්නේ නෑ. හුදෙක් ආර්ථිකය හා දේශපාලනය තමයි අපේ නාට්‍ය හරහා මා දකින්නේ.

තාරුණ්‍ය දක්ෂයි. ඔවුන්ගේ ඒ අත්දැකීම් පෝෂණය කිරීමට මැදිහත් වීම මෙහි තවත් අරමුණක්, අද වෙළෙඳ පොළ කලා මාධ්‍ය අත්හැර දැමූවිටයි එය කලා මාධ්‍යක් වෙන්නෙ. ඉතිං මම ඒ මාධ්‍යට කැමැතියි. ඒ වගේම අද මේ කලා ක්ෂේත්‍රයේ අපි වගේ අයට අමාරුවෙන් හෝ රැඳී සිටින්නට තිබෙන එකම කලා මාධ්‍යද වේදිකාවයි.

විශේෂයෙන් කියන්නට ඕන මට මෙයින් වුවමනා වුණේ නාට්‍ය කරුවෙක් වීමටවත්, සම්මාන ලාභියෙක් වීමවත් නොවෙයි.

‘මහ සුපින‘ හරහා ඔබ සමාජ ගත කිරීමට උත්සාහ කරන්නේ කුමක්ද?

ඊට පෙරාතුව යමක් කියන්නට ඕනෑ.පුරාතන සාහිත්‍යකරණ සමඟ සිදුකරන ගනුදෙනු මත නූතන නාට්‍ය කලාව සොයාගත යුතුයි කියන අදහස තුළයි මා ඉන්නෙ.

ඉතින් අද සමාජය දෙස ආපසු හැරීබැලීම සඳහාත්, අපි අප දෙසම නැවත හැරී බැලීම සඳහාත් මේ හොඳම කාලයයි.අපි කවුද? මොනවද කරන්නෙ? අපි යන්නෙ කොහාටද? සමාජයේ මිනිසුන් ගනුදෙනු කරන්නේ කොහොමද? මේ වගේ අධ්‍යාත්මික හා භෞතික ප්‍රශ්න අද අප ඉදිරියේ තියෙනවා. මිනිසාට මිනිසා අහිමි වෙමින් යනවා. මෙකී ගැඹුරු සමාජ කතිකාවත සියුම්ව විවරණය කිරීම තමයි ‘මහ සුපින‘ තුළින් කතා කිරීමට මා උත්සාහ කරන්නේ.

ඒ වගේම ලෝකය හා සසඳන කල අපි තාමත් ‘ළිඳෙහි ඉන්නා මැඬියන්‘ වගෙයි. නූතනත්වය හා පශ්චාත් නූතනත්වය දකින්නේ නෑ. සියලු දෙනා ජීවත් වන්නෙ සිහින ලෝක වල. තාරුණ්‍යද එහෙමයි. මෙකී සියලු කාරණා එක්ක මානව සමාජයේ තිබෙන සෑම පැතිකඩක්ම කැටි කොට සමාජයට හරවත් පණිවුඩයක් ලබා දීම තවත් අරමුණක්.

මේ සඳහා රංගනයෙන් දායක වන ශිල්පීන් කවුද?

බුද්ධදාස විතානාරච්චි, අකිල ධනුද්ධර, සාරංග දිසාසේකර, මාධනී මල්වත්ත, සුලෝචනා වීරසිංහ, ජනක රණසිංහ, ප්‍රියංකර රත්නායක, වැනි ජනප්‍රිය රංගන ශිල්පීන්, හා ශිල්පිනියන් රැසක් සහ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයින් 25 දෙනකු පමණ රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.

ඒ වගේම මෙහි රංගන වින්‍යාසය රවි බන්ධු විද්‍යාපතිගේ. තරුපති මුණසිංහ සංගීතය සපයනවා.

මීට පෙර ඔබ අතින් නිර්මාණය වුණු ‘මහ සමයම‘ නාට්‍යයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. නෙළුම් පොකුණ රඟහලේ දින 10ක් පුරාවට පැවැති මේ නාට්‍ය නැරඹීම සඳහාම විදේශිකයන් ටිකට් අරගෙන ආවා. මම හිතන්නේ එයත් මට ලොකු අත්දැකීමක් වුණා.

ඔබ අතින් ලියැවුණු ග්‍රන්ථ හා කලා නිර්මාණයන් ගැන කෙටියෙන් සඳහන් කළොත්?

මුලින්ම කළේ කෙටි චිත්‍රපට.සිත්තර ගුරුන්නාන්සේ, රම්‍ය නගරය, තුන්බිය, සූසැට මායම්වැනි ටෙලි නාට්‍ය සමඟ මහ සමයම වැනි වේදිකා නාට්‍යත්, ග්‍රන්ථ 20 කට අධික ප්‍රමාණයක් රචනා කරලා තිබෙනවා.

වර්තමාන බිහිවන වේදිකා නාට්‍ය ගැන ඔබේ අදහස කුමක්ද?

ඇත්තටම තාරුණය නාට්‍ය කලාවත් එක්ක තමයි බැඳිලා තියෙන්නේ. ඒ වගේම තාරුණයයේ තියෙන ඒ කැකෑරීම පුපුරවා හරින්නේත් වේදිකාවයි. මේ නිසා යොවුන් වේදිකාව බලවත්. හැබැයි මතවාදීව ගැටළු තියෙනවා. අද බොහෝ දුරට කරන්නේ අනුකරණය. හාස්‍ය හා දේශපාලනය ගැබ්වුණු නාට්‍යක් එළිදැක්වූ පමනින් ගොඩක් දෙනෙක් බලනවා. නාට්‍ය කියන්නේ එයයැයි බහුතරයක් හිතනවා.

ඒ වගේම තමයි දැන් තියෙන්නේ අමුතුම රැල්ලක්, ඒකට යොදලා තියෙන නමින් තමයි නාට්‍ය දුවන්නෙ. නමුත් නැරඹූ පසුව ගතයුතු හරයක් නෑ. එත් එදා හිටපු සුගතපාල සිල්වා, දයානන්ද ගුණවර්ධන වැන්නවුන් තුළ නිර්මාණකරණය ගැන හොඳ දැනුමක් තිබුණා. සියල්ල කළේ සාකච්ඡා කරලා. අද එහෙම නෑ.

ඒ නිසා මම කියන්නේ අපි පුංචි රටක්, ලෝකයේ උතුම් ම රට ලංකාව කියමින් මුසා කිය කියා ඉන්නෙ නැතිව අපි මේ ලෝකයත් එක්ක ගනුදෙනු කරලා. අලුත් මාන,අලුත් විදි පිළිබඳ සමාජයට යම් අත්දැකීමක් මුදා හරින්නට ඕන. එකි තත්වය අද වේදිකාව තුළින් මා දකින්නේ නෑ. 

Comments