BOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD

 ගිලන් වූ කල්පනා ට සුපිරි තරු අත - හිත

‘රුද්‍රාලි’, ‘දාර්මියාන්’ සහ ‘දාමන්’ වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ප්‍රවීණ සිනමාකාරිය, කල්පනා ලාජ්මි අද වන විට දැඩි ලෙස රෝගාතුර වී සිටිනවා. දැනට 61 වැනි වියෙහි පසුවන මේ ප්‍රවීණ සිනමාකාරිණිය වකුගඩුවල හටගත් පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් පසුවෙනවා. මුම්බායි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ඇය, පී.ටී.අයි. පුවත් සේවයට මෙලෙස පවසා තිබුණේ පසුගිය සතියේ උදෑසනකයි.

“අද උදේ මගේ පපුවේ ගැස්ම අඩු වුණා. හරිම අපහසුවක් දැනුණා. මගේ වකුගඩු දෙකම දැන් හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඊයෙ මගේ සැමියා ගේ අභාවය සිහි කිරීමේ පින්කමක් තිබුණා. ඒකට සහභාගිවෙලා ගෙදර ආවට පස්සෙ තමයි මට අසනීප වුණේ. ඉතින්. මාව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා.” මේ වන විට කල්පනා ලාජ්මිට රුධිර කාන්දුපෙරණ ප්‍රතිකාරය ලබා දෙනවා. ඒ වෙනුවෙන් වැය වන වියදම්වල බර දැරීමට ඉදිරිපත්ව සිටින්නේ සුපිරි නළු සල්මන් ඛාන්, ජනප්‍රිය නිළි ආලියා භාට්, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජොහාර් ඇතුළු පිරිසක්.

“මේ හැමෝම මට උදව් කරනවා. මට මේ ප්‍රතිකාරය දිගට ම කරන්න වේවි. ඒ නිසා ඒ වෙනුවෙන් උදව් කරන මේ අයට මම ස්තුති කරනවා. විශේෂයෙන් ම, මගේ අම්මාටත් මගේ සහෝදරයාටත් චිත්‍රපට අධ්‍යක්ෂ ශ්‍යාම් බෙනගල්ටත් ස්තුතියි.” කල්පනා ලාජ්මි කඳුළු පිරි දෙනෙතින් යුතුව කීවා.

ප්‍රියංකා නූලෙන් බේරෙයි

ඇමරිකාවේ මැන්හැටන් ප්‍රදේශයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා ප්‍රියංකා චොප්රාගේ සිත ද සසල වෙලා. මේ සුරූපී සුපිරි තරුව මේ වන විට තාවකාලිකව පදිංචිව සිටින්නේ මැන්හැටන් ප්‍රදේශයේමයි. ඇය කුලියට ගන්නා ලද සුඛෝපභෝගී නිවසේ තමයි රැඳී සිටින්නේ.

ඇමරිකානු ජනප්‍රිය ටෙලි නාට්‍ය මාලාවක් වන ‘ක්වොන්ටිකෝ’ හි තුන්වැනි අදියරේ රූගත කිරීම්වල රඟපාන නිසයි, ප්‍රියංකා එලෙස මැන්හැටන්වල සිටින්නේ. මේ රූගත කිරීම්වලට එක්වී සිටි ඇය එම වැඩ කටයුතු නිම කර ආපසු නිවස වෙත එද්දීයි, ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවූ බව දැනගෙන ඇත්තේ. (මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් 8 දෙනෙකු මියගොස් 11 දෙනකු තුවාල ලබා තිබුණා.)

“මේක සිද්ධ වුණේ මගේ ගෙදර ඉඳලා තවත් ගෙවල් 5 කට එහායින්. මම ‘ක්වොන්ටිකෝ’ රූගත කිරීම් ඉවර වෙලා ආපසු එද්දි මේ කලබලය දැක්කේ. ප්‍රහාරයෙන් විපතට පත්වුණු හැම දෙනාටම මගේ ශෝකය පළ කරනවා.” ප්‍රියංකා එලෙස ට්විට්ස් කර තිබුණා. මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී තිබෙන්නේ ඇය තම නිවසට පැමිණෙන්නට විනාඩි කිහිපයකට කළින්.

පුතුගේ උපන් දිනයට එක්වුණු මවුපියෝ

අර්බාස් ඛාන් සහ මලෙයිකා අරෝරා ඛාන් ගේ විවාහ දිවිය දෙදරා ගියේ මීට මාස කිහිපයකට කලින්. ඔවුන් දෙදෙනා දැන් නිත්‍යනුකූලව වෙන්වී සිටිනවා. ඒත් පසුගිය සතියේ අර්බාස් සහ මලෙයිකා, ඔවුන්ගේ පුතු අර්හාන් වෙනුවෙන් මොහොතකට එක්වුණා. අර්හාන් ගේ 15 වැනි උපන් දිනය වෙනුවෙන් තමයි, විරසක වූ මවුපිය යුවළ එකතු වුණේ. අර්බාස් ගේ නිවසෙහි පැවැත්වුණු මේ උපන් දින උත්සවයට පැමිණ සිටියේ පවුලේ කිහිප දෙනකු පමණයි. උපන් දිනය වෙනුවෙන් පිළියෙල කළ කේක් ගෙඩිය කැපූ අර්හාන්, කේක් කැබැල්ලක් ගෙන ඔහුගේ මවටත් පියාටත් කැවූ අයුරු කවුරුත් බලා සිටියේ ආසාවෙන්. නමුත්, ඒ සතුට යට තිබ‍ු‍ණේ කඳුළු ගංගාවක්.

මලෙයිකා එදින උපන් දින උත්සවයේදී ගන්නා ලද ඡායාරූප කිහිපයක් ම ඉන්ස්ටග්‍රෑම් පිටුවට එක් කළා. ඒ ඡායාරූපවල මලෙයිකා, අර්බාස් සහ පුතු සමඟ එක්වී සිනහ මුසු මුහුණින් සිටියා.

ඓශ්වර්යා රඟද්දී සහය අදියුරුට තුවාල

ජංගම දුරකතන, ඉයර්ෆෝන් භාවිතා කරමින් මග තොටේ ගමන් කිරීම අනතුරුදායක බව දැන දැනත් ඒ වරද කළ ‘ෆැටෝ ඛාන්’ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරියක තුවාල ලබා ඇති බවයි ආරංචි.

ඓශ්වර්යා රායි අනිල් කපූර් සහ රාජ්කුමාර් රාඕ ප්‍රධාන චරිත නිරූපණය කරන අතුල් මන්ජේරේකර් අධ්‍යක්ෂණය කරන ‘ෆැ‍ෙන් ඛාන්’ චිත්‍රපටයේ දර්ශන කිහිපයක් පසුගිය දා මුම්බායි නුවර රූගත වුණා. මුම්බායි හි ෆ්ලෝරා මවුන්ටන් ප්‍රදේශයේ රූගතවූ එක්තරා දර්ශනයක ‍ඓශ්චර්යා කුලී රියක් නතර කිරීමේ අවස්ථාවක් ලැබුණා. ඇය එම දර්ශනයේ රඟපාද්දී ඒ අසලින් චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරියක් රැඳී සිටියේ ඉයර් ෆෝන් එකකුත් දමාගෙනයි. දර්ශනය රූගතවී නිමවීමත් එක්ක ම ඇය පාර හරහා ගමන් කළා. එවිට ම ඇය වෙත වේගයෙන් ළඟා වෙමින් තිබුණේ මෝටර් සයිකලයක්. එහි ශබ්දය සහය අධ්‍යක්ෂවරියට නොඇසුණේ ඉයර් ෆෝන් කට්ටලය නිසයි. වේගයෙන් පැමිණි මෝටර් සයිකලය ඇයව හප්පාගෙන ඉදිරියට ගියා. සහය අධ්‍යක්ෂවරිය බිම ඇද වැටුණේ දරුණු තුවාල සහිතවයි. එවිට ම ක්‍රියාත්මක වූ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායම වහාම ඇයට ප්‍රථමාධාර ලබාදී ඇයව රෝහල් ගත කළා. අධ්‍යක්ෂ මන්ජ්රේකර් පැවසුවේ සහය අධ්‍යක්ෂවරිය ඉක්මණින් ම සුවය ලබා යළි රූගත කිරීම් කටයුතුවලට පැමිණේවි කියලයි. 

Comments