
‘සතර සවිය සහ නෙළුම’ යන මාතෘකාව යටතේ ම’ විසින් රචනා කරන අවසන් ලිපියයි මේ. මාගේ කලා ජීවිතය ඇසුරෙන් අද්දැකිම් මිශ්‍රිතව පැවසු දෙයින් පාඨක ඔබට කිසියම් අනුභූතියක් ලැබුණ නම් ඒ ගැන මම සතුටු වෙමි.
මාගේ කලා ජීවිතය තුළදී මට හමු වු සොඳුරු කලා ශිල්පීන් හා ශිල්පිනියන් ඇත්තේ අතළොස්සක් පමණි. මා ගරු කරන්නේත්, අගය කරන්නේත්, මා මෙන් හෝ මට වඩා උසස් අය පමණි.
එහෙත් අසරණ වුවන්ගේ දුක පිළිබඳ දයානුකම්පාවෙන් බලා ඔවුනට පිහිට විමට හෝ මොනයම් අනුග්‍රහයකින් සංග්‍රහ කිරීමට මා පෙලඹෙන්නේ නිතැතින්මය. මා කිනම් ගනයට අයත් කලාකරුවෙක් දැයි දැන ගැනීම ‘සුවඳ පද්ම’ උපහාර සම්මාන උළෙල ප්‍රමාණවත්ය.
අද දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වනු ලබන ‘සුදත් රෝහණ ඇසිදිසි ප්‍රතිභා ප්‍රභා’ සංවිධානය කරන්නේ සත්ජන සහෟද සංසදය විසිනි. එහි සභාපතිවරයා මා වන අතර ලේකම් ලෙසින් ඉතා ක්‍රියාශීලි හා කර්යක්ෂම ලෙස සියල්ල ඉටු කරණු ලබන්නේ ටෙලිනාට්‍ය හා ටෙලි වාර්තා වැඩ සටහන් අධ්‍යක්ෂවරයකු වන දීප්ති විජේතුංග මහතා ය.
සුදත් රෝහණයන් යටතේ මම විවිධ චරිත කිහිපයක් ඔහුගේ ටෙලි නාට්‍යවල රඟපා ඇත්තෙමි.ඔහු මට හමුවන්නේ කොලු ගැටයකු වශයෙනි. රඟපෑමට අවස්ථාවක් ලබා ගැනීමට මා සොයා ආ ඔහුට මගෙන් ඒ ඉල්ලීම ඉටු නොවීය.
එහෙත් හමු වු දෙවැනි දිනයේ මම ඔහුට සාරධර්ම ගැන අවබෝධයක් ලබා දුන‍්නෙමි. ඔහු ඒවා පිළිගෙන පිළිපදිමින් ප්‍රතිඵල ලබමින් ජීවත් වන්නේ ය. ඔහු ප්‍රතිභාපුර්ණ නිර්මාණ කරුවෙකි. ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ සෙවණේ චිත්‍රපට හා ටෙලි නාට්‍ය කලාව හැදැරිමට ඔහුට අවකාශ ලැබුණි. එය ඔහු ලත් භාග්‍යයකි.දැන් සුදත් රෝහණයන් සම්මානනීය අධ්‍යක්ෂ වරයෙකි. සුදත් මා අමතන්නේ “අයියා” යනුවෙනි. මා විසින් ඔහුව අමතන්නේ “මල්ලී” යනුවෙනි.
එක් කුස නූපදුනාට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සොයුරෙකි. කල්‍යාණ මිත්‍රයෙකි. මෙම ලිපියට සුදත් රෝහණයන් ගැන සටහන් තබන්නේ ඔහු සතර සවියෙන් සමන්විත නෙළුමක් නැමැති කලා ශිල්පියකු නිසාය.ඔහුට දැනුමක් ඇත. උසස් රසිකත්වයක් තිබේ. කථිකත්වයක් ද ඇත. විනය ගරුක අයෙකි.
සුදත් රෝහණ නැමැති පුද්ගලයා සමාජය නැමැති පොකුණේ විකසිත වී සුවඳ හමන නෙළුමකි. මෙවැනි සහතිකයක් මා ඔහුට පිරිනමන්නේ කිනම් පදනමක් මතද ? ඔහු මානව දයාවේ සංකේතයකි.මේ දේ යහපත්ය, මේ දේ අයහපත්ය යන අවබෝධය ඔහුට ඇත. තමාගේත් අනුන්ගේත් යහපත,සත්‍යභාවය, යුක්ති යුක්ත බව හොඳින් හදුනන්නෙකි.
සෑම කලා ශිල්පියකු හා ශිල්පිනියක්ම සතර සවියෙන් සමන්විත විය යුතුය. නෙළුම් මලෙන් සංකේතවත් වන්නේ නිකෙලෙස් බෞද්ධ දිවි පෙවෙතයි.මඩ ගොහොරුවේ ඉපිද,මඩ වතුරේදී හැදී,පිරිසුදු පිවිතුරු ලෙසින් විකසිත වී අපිරිසුදු පොකුණෙන් ඉහළට නැගි නෙළුම පවිත්‍රය,අලංකාරය, එය දකින තැනැත්තා තුළ අධ්‍යාත්මික පහන් බවක් ඇති කරයි. කලා කරුවාද එසේ විය යුතුය. නිර්මාණ කරුවකු තම හැකියාවන් මිනිසාගේ උන්නතිය සඳහා කැප කළ යුතුය. සියලුම පරිත්‍යාගයන්ට වඩා අති උත්තම වු මිනිසාට සේවය කිරීමට කලා කරුවා උනන්දු වීම සමාජයට යහපතකි. නෙළුම් මල බෞද්ධ කලාවේ සංකේතය යි.
සතර සවියෙන් යුත්ත වු විට ඔබ වැදගත් අයෙක් බවට පත්වෙයි. එවිට ඔබ ආකර්ෂණීය වෙයි. පිදුම් ලැබීමට සුදුස්සකු වන්නේ එවිටය. දැනුමෙන් එන බලයයි, චරිතයෙන් එන බලයයි, නම්‍යශිලී බවෙන් එන බලයයි එකතු වු විට සන්තාන ගත දියුණුව ඇතිවෙනු ඇත.
එය හඳුන්වන්නේ අභ්‍යන්තරික පාරිශුද්ධිය වශයෙනි. මේ සඳහා චෛතසික සංවර්ධනය හා බුද්ධිවර්ධනය අවශ්‍ය වේ. බුද්ධ දර්ශනය පදනම් වී ඇති ප්‍රධාන කරුණු දෙකක් තිබේ. එනම් ප්‍රඥාව හා කරුණාවයි. ප්‍රඥාව යනුවෙන් අදහස් කරන්නේ බුද්ධි සංවර්ධනය යි. ප්‍රඥාව ආරම්භවන්නේ කරුණාවෙනි.
ප්‍රඥාවට වඩා කරුණාව වැදගත් වන්නේ ඒ නිසාය. කරුණාව යනු ජනතා දයානුකම්පාවයි. බුද්ධිමතා තමාගේ න්‍යාය පත්‍රයට අනුව ස්වකීය දියුණුව ඇති කරගන්නා අතර ප්‍රඥාවන්තයා පොදුවේ සේවය කරයි.
ප්‍රඥාවන්තයාට ඇත්තේ පොදු න්‍යාය පත්‍රයකි. දුක් දනවන ප්‍රශ්න අවබෝධ කර ගැනීමට ප්‍රඥාව අවශ්‍යයි. ප්‍රඥාවන්තයාගේ හද සන්තානයේ ලැඟුම්ගෙන තිබෙන කරුණාව සෙස්සන්ගේ දුක නිවීම පිණිස යෙදීම පරාර්ථකාමී පුද්ගයාගේ ලක්ෂණය යි. පරාර්ථකාමී පුද්ගලයා නමැති නෙළුම සමාජය නමැති පොකුණේ විකසිත විය යුතුය.
කලාකරුවා ආනන්දයෙන් ප්‍රඥාව රසික ජනතාවට ලබාදීමෙන් ඔහුගේ බුද්ධි මණ්ඩලය පුළුල් වෙයි. අවිද්‍යාව කෙරෙන් විද්‍යාව කරා පුද්ගලයා හා සමාජය ගමන් කරවීම නිර්මාණශිලී කලාකරුවාගේ අරමුණ විය යුතුය.
විනයෙන් තොර විද්‍යාවක් නැත. සතර සවියේ එන නවගුණ වැල සංකේතවත් කරන්නේ විනයයි. විනය යනු ශික්ෂණයයි. සීලයයි. සීලය යනු අපගේ ආරක්ෂා වැටයි. දයාබර කලාශිල්පීන් හා ශිල්පිනියන් වෙත කෙරෙන ආයාචනය මෙයයි. ඔබ සතර සවියෙන් සවිමත් වී පිරිසුදු සුවඳ හමන නෙළුමක් බවට පත්වී සරසවි වරම් ලබන්න. සුවඳ පද්මයෙන් දසත විහිදෙන ගුණ සුවඳ දිව්‍ය ලෝකය කරා යනු ඇත.
ලිපිපෙළේ සමාප්තියයි මේ .
ජයවේවා !