සමීප රූප | සිළුමිණ

සමීප රූප

ඉන්ද්‍රචාපට 2017 දින දර්ශනේ මේ මාසෙ පිටුව පේනවා. නොවැම්බර් දහහතර වැනිදා? ඒ කියන්්නෙ එකොළොස් වැනි මාසෙ මැද? ඉන්ද්‍රචාපට වෙලාවකට බයකුත් හිතෙනවා. කාලය පියඹාගෙන යන වේගය දැක්කම? ගෙවුණු අවුරුද්දෙ මේ කාලෙ වෙනකොට අපේ රටට සිද්ධ වුණු විපත්තිවල සමීපරූප ඉන්ද්‍රචාපගෙ හිතේ හොල්මන් කරනවා. ගංවතුර, නාය යෑම්, හිතාගන්නවත් අපහසු පළාත්, නගර ගංවතුරින් යටවෙලා ගිහින් දහස් ගණන් දෙනාට උන්හිටි තැන් විතරක් නෙවි ඇඳිවත පවා නැතිවුණු නොවැම්බරය, දෙසැම්බරය?

මාතර නිල්වලා ගඟ උතුරලා යන්න ඔන්න මෙන්න කියල තිබුණු පින්තූර කලු ගඟ, කැලණි ගඟ ආශ්‍රිත ගම් බිම් ඉන්ද්‍රචාප ගෙ සමීප රූපාවලියෙ ඇ‍ඳෙන්නෙ, හඩ පටයේ අසරණ වුණු දහස් ගණනකගෙ අ‍ඳෝනා, වැලපීම් එක්ක. රත්නපුර දිස්ත්‍රික්කයෙ, මාතර, කළුතර දිස්ත්‍රික්වල වගේ ම කොළඹ දිස්ත්‍රික්කයෙත් දස දහස් ගණනාවකගෙ දුක් සුසුම් හඬ ඉන්ද්‍රචාපට තවමත් ඇහෙනව වගේ. සුනාමි විපතට පස්සෙ, සිද්ධ වුණු ලොකු ම විපත ද 2016 නොවැම්බර් දෙසැම්බර් කාලෙ අපේ රට අත්වින්දෙ කියල ඉන්ද්‍රචාප කල්පනා කරනවා.

ඒ වගේ ආපදාවකදි අ‍ෙප් රටේ, සහෝදර ජනතාවගෙ මනුස්සකම එළියට ආපු විදියත් ඉන්ද්‍රචාපගෙ සමීප රූප අතරෙ. රටේ වගේ ම රටින් පිට ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන්ගෙ හදවත් උණුවුණේ, ආගම්, ජාති, කුලමල භේද, දේශපාලන භේද, පළාත් භේද එකක්වත් මායිම් කරන්නෙ නැතුව. දේශපාලකයො, මොන විදියට කල්පනා කළත්, අපේ රටේ වැඩිදෙනා, ජාතික විපතකදි, ආපදාවකදි එකතු වෙන්නෙ තමන්ගෙම පවුලෙ සාමාජිකයකුට සිද්ධවෙච්ච විපතක් විදියට.

අවුරුද්දෙ අගභාගෙ එහෙම ගෙවිල ගිහින් අලුත් අවුරුද්දකත් අගට ඇවිත්. ආපහු හැරිල බලල සතුටු වෙන්න දේවල් සමීපරූප අතරෙ ඇ‍ඳෙනවද කියලයි ඉන්ද්‍රචාප මේ බලන්නෙ? කෝ හිතට සතුටගේන, දර්ශන නෑනේ සමීපරූප අතරෙ? සතියකට දවස් කීපයක් ම ජනජීවිතය අවුල්කරපු සයිටම් විරෝධතා පෙළපාලි, දුම්රිය, තැපැල්, පෞද්ගලික බස් සේවා වර්ජන, විශ්වවිද්‍යාල වසාදැමීම්, පාර්ලිමේන්තුවෙ ඇතුළෙ වගේ ම පිටතින් ඇවිළෙන නිම නොවෙන, ගිනි කෙළි. දූෂණ වංචා, පෝට් සිටි, හම්බන්තොට වරාය, බැඳුම්කර මගඩි අවුරුද්ද ගෙවිල යන එක ඉක්මන් කළා වගේ. ස්වභාවික විපත්වලින් දහස් ගණන් නැතිවුණු ජීවිත සමීපරූප අතරට එකතු වෙනකොට, මහාමාර්ගවල, දුම්රිය හරස් පාරවල, සිද්ධ වුණු අනතුරු වලින් වගේ ම ඇළදොල ගංගාවලට බිලිවුණු ජීවිතවලත් අඩුවක් තිබුණෙ ම නෑ වගේ 2017 මේ වෙන තෙක්.

ස්ත්‍රී දූෂණ, බාල අපරාධ, මිනීමැරුම්, කොල්ලකෑම් අඩුවක් නැතුව 2017 පුරා ඉන්ද්‍රචාපට පෙනුණා. හදකම්පා කරන දුකින් පිරුණු කතා? ‍‍ෙම් සියල්ල මැද්දෙ අවුරුද්දෙන් මාස එකොළහක් ගෙවී ගිය විදිය ඉන්ද්‍රචාපට හිතා ගන්නත් බෑ වගේ. ඒත් දැන් කාලය පියඹා ගිහින් අලුත් අවුරුද්දක දොරකඩ ඉන්නෙ අපි. 2018 කියන්නෙ 2017 අවුරුද්දෙ ම දිගුවක් වෙයි ද කියල ඉන්ද්‍රචාපට නම් බයේ බෑ. පැය ගණන් මහ මාවත් දිගේ පෙට්‍රල් ලීටරයක්, ගන්න පෝලිම්වල හිටපු සේනාවගෙ සමීප රූප වගේ ම ඔවුන්ගෙ විරෝධතා කෝපාන්විත කටහඬත් සමීපරූප අතරෙ පටිගත වෙලා. ඉවරයක් නැතුව තාමත් වරින්වර කඩා වැටෙන වැහි ‍මැද උදේ කාලෙට සීතල දැනෙන්නෙ දුරුත්ත ළඟ නිසා කියලයි ඉන්ද්‍රචාපට දැනෙන්නෙ.

ඒත් මෙදා සැරේ දුරුතු හීතලට කලින් ම දුරුත්ත උණුහුම් වේගෙන එනවද කියලයි ඉන්ද්‍රචාපට දැනෙන්නෙ. අවුරුදු ගාණක් තිස්සෙ කතා කරමින් හිටපු තවත් මැතිවරණ පොරයක උණුහුම දුරුතු හීතල යටකරගෙන දැනෙන්න පටන් අරගෙන වගේ. බාලගිරිදෝෂෙ හැදිල තිබුණු පළාත් සභා මැතිවරණය, ඕන්න දැන් 2018 ජනවාරියෙ පවත්වනය කියල සමීප රූප පුවත් අතරට එකතු වෙනවා. මැතිවරණයක්, කියන්නෙ ආපහු ජනජීවිතය උඩු යටකුරු කරන දේශපාලන සංසිද්ධියක්. හැමදෙයක් ම නතර වෙලා මැතිවරණ උණුහුම දැනෙන්න පටන් ගන්න කොට, වෙනදා උදේ පාන්දර ඉඳල දැනෙන්න පටන් දුරුත්තෙ හීතල කොහේ කොතැනක හැංගෙයි ද කියල ඉන්ද්‍රචාපට හිතාගන්න බෑ. මොනතරම් සද්ද බද්ද තිබුණත්, ඝෝෂාවල් තිබුණත් ඉන්ද්‍රචාපට නම් කමක් නෑ එකිනෙකා ඇනකොටාගෙන මරාගන්නෙ නැතුව. දේශපාලන සටනකදි ජීවිත හානියක සමීපරූප ඇ‍ඳෙනවා දකින්න ඉන්ද්‍රචාප කැමැති ම නෑ. 

 

Comments