
ඉන්දීය තරුණියෝ කවදත් රූ සපුවෙන් අන් තරුණියෝ පරදවති. ලෝක රූ රැජන හා විශ්ව රූ රැජන තරග ගණනාවක් ඉන්දීය රූ රැජනන් විසින් දිනා ගනු ලැබිණ. එහෙත් මෑත වසරවලදී ඉන්දීය රූ රැජනන් අභිබවා වෙනත් රටවල සුරූපිනියන් කිරුළු පැලැඳි අවස්ථා බොහෝය. එහෙත් මෙවර වසර 17කට පසු ලෝක රූ රැජන කිරුළ යළි දිනා ගැනීමට ඉන්දීය රූමතියක් සමත් වූවාය. ඇය වෛද්‍ය සිසුවියක වන මනුෂි චිල්ලාර් ය. මනුෂි මේ කිරුළ දිනා ගත් සය වැනි ඉන්දීය රූමතිය වෙයි. මින් පෙර 2000 වසරේදී මේ කිරුළ දිනා ගත්තේ ජනප්‍රිය ඉන්දීය නිළි ප්‍රියංකා චොප්රා ය. ඉන්දීය මෝස්තර නිරූපිකාවක ද වන මනුෂි ලෝක රූ රැජන තරගයට සුදුසුකම් ලැබුවේ මේ වසරේ ‘ෆෙමිනා මිස් ඉන්දියා ’ කිරුළ දිනා ගනිමිනි.
චීනයේ සන්යා නගරයේ පැවැති ලෝක රූ රැජන තරගය සඳහා මෙවර ලෝකයේ රටවල් 108කින් රූ රැජනියෝ 108 දෙනෙක් සහභාගි වී සිටියහ. එහිදී මෙක්සිකෝ රූ රැජන දෙවැනි තැනත් එංගලන්ත රූ රැජන තෙවැනි තැනත් දිනා ගත්හ.
ලෝක රූ රැජන තරගයේ අවසන් පස් දෙනා අතරට සුදුසුකම් ලැබූ මනුෂිගෙන් ප්‍රශ්න ඇසීමේ වටයේදී විමසනු ලැබුවේ වැඩිම වැටුපක් ලැබිය යුතු රැකියාව කුමක්ද හා එලෙස ඇය සිතන්නේ ඇයිද යනුවෙනි.
“මේ ලෝකයේ වැඩියෙන්ම ගෞරව ලැබිය යුත්තේ මවයි. එහි මූල්‍යමය අගයක් ඇතැයි මා සිතන්නේ නෑ. එතැන ඇත්තේ ඇය කෙනකුට දක්වන ආදරය සහ ගෞරවය යි. මගේ ජීවිතයට වැඩිම ප්රබෝධයක් ගෙන ආවේ මගේ මවයි. එනිසා මා හිතන්නේ වැඩිම වැටුපක් ලැබිය යුත්තේ මව බවයි” යන්න ඇගේ පිළිතුර විය.
විසි හැවිරිදි මනුෂි ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ උපත ලැබුවාය. නව දිල්ලියේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමෙන් පසු ඇය භගාට් පූල් සිං රජයේ කාන්තා වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නීය.
හෘද රෝග ශල්‍ය වෛද්‍යවරියක වීමට අපේක්ෂා කරන ඇය අනාගතයේදී රටේ ගම්බද ප්‍රදේශයන්හි ලාබ නොලබන රෝහල් ඇති කිරීමට බලාපොරොත්තු වන්නීය.
මනුෂිගේ පියා විද්‍යාඥයෙකි. මව මහාචාර්යවරියකි. රූපයෙන් පමණක් නොව මනුෂි තවත් බොහෝ දක්ෂතා අතින් ඉදිරියෙන් සිටින්නීය. නාට්‍ය හා නර්තනය හදාරා ඇති ඇය ඉන්දියාවේ දක්ෂ සම්භාව්‍ය නර්තන ශිල්පිනියකි.
කාව්‍ය නිර්මාණයට ද දස්කම් පානා මනුෂි ඉඩ ලද සැමවිටම චිත්‍ර ඇඳීමට ප්‍රිය කරයි. එපමණක් නොව ඇය හොඳ ක්‍රීඩිකාවකි.
ඉන්දියාව ලෝක රූ රැජන කිරුළ ප්‍රථම වතාවට දිනා ගත්තේ 1966 වසරේදීය. ඇය රීටා ෆරියා ය. එපමණක් නොව ලොව ප්‍රථම වතාවට ආසියානු කාන්තාවක රූ රැජන කිරුළක් දිනා ගත් අවස්ථාවද එය විය.
ෆරියා ද එවකට වෛද්‍ය සිසුවියකි. මනුෂි ද කුඩා කල සිටම සිය ජීවිතයට ෆරියා ගේ ආභාසය ලබා ගත්තාය. ෆරියා මෙන්ම මනුෂි ද සිය වෛද්‍ය අධ්‍යාපනයෙන් වසරක පමණ කාලයක් තරගය දිනා ගැනීම සඳහා වැය කළාය. කිරුළ දිනා ගත් සැණින් ඇය ආපසු හැරුණේ සිය වෛද්‍ය අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීම සඳහාය.
මින් පෙර ලෝක රූ රැජන කිරුළ දිනූ සුස්මිතා සෙන්, ඓශ්චර්යා රායි සහ ප්‍රියංකා චොප්රා බොලිවුඩ් සිනමාවට පා තැබුවේ කිරුළ හිස දරාගෙනය. ෆරියා ට ද කිරුළ දිනාගත් විගසින් සිනමා ලෝකයේ දොර හැරිණ. නමුත් ඇයද සැලෝලයිඩ් ලෝකය පිළිකෙව් කළාය. මනුෂි ද ෆරියා අනුගමනය කරන්නීය.
“මට මිස් ඉන්දියා කිරුළ මෙන්ම ලෝක රූ රැජන කිරුළ දිනා ගැනීම සඳහා වූයේ සිහිනයක්.
නිකම්ම බොලිවුඩ් තරුවක් වීමට පමණක් නොවෙයි මේ කිරුළ අප කැමැති ඕනෑම දෙයක නිරත වීමට ලද අඩිතාලමක්. මීළඟට මගේ අපේක්ෂාව වෛද්‍ය සිසුවියක ලෙස මීළඟ ඉලක්කය එය සපුරා ගැනීමයි.
මං ඒ වෙනුවෙන් කැප වෙනවා. එපමණක් නොවෙයි රටේ ජනතාව තම පෞද්ගලික සෞඛ්‍ය ගැන අවධානය යොමු කිරීම අවශ්‍යයි. විශේෂයෙන්ම කාන්තාවන්ගේ ඔසප්වීමට සම්බන්ධ සෞඛ්‍ය රැක ගැනීම සඳහා ඔවුන් දැනුම්වත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා” යනුවෙන් මනුෂි පවසයි.