තොටගමුවේ ශ්‍රී විජයබා පරිවේණාධීශ්වර, ත්‍රිපිටක වාගීශ්වරාචාර්යය, ෂඩ් භාෂා පරමේශ්වර, පූජ්‍යපාද තොටගමුවේ ශ්‍රී රාහුල වාචිස්සර ස්වාමීහු ස්වකීය “සැළලිහිණි සන්දේශ කාව්‍යය” යෙහි දී ඉරිමා උදයේ මෑ අවදි වන්නැ යයි සිය දූතයා වූ සැළලිහිණියාටැ උපදෙස් දෙති. ඒ ලොවැ භාවිතාවේ පරස්පරතායෙකි! ඒ; සියතුන් පහන්දොරැ මැ අවදි වෙනවා මතු නොව කූජනය කරයි. ශබ්ද නඟයි. බොහෝ කොටැ මිනිසුන් අවදි වෙන්නේ ඒ සියොත් හඬ අසා යැ. එසේ කොටැ තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමි වැනි උගත්, බුද්ධිමත්, කාව්‍යය කාර හිමිනමක පාන්දර අවදි වෙයන් යයි සිය දූතයා වූ සැළලිහිණියාටැ උපදෙස් දෙයි ද? එහෙත් සැළලිහිණි කාව්‍යයයේදී ඒ උපදේශය දී ඇත. උන් වහන්සේ එසේ කළෝ ඇයි? මේ අවදි කරවන්නේ සිය දූතයා වූ සැළලිහිණියාවම ද? නො එසේ නම් සැළලිහිණියා අවදි කරව නැ ව්‍යාජයෙන් අපව අවදි කරවනවා ද යන්න විමැසීම මේ ලිපියෙහි අභිමතාර්ථයයි.
සැළලිහිණි සංදේශයේ;
වෙස ඟන තුඟු තන යුග රොන්
කොකු මඟර
පිස එන මද පවන් වැද විල් ලිහිණි සර
ගොස අළුයවැ පසතුරු සවනතෙහි කර
ඇස නිදිගැට හැරැ නැඟ සිටු උදා හිර
ලෙසැ පැදි කවියෙකි.
එමැ පැදි කවියේ වචන ගොනුව හෙවත් අන්වය; “වෙස’ඟන තුඟුතන යුග කොකුමහර සිප, විල්ලිහිණි සරමැද, මඳ පවන් එන, අලුයම පස තුරු ගොස සවනෙතෙහි කැරැ, උදාගිර ඇස නිදිගැට හැර නැඟ සිටු” යන්නයි එහි තේරුම. “වෛශ්‍යාවනගේ ඍජු ස්තනයන් තවරා තුබූ කුංකුම, අංගරා ආදියෙහි රොන් ස්පර්ශ කරගෙන, විල් ලිහිණියන්ගේ හඬෙහි ද දැවැටී, මන්ද මාරුතය එන කල්හි, (කෝවිලෙන්) උදේ පාන්දර ඇසෙන පඤ්චතූර්ය නාදය අසා, ඇස නිදිගැට කඩා උදාගිරම නැඟී සිටිනු” යන්නයි. ඒ අර්ථය ආශ්‍රයෙන් රාහුල හිමියන් ගෙනැ නිනැ අදහසට සිත් යොමමු.
පෙර දිග පුරාණයේ සිටැ සමාජය පිළිගත් ප්‍රධාන කුල හතරෙකි. ඒ, බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍යය, ශුද්‍ර යනුයි. මේ කුලයන් නම් කිරීමේ පදනම කර්මාන්ත ශ්‍රේණියි. භූසුර නමිනුදු හඳුනාගත් බ්‍රාහ්මණයෝ මිනිසුන්, දෙවියන්, අතර මැදියෝ වූ අතර, අධ්‍යයනය - අධ්‍යාපන, යාග හෝම පැවැත්ම ඔහුගේ කාර්යය භාරය වූ, ඊළඟ සැලැකූ කුලය ක්ෂත්‍රීය යෝයි. ඔහු බාහු බල පරිචිතයෙන් ආර්ථිකය හා විනය මෙහෙය වන්නෝ වූ. ඊළඟ වැදගත් කුලය වෛශ්‍යයයෝ යැ. ඔහු ගොවිතැන් බත් කිරීම වෙළ හෙළදාම ජීවන වෘත්තිය කැරැගෙනැ ජීවත් වූවෝ ය. මේ තුන් කුලයටැ අනුතුරු ශුද්‍ර කාලීනයෝ සමාජයේ බැල මෙහෙවරාදියෙහි යෙදෙමින් කිසි වරප්‍රසාද උරුමයක් නැති පිරිසක් වූ මේ ප්‍රධාන කුල හතරෙන් බැහැරි ‘පඤ්චමයෝ’ යයි හැඳින්වුණ පිරිසක් ද වූ ඔහු වේන, නේසාද, රථකාර, පුක්කුස, චණ්ඩාල නම් වූ උක්ත කුල හතර බිහි වූ තැන් ලෙසට බමුණන් හඳුන්වා දී ඇති විධිය. ඒ ඒ කුලයනට අයත් කටයුතු සංකේතවැ ඉදිරිපත් කිරීමෙක් දෝ සිතමි. ඒ ඒ කුලිකයන් ඉපදී බ්‍රහ්මයාගේ අංග මෙසේ යැ;
බ්‍රාහ්මණ - මුඛය
ක්ෂත්‍රිය - බාහු
වෛශ්‍යය - ඌරු
ශුදා - විළුඹ, සමාජමය කිසි උරුමයෙක් නැති පඤ්චමයන් මහා බ්‍රහ්මගේ කොතැනින් ඉපැදිණි දැයි සඳහනෙක් නැති.
උක්ත මූලිකතම කුල හතරෙන් ප්‍රධානව සමාජගත කුලතුනෙකි. එයින් වෛශ්‍යය යනු වෙළඳය, වෛශ්‍යයයා යනු වෙළෙන්දාය. එහිමැ ස්ත්‍රී ලිංග පදය වෛශ්‍යාව යැ, මේ වෛශ්‍යාව යනැ පදයෙන් බිඳී තත් භව පදය වෙස’ඟනය හෙවත් වෙළෙන්දීය. ඈලා වෙළඳාම් කරති. සාමාන්‍යය පාරිභෝගික භාණ්ඩ ඈලා අභිමත නොවූ එහෙත් එවකැ රාජ්‍යය නිලයක් වශයෙන් පිළිගැනුන’නගර ශෝභිනි “තනතුර අනුගත පහස විකිණීමට ඈලා පෙළැඹුණාහ. පසුකාලීනව නෛතිකව ඊට තහඤ්චි පැනැවුණ නිසා ඈලා රෑට රෑට හොර හොරා ඒ වෙළෙඳාමෙහි නියැළුණාහ. පසුකාලීනව අනෙක් දෑ විකුණන්නිය වෙස’ඟන, වේසිය යන නමින් නිදහස් විණ. වෙස’ඟන යන නාම පදය ශරීරය හෙවත් පහස විකුණන්නියට මැ අනන්‍යය විය.
කොන්තගංතොටින් එතෙර පත් සැළලිහිණියා රෑ ලැගුම් ගන්න වන්නේ ඉසුරු කෝවිලේ යැ. ඒ පරිසරය ආශ්‍රයෙන් අබිචාරිකාවෝ සරති. ඒ නිකම්මැ නොවේ. තම පාරිභෝගිකයන් ආකර්ෂණය කැරැ ගැනීම පිණිස එ වකැ අබිසරු ලියක් ආලේප කැරැගත් කූංකුමාංගරාදිය ආලේප කැරැගෙනැ යැ. ඒ වඩාත් සල්ලාලයන් ප්‍රිය කරනැ තුඟූනන හෙවත් උස් වූ තන ප්‍රදේශයේ යැ. ඒ සැරැසීගත් ඈලා රාත්‍රිය මුළුල්ලේ අලෙවි විය. ගල්වාගත් සුවඳ මඩ ගිළිගිලා ය. ඒ ආශ්‍රය නිසා ඒ සුගන්ධයන් මුසු මඳ සුළඟ හඹා ගෙනැ එද්දී එයටැ ම විල් ලිහිණියගේ රාවය මුසුව එයි. විල් ලිහිණින් මේ එළිවෙනැ යාමයේ රාව නඟන්නේ ඇයි. ඒ කවි සමයානුශක පිළිගැනීමෙකි. ගෙවල් ආශ්‍රෙය් සරණ විල් ලිහිණියනටැ චන්ද්‍රයා රාත්‍රි කාලයේ රතිමතින් හැසිරීම තහනම් කැරැ ඇති. මේ රැය පහන් වී එනැ සීතල අරුණ යාමයේ ඒ විල් ලිහිණීහු රති මතෙන් පිබිදෙති. එහෙත් චන්ද්‍රයාගේ ආඥාව ඉක්මණ යන්නටැ. ඒ විල් ලිහිණියනටැ කෝ ආත්මශක්තියෙක්. ඒ නිසා ඔවුනට කළ හැකි වැ තිබූ එක මැ දෙය චන්ද්‍රයාට හැවීමයි. සාප කිරීමයි. ඔහු ඒ නො අඩුව කරති. වෙසඟන තුඟුතනැ තැවැරී තිබී සුළඟට මුසුවැ හළාගෙනැ එනැ කොකුමඟර සුවඳ මුසු මඳ සුළඟෙහි දැවැටී එන්නේ විල්ලිහිණින් අමනාපයෙන් නැඟූ දෝෂයේ හඬයි. දැන් රාගයේ සුවඳ මුසුවැ විල්ලිහිණින්ගේ දෝසය මුසු හඬ සැළලිහිණියාගේ කන් කකා යයි. ඒ විතරෙක් නම් මැදෑ. අළුයමැ තේමාව පිණිසැ කෝවිලේ පඤ්චතූර්යනාද කැරෙයි. ඒ ආතත, විතත, විතතාතත, ඝණ, සුසිර යන පඤ්චතූර්යයනාදය සිත ඇද බැඳ ගනී. එයින් මානසිකව අතරමන්ව පිබිදීමකටැ එළැඹීමට අකුල් හෙළයි.
පඤ්චතූර්යයන්ගෙන් නික්මෙන්නේ කවි ගීතරාවයයි. සංගීත රාවය පැතිරැ යන්නේ ස්වර හතෙකැ පරාශයෙක් ඔස්සේ ය. ඒ ස,රි,ග,ම,ප,ධ,නි යනුයි. ඒ මොනවාද?
විස්තර වශයෙන් උක්ත සංගීත ස්වර දැක්වීමේදී ඒ වනපොත් කැරැගැනීමටැ පහත සඳහන් ගාථාව ප්‍රයෝජනවත් වනු ඇති. ඒ
“නදන්ති උසභං ගාවෝ - තුරංගා ධේවතං තථා
ජජ්ජං මයුරං ගන්ධාරං - අජා කොඤ්ච ම මජ්ඣමං
පඤ්චමං පරසුට්ඨාදි - නිසාදම්පිචවාරණා” යි
(ගාවො උසභං, තථා කූරංඟා ධේවතං, මයුරා ජජ්ජං, අජා ගන්ධාරං, කොණ්ඩා මජ්ඣමං, පරපුට්ඨාදි පඤ්චමං වාරණා නිසාදම් පිච, නදන්ති - ගමයෝ ඍසභය ද, එසේ මැ අස්වයෝ ධෛතවය ද, මොනරු ෂඩ් ජය ද, එළුවෝ ගන්ධාරය ද, කොඤ්ඩයෝ මධ්‍යමය ද පරපුටු ආදීහු පඤ්ච මය ද, ඇත්තු නිසාදය ද නද කෙරෙන්) එවිටැ
ඍසභය - ගවයං ගේද
ධෛතවය - අස්වයාගේද
ෂඩ්ජය - මොනරාගේද
ගන්ධාරය - එළුවාගේද
මධ්‍යමය - කොස්වාලිහිණියාගේ ද
පඤ්චමය - කොව්ලා ගේද
නිසාදය - ඇතා ගේද නද අනුව සකස් කැරැ ගන්නා ලද්දේ ය යි ප්‍රසිද්ධය. මෙකී සප්තස්වර සංඛ්‍යාත තිරිසන් හඬයන් පඤ්ච තූර්යයන්ගෙන් නික්මෙනුයේ ඒවායේ ඇතුළත් හිස් බව නිසා යැ. දැන් කොවිලේ ලැගැ සිටිනැ සැළලිහිණියාගේ කන පුරා දිවයන්නේ ඒ හිස් හඬයි හෙවත් මුළාවේ හඬයි.
මේ වෙස’ඟන තුඟු තන උරා සුළඟටැ මුසුව එනැ සුවඳ රාගයේ සුවඳයි. රතිමතින් මත්ව ඒ සකසා ගන්න සඳපෑනියමය නිසා අවකාශ නැතිව විල්ලිහිණියන් වෙතින් පැතිර එන හඬ ද්වේශයේ හඬයි. කෝවිලේ වාද්‍යය භාණ්ඩයන්ගේ හිස් බවේ හඬ දෙසවන් කකා යයි. මේ සපුරාමැ අකුසල පුරයෙකි. ඇයි? රාගය සිතකැමැත්ත අවුළුවයි. දෝසය සිතැ අකැමැත්ත අවුළුවයි. මෝහය සිතැ තීරණ තීන්දු ගැනීමටැ ඉඩ නොසලසා මුළාවටැ පත් කරයි. මේ මූලික කිළිටි හෙවත් ක්ලේස සසර පුතෙක් එතෙරැවීමට අවසර නොදෙයි. කෙල්ස නින්දෙහි ලා නිදිවද්දිතවයි. අවධියෙක් ලබා ගැනීමටැ අවකාශයෙක් නැති. මේකවිය අනුසාරයෙන් සැළලිහිණියාටැ උපදෙස් දෙන ව්‍යාජයෙන් ශ්‍රී රාහුල හිමියෝ උපදෙස් දෙන්නෝ අපටයැ.
මේ අනුවැ බලද්දී, තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදු රජාණන් වහන්සේ, රාගයෙන් නොඇලී, දෝසයෙන් නොගැටී, මෝහයෙන් නොමුළාවී, කෙලෙස් නින්දේ නොනිදා පිබිදුණ මනසින් ඇත්ත ඇති සැටියේ දැකැ, නිවන් මඟ පසක් කැරැ ගැනීමටැ උත්සාහ ගන්නැයි දුන් උපදේශය ඒ දේසනාවෙයේ මැ ඇසුරෙන්, මනහර කව් බසින් තොටගමුවේ ශ්‍රී රාහුල, වාචිස්සර මාහිමියෝ, ඒ රසබර පැදි කවියෙක් අප අභිමුවෙහි තැබූ හයි යනැ වගැ මා හටැ පැහැදිලිවැ මැ පෙනේ.