විරාගය වටහා නොගෙන ‘විරාගය’ ගැන ලිවීම | Page 2 | සිළුමිණ

විරාගය වටහා නොගෙන ‘විරාගය’ ගැන ලිවීම

සුනන්ද එරංග පෙරේරාට පිළිතුරක්

පෙර පර දෙදිග විචාරකයන් විසින් පසස්නා ලද සිංහලයේ ලියැවුණු විශිෂ්ටතම නවකතාව වන මාර්ටින් වික්‍රමසිංහයන්ගේ "විරාගය" බිහි වී ගෙවී ගිය හැට එක් වසර තුළ ලියන ලද විචාර අතුරෙන් ඉතා ම අශාස්ත්‍රීය වූ ලිපියක් පසුගිය ඔක්තෝබර් විසි දෙවැනි ඉරිදා " සත්මඬල" ශාස්ත්‍රීය අතිරේකයේ පළවී තිබිණ. එය වූ කලි සුනන්ද එරංග පෙරේරා විසින් රචිත "නොහැර ගිය විරාගයේ අරවින්ද ජයසේන" නමැති ලියවිල්ලයි. එය පළ වී ටික දිනකට පසුව වුවද ඒ අරභයා යමක් ලියන්ට අප අදහස් කෙළේ එම ලිපිය සංවාදයකට විවෘත වී තිබීම නිසා ය.

"නොහැර ගිය විරාගය" යනු කුමක්ද?

මැද පන්තියේ සිංහලයන්ගේ දෙබිඩි ජීවිත පැවැත්ම පිළිබඳ බහුබූත හිතේ මවාගෙන සුනන්ද එරංග පෙරේරා විරාගයේ අරවින්ද චරිතය දෙස බලා ඇති බව පෙනී යයි. එකකට එකක් පටහැණි ව්‍යාකූල යෙදුම් මගින් ඔහු කියන්ට වෑයම් කරන්නේ කුමක්දැයි නොහැඟේ. "නොහැර ගිය විරාගය" ලිපියේ එන පහත දැක්වෙන යෙදුම් බැලුව මැනවි. "විරාගය මා තුළ ඇති කළේ කිසිම හැඟීමකින් තොර ළමා ශුන්‍යතාවයකි" "ඔවුන් හැමදෙනාම (විචාරකයන්) ශපථ කළේ අරවින්ද ජයසේන යනු අමු පරාජිතයකු බව ය."

"අපේ පොදු සම්මුතියට අනූව අරවින්ද පරාජිතයෙකි"

"පෘථග්ජන සිතක් ඇති අරවින්ද” මිනිසුන් සහ සත්වයන් උන්මත්තක කරවන ලිංගික තෘප්තිය ලබා ගන්නේ කෙසේ විය හැකිද?"

"ජපන් කාමකතා හෙවණැල්ලෙන් බැහැර වූ වික්‍රමසිංහයන්ගේ දැන සිටි සිතිවිලි ගතානුගතිකත්වයෙන් යදම් ලා තිබුණි"

"අරවින්ද කවර ලිංගික සත්වයෙක් ද යන්න සිතිය යුත්තේ අප ය"

"ක්ෂිණාශ්‍රව පුද්ගලයා වූ කලී අප විඳිය නොහැකි ධ්‍යාන උපරිමයයි"

"අරවින්ද යනුත් ස්වයං තෘප්තිය විඳින්නකු බව බාගදා මටද හැඟී යන්නේ අනුභූතිමය ප්‍රත්‍යක්ෂතාවයෙන් විය හැකිය"

"අප බාල කාලයේ කියවූ මකුණා” ප්‍රංස රති, වැනි කතා පදනම් වූ හේතු විග්‍රහ නොකළ අමු කාම කතා ය.

ක්‍රියාකාරක පද සම්බන්ධතාවෙන් ද තොර මෙබඳු ව්‍යාකූල වැකිවලින් ගහණ සුනන්ද එරංග පෙරේරාගේ මේ ලිපියෙන් අපට හැඟී යන්නේ ඔහු විරාගය නවකතාව කියවා නැති බවයි. අරවින්ද ජයසේනගේ ආත්ම චරිතය කියැවූ සැමී පැවසූ කියුමක් විරාගය නවකතාවේ මුල් පරිච්ඡේදය අවසානයේ දැක්වෙයි. එනම් "මනුෂ්‍ය චරිතයේ සංකීර්ණත්වය නොදත හැකි, නොසිතිය හැකි එකිනෙකට පටහැණි සිතුම් පැතුම් හැඟීම් හා ක්‍රියා ආදියෙන් තැනුණක් ය” යන්නයි. කුඩා කාලයේ සිට ම මකුණා, ප්‍රංස රති වැනි අමු කාම කතා, කියවා කුණු කන්දල්වලින් හිස පුරවා ගත්තකු විරාගයේ අරවින්ද ජයසේනගේ සංකීර්ණ චරිතය හඳුනාගන්නේ කෙසේ ද?

ගැමි පරිසරයක හැදුණු වැඩුණු අප පාසැල් වියේදී වුවද විරාගයේ අරවින්ද චරිතය බෞද්ධ සංස්කෘතික පසුබිමක් තුළින් බිහිවූවක් බව වටහා ගෙන සිටියෙමු. අප ජීවත්වූ පරිසරය හා කියවන්ට ලැබුණු හොඳ පතපොත ඊට අනුබල දුන් බව පවසනුයේ නව පරපුරට ආදර්ශයක් වශයෙනි. මකුණා, ප්‍රංස රති වැනි අමු කාම කතා ගැන අප ආසාවක් තිබුණේ නැත. එබඳු කතා අපි තරයේ පිළිකුල් කෙළෙමු.

හැටේ දශකය මුලදී විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා විරාගය නවකතාව හදාරන්ට අවස්ථාව ලැබුණු අපි භාග්‍යවන්තයෝ වීමු. අරවින්ද ජයසේන නිෂ්ක්‍රීය, පරාජිත චරිතයක් හැටියට අප ගුරුවරුන් හඳුන්වා දුන් විට අපි ඊට පටහැණි ව සහේතුක කරුණු ගෙනහැර දක්වමින් අරවින්ද ආධ්‍යාත්ම ගති විසින් ජීව ශොත්‍රසය ජයගත් සත්පුරුෂයකු යැයි තර්ක කළෙමු. ආශාවන් තුති කොට සොම්නස් හැඟීමෙන් මිය ගිය එකකු පරාජිතයකු වන්නේ කෙසේදැයි අපට නොවැටහිණ.

"නොතිත් ආසාව දැන් මගේ ශෝකයට නොව සොම්නසට හේතු වෙයි. කරුණාව, දයාව, ඇල්ම යනාදි මිනිස් දහමින් නොතොර තැනක ජීවත්වීම නිසා මගේ කලකිරීම දුරු විය"

(විරාගය - 2016 33 වන මුද්‍රණය - 207-208 පිටු)

බුදුරජාණන් වහන්සේ නිබ්බේදික සුත්‍රයෙන් දේශනා කොට වදාළේ මේ උත්තර මිනිස් ස්වභාවය නොවේ ද? ගිහියකු වශයෙන් ජීවත් ව මිය ගිය එකකු වුව ද ඔහු (අරවින්ද) ළං වන්නේ ථෙර ගාථාවෙන් තම අධ්‍යාත්මය සෘජු ව හෙළි කළ පැරණි තවුසකුට යැයි විරාගය මුල් පරිච්ඡේදය අවසානයේ සැමී පවසන්නේ ඒ නිබ්බේදික ස්වභාවයට ය.

1956 වර්ෂයේ සිට විරාගය නවකතාව අරභයා ලියැවුණු සිය ගණන් විචාර ලිපි මම කියවා ඇත්තෙමි. ඒ අතුරෙන් ගුණදාස අමරසේකරයන් ලියූ විචාර ලිපි හතර ඔහුගේ දැනුම මුහුකුරා යාමේ විකාශ ඵලයක් ලෙස මම දකිමි. විරාගය පිළිබඳ ව අමරසේකරයන් ලියූ මුල් ම ලිපිය "අරවින්ද, සරෝජිනි හා බතී” පළ වූයේ 1957 දී සංස්කෘති සඟරාවේ ය. එහි දෙවැන්න වූයේ 1961 දී නවලෝකය සඟරාවේ පළ වූ "පදුමං ව තොයෙන අලිප්පමානො" නමැති ලිපියයි. එදවස තරුණ වියේ සිටි අමරසේකරයන් විරාගයේ අධ්‍යාත්මය හඳුනා ගැනීමට වෑයම් කළ අයුරු ඒ ලිපියේ මාතෘකාවෙන් ම පැහැදිලි වෙයි. විරාගය අරභයා අමරසේකරයන් ලියූ තුන්වැනි ලිපිය වන "විරාගය මතු කරන අලුත් අදහස්, නම් නිබන්ධය ඇතුළත් වූයේ "අලියා හා අන්ධයෝ" (1967) නමැති ඔහුගේ ග්‍රන්ථයේ ය.

විරාගය නවකතාව පිළිබඳ ව ගුණදාස අමරසේකරයන් ලියූ දීර්ඝතම වූත්, ව්‍යක්ත වූත් සිව්වැනි විචාරය පළවූයේ 2003 වසරේ සිළුමිණ සියපත ශාස්ත්‍රීය අතිරේකයේ ය. විරාගය නවකතාවේ හා එහි එන අරවින්ද ජයසේන චරිතය මඟින් සංකේතවත් කර ලද අපිස් ජීවිත දෘෂ්ටියෙහි වටිනාකම වර්තමාන ලෝකයට කොතරම් වැඩදායක ද යන්න අමරසේකරයන් එම ලිපියෙහි ලා විචක්ෂණ ලෙස පෙන්වා දුන්නේ ය.

"විරාගය මඟින් පෙන්වාදෙන ලද අපිස් දෘෂ්ටියෙහි අගය වත්මන් ලෝකයට කෙතරම් අවශ්‍ය ද යන්න පළමුවර හෙළි කරන නිබන්ධයක් මා ඇස වැකුණේ 1980 දී ය. ඒ නිබන්ධය නම් එරික් ප්‍රෝම් නමැති දාර්ශනිකයා විසින් ලියන ලද......... නමැති ග්‍රන්ථයයි. එය ඉංග්‍රීසියෙන් පළමු වරට පළ කරන ලද්දේ 1979 දීය.

(සිළුමිණ - ශාස්ත්‍රීය හා ඓතිහාසික අතිරේකය 2003)

එරික් ප්‍රෝම් ගේ ඒ ලිපිය විරාගය නවකතාවට සපයන ලද පරිකථාවක් වැන්නකැයි අමරසේකරයෝ කියති. එරික් ප්‍රෝම්ගේ ග්‍රන්ථ නාමය ගුණදාස අමරසේකරයන් හඳුන්වන්නේ සරාග වත හා විරාග වත යනුවෙනි. ඒ පිළිබඳ ව තම ලිපියෙහි ලා දීර්ඝ ලෙස විවරණය කරන ඔහු එය තවදුරටත් මෙසේ පැහැදිලි කරයි.

"සරාග වත හා විරාග වත වටහා ගැනීමට බෞද්ධයන් වන අපට බෞද්ධ සාහිත්‍යයෙන් අපමණ උපමා රූපක ලබා ගත හැකිය. සුත්ත නිපාතයෙහි ඇති මේ ගාථා පාඨය මේ දෙවත ඉතා ව්‍යක්ත ලෙස එළි දක්වන්නක් ලෙස මම දකිමි.

"යථාපි උදකේජාතං - පුණ්ඩරීකං පවඪති

නඋපලිප්පති තොයෙන - සුචි ගන්ධං මනොරමං

එවං ලොකෙ සුජාතො - බුද්ධො ලොකෙ විරජ්ජති

නඋපලිප්පති ලොකෙන - තොයෙන පදුමං යථා"

මේ විවරණය වූකලී විරාගය අරභයා අමරසේකරයන් විසින් ලියන ලද "පදුමං ව තොයෙන අලිප්පමානො"නමැති ලිපිය අරභයා කළ පරිකථාවක් වැන්න. ලෝකයේ ඇලී ගැලී ජීවත්වීම සරාග වත ලෙසත් එහි නොඇලී නොගැලී ජීවත්වීම විරාග වත ලෙසත් හඳුනා ගැනීම බෞද්ධ ජනකායට අපහසුවක් නොවේ. විරාගයෙහි විවරණය කෙරෙන අරවින්ද චරිතයෙහි අධ්‍යාත්මය පිරිසිඳ දැකිය හැක්කේ සරාග වත හා විරාග වත සුපැහැදිලි ලෙස වටහා ගත හැකි අයට පමණි.

බටහිර ලෝකය කාමසුඛල්ලිකානුයෝගය විසින් විනාශ මුඛයට ඇදගෙන යනු ලබන සරාග වතට අපගේ සාහිත්‍යකරුවන් හා විචාරකයන් ද ගොදුරු වී ඇති බව පසුගිය කාලයේ ස්වර්ණ හා රජත සම්මානවලින් පිදුම් ලද සාහිත්‍ය කෘතිවලින් පෙනී යයි. විරාගය නවකථාව බිහි වී හැට එක්වසරක් ගත වුවද ඒ කාලය ඇතුළත ඊට ළං විය හැකි හෝ එක ද නවකථාවක් බිහි නොවීමෙන් පෙනී යන්නේ සරාග වත හා විරාග වත හඳුනා ගැනීමට අප ලේඛකයන් සමත් වී නැති හෙයිනි. අමරසේකරයන් සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකයට සැපයූ පූර්වෝක්ත ලිපිය, විරාගය නවකථාව හා එහි නිරූපිත අරවින්දගේ චරිතය පිළිබඳ ව තවමත් අනන් මනන් විචාර ලියන සුනන්ද එරංග පෙරේරා වැන්නන් විසින් කියවා ගැඹුරින් අධ්‍යයනය කළ යුතු යැයි මම සිතමි. ඊට පෙර විරාගය නවකථාව විමංසන බුදධියෙන් යුතුව කියවා වටහා ගත යුතුය. ගුණදාස අමරසේකරයන්ගේ කියුමකින් ම මේ ලිපිය අවසන් කිරීමට කැමැත්තෙමි. මාර්ටින් වික්‍රමසිංහ අරවින්ද සන්තුෂ්ටියෙන් තෘප්තියෙන් සිය ජීවිතය අවසන් කළ බව කියාපෑමෙන් පෙන්නුම් කරන්නේ විරාග වතෙහි ජයග්‍රහණයයි. එය සරාග වත ඉක්මවා සිටින මිනිසත් බවට අත්‍යවශ්‍ය මිනිස් දහමින් පිරිපුන් එකක් බව පෙන්වීමයි. අරවින්ද ලබන තෘප්තිය, සන්තුෂ්ටිය සරාග වතෙහි ඇලී ගැලී ඉන්නකුට තෘෂ්ණාව තමන් සතු කර ගැනීම හිසින් ගන්නකුට මායාවක් සිහිනයක් ලෙස පෙනෙන්ට පුළුවන.

Comments