
රුසියානු මහා ලේඛක ලියෝ නිකලයේවිචි තොල්ස්තෝයි, තමාගේ සෙල්ලක්කාර තරුණ වියේදීත්, අතට අහු වුණු හැම පොතක්ම කියවීය. කියවූවා පමණක් නොව, ඒ පොත් ගැන අවශ්‍ය සටහන් ද තබාගත්තේ ය. ඒ, පසුවට, ඒ පොත් වඩාත් හොඳින් අධ්‍යයනය කරන අදහසිනි.
හෙන්රි ට්‍රෝෂාර්ටි හෙළිදරවු කරන පරිදි, ඒ පොත් අතර නිකොලායි ගොගොල්ගේ හිම කබාය ද විය. (මෙම අපූරු කෙටිකතාව ඉංගිරිසියට නැඟෙන්නේ ‘පිට කබාය’ යන අරුතැති Overcoat යන හිසිනි) හිම කබාය ගැන තොල්ස්තෝයි යෙදූ සටහන මෙසේ විය.
“විශාල බලපෑමක් ඇති කළා”
ඔහු ගොගොල්ගේ මළ මිනිස්සු (ඉංගිරිසි පරිවර්තනය - Dead Souls) ගැන තැබුවේ මෙවන් සටහනකි.
“අතිමහත් බලපෑමක්”
ගොගොල් උපත ලැබුවේ 1809 වසරේදී ය. තොල්ස්තෝයි උපත ලබන්නේ, ඊට අවුරුදු දහ නවයකට පසුව, 1828 වසරේදී ය. 1842 දී ගොගොල්ගේ හිම කබාය මුද්‍රණයෙන් නිකුත් වන විට, තොල්ස්තෝයි වයස අවුරුදු දාහතරක ගැටවරයෙකි.
“අපි හැමෝම ගොගොල්ගේ හිම කබායෙන් එළියට ආවෙමු” යි කීවේ. තොල්ස්තෝයිට වඩා වයසින් වැඩිමහලු පියදොර් දස්තයෙව්ස්කි ය. රුසියන් ජනතාවගේ දුක්බර ජීවිතය ගැන විශාල නවකතා ලියූ දස්තයෙව්ස්කි. තොල්ස්තොයිට වඩා අවුරුදු හතකින් වැඩිමල් විය. ඔහු උපත ලබන්නේ 1821 වසරේදී ය.
දස්තයෙව්ස්කි පමණක් නොව, පසුකාලීනව ලියෝ තොල්ස්තෝයි පවා ගොගොල්ගේ හිමකබායෙන් එළියට එන්ට ඇතැයි සිතවන සාක්ෂි බොහෝ ය. පසුකාලීන සෙසු සම්භාව්‍ය රුසියානු ලේඛකයින් ගැන කිව යුත්තේ ද දස්තයෙව්ස්කියේ ඉහත සඳහන් කතාවම ය.
අද දින අප ප්‍රස්තුතයට ගන්නේ ගොගොල්ගේ එකී සුප්‍රකට හිම කබායයි. පසුකාලීන රුසියානු ලේඛක පරපුරටම බලපෑ මෙම විශිෂ්ට දිග කෙටිකතාවේ අපූර්වය කිමෙක්ද?
ඒ හිම කබායේ අයිතිකාරයා අකාකි අකාකියේවිචි බෂ්මාචිකින් නමැති ඉතා නෝංජල් ලිපිකාරයෙකි. ලිපිකාරයෙකැයි කියන්නේ හුදෙක් එක් දෙපාර්තමේන්තුවක ලියුම් පිටපත් කරන තැනැත්තකු මිස, තමාගේ මොළය වෙහෙසා ලියුම් ලියන කියන මිනිහකු නොවන බව ය. ගොගොල් මේ අපූරු මිනිහා පාඨකයාට හඳුන්වා දෙන්නේ මෙසේ ය.
“අකාකි දෙපාර්තමේන්තුවට බැඳුණේ කවදාද, ඔහු ඊට පත් කරන ලද්දේ කවුරුන් විසින් ද යන්න කාටවත් මතක නැත. එම දෙපාර්තමේන්තුවේ ඔහු වැඩ කළ කාලය තුළ බොහෝ අධ්‍යක්ෂවරු, උසස් නිලධාරිවරු වැඩ කළහ; අනතුරුව මාරු වූහ. එහෙත් ඔහු එකම තැන, එකම තත්වයේ, එකම රක්ෂාවෙහි, එකම විදියේ වැඩ එනම් ලියකියවිලි පිටපත් කරමින් සිටියේ ය. ඇත්ත වශයෙන් ම, ලිපි කාර නිල ඇඳුමත්, පෑදුණු තට්ටයත් සමඟ, ඔහු තම රක්ෂාවටම මෙලොවට උපන් අයෙකු බව කල්යාමේදී මිනිසුන්ට අවබෝධ විය. දෙපාර්තමේන්තුවේදී කිසිවෙකුගෙන් ඔහුට කිසි සැලකිල්ලක් ලැබුණේ නැත. ඔහු යන එන විට මුරකරුවෝ තම අසුන්වලින් නො නැඟිට්ටා පමණක් නොව, හරියට කාමරය හරහා මැස්සෙක් ඉගිළී ගියාක් මෙන්, කරුණා සහගත බැල්මක් පවා ඔහු දෙස නොහෙලුවෝ ය. උසස් නිලධාරින් ඔහුට උදාසීන දුෂ්ට අන්දමකින් සැලකුවේ යයි කීම වඩා හොඳ ය. කිසියම් උප ප්‍රධාන ලිපිකරුවෙක් ඔහු වෙතට ලියවිල්ලක් තල්ලු කරන්නේ, ‘කරුණාකර මෙය පිටපත් කරන්න” හෝ “මේක හරි හිත් ගන්න වැඩක්, විනෝදය ගෙන දෙන වැඩක්” හෝ එසේත් නැත්නම්, ආණ්ඩුවේ විධිමත් ආයතනවල පවතින සිරිත අනුව එවැනි සතුට උපදවනසුලු වචනයක් හෝ නොකියා ය. ඔහු තම නෙත් කොළයෙන් මෑත් නොකොටම, කවුරුන් එය තම මේසය මත තැබුවාදැයි නොබලා එය දීමට අයිතියක් ඇද්ද නැද්දැයි නො සිතාම ලියවිල්ල බාරගනියි. අනතුරුව එය තමා ළඟින් තබාගෙන එකෙණෙහිම පිටපත් කරන්නට පටන් ගනියි. තරුණ ලිපිකරුවෝ තමන්ට පුරුදු පරිදි ඔහුට විහිළු තහළු කරමින් හිනාවෙති. විශේෂයෙන් ඔහු ගැනම සාදන ලද කතා ඔවුහු ඔහුට කියති. අවුරුදු හැත්තෑවක් පමණ වයසැති ඔහු පදිංචි ගේ හිමි කාන්තාව ගැන සඳහන් කරමින්, විහිළු කරන ඔවුහු ඈ ඔහුට ගසන බව කියති. එසේ නැත්නම් ඔහු ඇය විවාහ කරගන්නේ කවදා දැයි අසති. තව ද, ඔවුහු කඩදාසි ගුලි කොට ඒවා හිම බෝලයයි කියමින් ඔහුගේ ඔළුවට විසි කරන්නෝ ය. කන්තෝරුවේ මේ වදකාරයන් සමඟ සිටීම තමන්ට කරදරයක් වුණත් අකාකි කිසි විටෙක වචනයක් නො කියයි.
අනාගත රුසියන් ගද්‍ය සාහිත්‍යයේ ඉරණම වෙනස් කළ හැකි කඩඉම් ප්‍රබන්ධයක් උදෙසා, ගොගොල් තෝරාගන්නේ, අකාකි වැනි වැදගැම්මකට නැති, අප්‍රසිද්ධ අප්‍රකට නෝංජල් චරිතයකි.
මේ නෝංජල් මිනිහා කාර්යාලයේ හැම දෙනාගේ ම උසුළු විසුළුවලටත් අකරුණාවටත් ලක් වෙයි. එහෙත් ඔහු තම කාරියට ඇප වී, කැප වී ඉතා ළැදිව ලියවිලි පිටපත් කරයි. ගොගොල් පවසන ආකාරයට “පිටපත් කිරීම ඇරුණු කොට, ඔහුට මෙලොව අන් කිසිවක් නැතුවාක්” මෙනි.
එහෙත්, එකී විශේෂ හේතුවෙන් ම නව නිර්මාණයක් බිහි නොවෙයි; බිහි කළ හැකිද නොවෙයි.
තවදුරටත් අණ්ඩ දැමිය නොහැකි, සායම් ගිය, තැන තැන හිල් වුණු සීත කාලයේදී සීතල විනිවිද එන, ඔහු සතු එකම එක පරණ පිට කබාය හෙවත් හිම කබාය මෙතැනට අදාළ වන්නේ එකී සන්ධිස්ථානයේදී ය. එයට ම සම්බන්ධව තවත් කාරණයක් ද එතැනට අදාළ වෙයි. ඒ නම්, තව සතුරෙකි.
“මේ සතුරා අනෙකක් නොව අපේ සීත ඍතුව” වෙතැයි ගොගොල් කියයි.
පරණ හිමකබායට තවත් නම් අණ්ඩ දමන්ට බැරි බව කබා මහන්නා වන බේබදු එකැස් සන්නාලියා - පෙත්‍රෝවිචි සපථ කොට කියයි. අන්තිමේදී අලුත් කබායක් මහන්නට තීරණය වෙයි. අලුත් කබායක්. ඒ නම් මේ අසරණ ලියන්නාට සැබෑම අභියෝගයකි. හෙට්ටු කිරීමෙන් අනතුරුව රූබල් අසූවකට අලුත් කබාය මහන්ට පෙත්‍රෝවිචි එකඟ වෙයි. ඒ මුදලින් බාගයක් අකාකි වෙත ඇත. අනිත් බාගය - රූබල් හතළිහ - සොයාගන්නේ කොහෙන්ද?
දැන් ඉතින්, කතුවරයාට සවන් දුන මැනවි.
“අකාකි සිතුවේය. සිතුවේ ය. යටත් පිරිසෙයින් අවුරුද්දක්වත් තම සාමාන්‍ය වියහියදම් අඩු කිරීමට අවසානයේදී ඔහු තීරණය කෙළේ ය. දැන් ඔහු හවස් කාලයේ තේ කෝප්පයක් නො බොයි. රෑට ඉටිපන්දම් නො දල්වයි. රෑට කිසියම් වැඩක් කිරීමට ඇතොත් ඔහු එය කරන්නේ ගේ හිමි කාන්තාවගේ කාමරයට ගොස් ඇගේ ඉටිපන්දම් එළියෙනි. පාරේ ඇවිදින විට, සපත්තු අඩි ඉක්මනින් නො ගෙවෙනු පිණිස, ගල් උඩ බොහොම පරිස්සමින්, ඇඟිලි තුඩු අගින් යන්නාක් මෙන් ඔහු ඇවිදියි. ඔහු රෙදි අපුල්ලන්නට දෙන්නේ කලාතුරකිනි. ඇඳුම් ඉක්මනින් කිළුටු නො වෙනු පිණිස, ඔහු ගෙදර පැමිණි විගස තුනී කපු රෙද්දෙන් කළ දිග උඩු කබායක් අඳියි. බෙහෙවින් පරණ වූ එහි ද කාලය ඉක්ම ගොස් ය. ඇත්තෙන් ම මෙවැනි සැකසුරුවම්කමකට පුරුදු වීම පළමුව අකාකිට බෙහෙවින් අමාරු විය. එහෙත් ටික කලක් ඇවෑමෙන් ඔහු ඊට පුරුදු විය. සියලු දේම කරදරයක් නොමැතිව කෙරීගෙන ගියේ ය. සවස බඩගින්නේ ඇවිදීම පවා ඔහු ගණනකට ගත්තේ නැත. අනාගත හිම කබාය පිළිබඳ උත්කෘෂ්ට අදහසින් ඔහුගේ සිතුම් පරිපූර්ණ වී ඇති හෙයින් ආධ්‍යාත්මිකව ඔහු පෝෂණය ලබා සිටී. එතැන් පටන් විවාහ වූවාක් වැනි, තමා පසෙකින් කිසිවකු සිටින්නාක් වැනි, තමා තවදුරටත් හුදකලාව නො සිටින්නාක් වැනි, තම ජීවිතයේ දුක සැප එක හා සමානව බෙදාගැනීමට එකඟ වූ සහකාරියක් සිටින්නාක් වැනි පරිසමාප්ත භාවයක් ඔහුගේ මුළු පැවැත්මේ ඇතිවාක් මෙන් විය. ඔහුගේ මේ ප්‍රියාම්බිකාව, සුන්දර සහකාරිය අනිකක් නොව ගන පෝරු දැමූ හිම කබායයි.
අලුත් හිම කබාය මහන්නට රෙදි තෝරාගන්නේ අකාකි සහ පෙත්‍රෝවිචි දෙදෙනාම ගොසිනි. ඔවුහු කපුරෙදි තෝරා ගත්හ.
මතු සම්බන්ධයි.