ශ්‍රීම­ත්ගෙන් මෙවර උප­න්දි­න­යට ඒක පුද්ගල චිත්‍ර ප්‍රද­ර්ශ­න­යක් | සිළුමිණ

ශ්‍රීම­ත්ගෙන් මෙවර උප­න්දි­න­යට ඒක පුද්ගල චිත්‍ර ප්‍රද­ර්ශ­න­යක්

ප්‍රවීණ නිවේදකයකු ලෙසින් ගුවන් විදුලිය, රූපවාහිනිය ඔස්සේ ශ්‍රාවක ප්‍රේක්ෂක සමූහයා පිනවු ශ්‍රිමත් ඉන්ද්‍රජිත් ලියනගේ මෙවර අලුත්ම වැඩකට සැරසෙන බව අපට ආරංචි වුණා.ඒ ගැන වැඩි විස්තර රසඳුන පාඨකයන්ට කියන්නට ශ්‍රිමත් සමග කළ කතා බහකි මේ.

*ඔබ මේ දිනවල අලුත් වැඩකට කාර්ය බහුලයි. මොකක්ද එම අලුත් කටයුත්ත..

මගේ ජන්ම දිනයදා එනම් දෙසැම්බර් 11වැනිදා මා විසින් අඳින ලද සිතුවම් ඇතුළත් ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදාගෙන යනවා. ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 11දින උදෑසන 8.00සිට ලයනල් වෙන්ටඩ් හි දී පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.එය නම්කර තිබෙන්නේ 'රිදම් ඔෆ් ශ්‍රිමත්'ලෙසින්. භාව රූපිත චිත්‍ර, ඒකපුද්ගල චිත්‍ර, තාත්වික චිත්‍ර ආදි සිතුවම් 200ක් පමණ මෙහි ප්‍රදර්ශනය කරනවා.

* බොහෝ පිරිසක් ඔබව හඳුනන්නේ නිවේදකයකු, රංගන ශිල්පියකු, කටහඬ පදනමේ නිර්මාතෘවරයා සහ පුවත් පත් කලාවේදියකු ආදි දක්ෂතා රැසකින් හෙබි නිර්මාණ ශිල්පියක් ලෙසයි..චිත්‍ර ශිල්පයට දක්ෂතා දැක්වූයේ කෙසේද...

ජර්මන් චිත්‍ර ශිල්පියකු වන බෝ පින්ගර් මහතා යටතේ මා චිත්‍ර ශිල්පය හදාරා තිබෙනවා. කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේත් චිත්‍ර කලා උපදේශක පී. ආර් කල්දේරා මහතා හා නාලන්දේ චිත්‍ර ගුරුවරයා වු එස්. ගුණවර්ධන මහතා යටතේ චිත්‍ර කලාව ප්‍රගුණ කර තිබෙනවා.සිතුවම් ඇඳීමට හැකියාව තිබුණත් ඒ සඳහා කාල වේලාව නොමැති වුණා.

පසුගිය කාලයේ තරමක් කාර්ය බහුලත්වයෙන් මිදී සිටි නිසා කාලයක් තිස්සේ සිතේ තිබු ආසාව ඉටුකරගැනීමට වෙහෙසුණා. ඒ විදිහට සිතුවම්කළ නිර්මාණ 200ක් ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා.

*ඔබ වසර 30ක සිට මාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ භූමිකාවල නිරතවෙනවා..එම අතීතය සිහිපත් කළොත්..

රූපවාහිනී නිවේදකයෙක්, වැඩසටහන් නිෂ්පාදක අධ්‍යක්ෂවරයෙක්,රංගන ශිල්පියෙක්,පුවත්පත් කලාවේදියෙක්, වේදිකා නාට්‍ය ශිල්පියෙක්,සිනමා හා රූපවාහිනී රංගන ශිල්පියෙක්, නවකතා සහ කෙටිකතා රචකයෙක්, කවියකු ලෙස විවිධ ක්ෂේත්‍රවල නිරතවන කලා කරුවෙකු මම.

1988 දි දිනමිණ, සිළුමිණ, තරුණී, යොවුන් ජනතා උපකර්තෘවරයකු ලෙස ලේක්හවුස් ආයතනයට බැඳී 2007වසර වනතුරු එහි සේවය කළා. ජාතික රූපවාහිනියෙන් ආරම්භකළ ආයුබෝවන්, ගී හත, ස්වාධීන රූපවාහිනියේ කලා රසාංග, කෝමල රේඛා, විනිවිද, ආදි සමාජයේ කතා බහට ලක්වු විවිධ වැඩසටහන් සහ ටී.එන්. එල් සේවයේ සවනට ගී මධු වැඩසටහන රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වු වැඩසටහන්. රංගන ශිල්පියකු ලෙස පායන්න හිරුසේ, හදවත මල් යායයි, මගෝඩි ගොඩයි ආදි සිනමා නිර්මාණවලත් සිහින සාප්පුව, සිහින අරන් එන්න, අන්දර වැට, වස්සාන ප්‍රේමය ටෙලිනාට්‍යවල හා ලේ කිරි කදුළු, රාජ්‍ය සේවය පිණිසයි, සොඳුරු දඩබිම,පායා එන්න හිරු සේ, මගෝ ඩිගෝ ඩයි, චන්ද්‍ර සුළඟ ආදී සිනමාපට හා වේදිකා නාට්‍යවලද රංගනයෙන් දායක වී තිබෙනවා.

*ඔබේ පියා ගුණදාස ලියනගේ අපේ රටේ ලේඛන කලාවේ සුවිශේෂි මං සලකුණක්...ඔහුගේ එම හැකියාව ඔබ තුළත් ඇතැයි සිතනවාද..

මගේ පියා ගුණදාස ලියනගේ මෙරට කතා බහට ලක්වු ගත් කතුවරයෙක්. ඔහුගේ භාෂා ඥානය සහ ලිවීමේ හැකියාව පුදුමාකාරයි. මව චන්ද්‍රලතා ලියනගේ ගුරු වරියක ලෙස සේවය කළා.ඔවුන්ගේ හැකියාවෙන් තරමක් මටත් පිහිටා තිබෙනවා.ඒ මඟ යමින් මුහුණට මුහුණ, පීලි පනින නහර වැල්, අරුමැසි කටහඬ, පන්හිඳක සංහිද ආදි කෘති 34ක් පමණ ලියා තිබෙනවා.ඒවායින් වැඩි ප්‍රමාණයක් සන්නිවේදනයට අදාළ පොත්.

*පසුගියදා ඔබට සම්මානයක් ලැබුණා..ඒ ගැන රසිකයන් දැනුවත් කළොත්...

සීතෘ කලා සංසදයෙන් පිරිනමන මාධ්‍ය ශිරෝමනී සම්මානය මට පිදුවා. ඒ වසර තිහකට අධික කාලයක් පුවත්පත්, ග්‍රන්ථ කතුවරයකු ලෙසත්, කටහඬ පාඨමාලාව ආරම්භ කිරීම ආදි හේතු නිසා.මා පවත්වාගෙන යන කටහඬ පාඨමාලාව හැදෑරූ බොහෝ දෙනෙක් අද නිවේදක, නිවේදිකාවන්, දේශපාලනඥයන් සහ සමාජයේ කතා බහට ලක්වු චරිත බවට පත්ව සිටිනවා. ඉදිරියේදීත් නවකයන්ට අතදෙමින් කලාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. 

 

Comments