මම වෘත්තීය නිරූ­පි­කා­වක් නොවෙයි | සිළුමිණ

මම වෘත්තීය නිරූ­පි­කා­වක් නොවෙයි

'ඔබේ රුවින් මා සැනසුන හින්දද ඔබේ සිතින් මා රිදවන්නේ' මේ ගීතය අතුල ශ්‍රී ගමගේ ගායනා කරනා නවතම ගීතයකි. මේ ගීතයේ රූප රචනාව පසුගිය දිනක රූ ගත කරනු ලැබීය. එහි රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ මෝස්තර නිරුපන ශිල්පීනියක් මෙන්ම නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයේ නියැලෙන කාංචනා ඛාන්. ඇයගේ රංගන දිවිය පිළිබඳ ඇය සමඟ කළ කතා බහක් ඇසුරෙන් සකස් වූවකි.

 කාංචනා නිරූපිකාවක් වෙන්න හිතුවේ ඇයි ?

මම නර්තන ශිල්පිනියක් ලෙස කටයුතු කරන කාලයේ මෝස්තර නිරුපණ ක්ෂේත්‍රයේ පිරිසක් හමුවුණා.ඔවුන්ගේ දක්ෂතා දැක්කහම මටත් හිතුණා නිරුපණය ක්ෂේත්‍රයට පිවිසෙන්න. ඒ නිසා මම නිරූපණය පිළිබඳව බ්‍රෙන්ඩා මහත්මිය යටතේ අවුරුදු දෙකක් හැදෑරීම් කළා.ඒ අනුව තමයි මේ ක්ෂේත්‍රයට පිවිසියේ.

 ඔබ වෘත්තීය නිරූපිකාවක් ද?

මම වෘත්තිය නිරූපිකාවක් නම් නෙමෙයි. මම වෘත්තියෙන් නිමි ඇඳුම් ව්‍යාපාරිකාවක්.

මම වෘත්තිය නිරුපිකාවක් නොවන්නේ ජීවත්වීම සඳහා මට ව්‍යාපාරයක් තිබෙන නිසා.

 කාංචනාට අමතක නොවන දවස?

ඔව්. 2009 වර්ෂයේ මම මිස් ශ්‍රී ලංකා තරගයේ මිස් ක්වීන් කිරුළ ලබා ගනිමින් ප්‍රථම ස්ථානය දිනාගත්තා. ඒ සුන්දර දවස මට කවදාවත් අමතක කරන්න බැහැ

 ලංකාවේ නිරූපිකාවන්ට තැනක් තියෙනවා ද?

ඒක නම් සංකිර්ණ ප්‍රශ්නයක් තමයි. ඒත් ඉස්සරට වඩා දැන් ක්ෂේත්‍රයේ පිබිදීමක් තියෙනවා.වර්තමානයේ එන හැම නිරූපිකාවක් වගේම නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව හදාරලා දැනුමක් ලබාගෙනයි එන්නේ අන්න ඒක හොඳ ප්‍රවණතාවයක්.ඒ වගේම සමහර අය කරන වැඩ නිසා නිරූපිකාවකට තියෙන තැන නැතිවෙලා තියෙනවා.හැම දෙයකම දෙපැත්තක් තියෙනවා ඒ අනුව මේ ක්ෂේත්‍ර තුළ හොඳ වගේම නරකත් තියෙනවා.

 ජාතික තලයෙන් අන්තර්ජාතික තලයට නිරූපිකාවක් ලෙස යන්න අදහසක් නැද්ද?

ඇත්තටම ගොඩාක් කැමැතියි.මම අන්තර්ජාතික තරග නියෝජනය කර තිබෙනවා. ඒත් ලාංකික බව රැකගෙන තමයි මම අන්තර්ජාතික තලයට යන්නේ.අපිට අපේ රටේ ලාංකික අනන්‍යතාවය ආරක්ෂා කරන්න පුළුවන් නම් විතරයි මම ඒ තරග වලට යන්නේ.ඒ සම්බන්ධයෙන් මා තුල ප්‍රමිතියක් තියෙනවා .ඒ ප්‍රමිතිය බිදෙනවා නම් මම අන්තර්ජාතික හෝ ජාතික තලයේවත් වැඩ කරන්නේ නැහැ

 කාංචනා රංගනයට පිවිසුණේ කොහොමද ?

මට රංගන හැකියාව තියෙනවා කියලා මම දන්නවා. අන්න ඒ නිසා මං රංගනය පිළිබඳව ජාතික තරුණසේවා සභාවේ ප්‍රවිණයන් යටතේ හැදෑරුවා. ඒ තුළින් ප්‍රගුණ කළ හැකියාව නාට්‍ය හා චිත්‍රපට තුළින් විතරක් නෙමෙයි මියුසික් විඩියෝ වලින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන් තමයි හිටියේ.ඒ අනුව මම නවක ගයන ශිල්පිනියකුගේ 'රිදුනු හිත හදාගන්න' ගීතයේ මියුසික් විඩියෝවෙන් තමයි රංගනයට පිවිසුණේ .

 අලුත් මියුසික් විඩියෝවෙන් කාංචනාගේ රංගන දිවියේ පෙරළියක් ඇති වෙයිද ?

මමත් හිතනවා යම්තාක් දුරට රසික රසිකාවියන් අතරට යන්න පුළුවන් වෙයි කියලා.මොකද අතුල ශ්‍රී ගමගේ ගායන ශිල්පියා ගායනා කරන නවතම ගීතයක් වගේම ඔහුගේ ගීත අතරින් බොහෝ කාලයකින් රසිකයන්ට තිළිණ වන මියුසික් විඩියෝවක්. අන්න ඒ නිසා හිතේ බලාපොරොත්තුවක් තියෙනවා. රංගන දිවියේ දුරක් යන්න පුළුවන් වෙයි කියලා

 කාංචනාගේ ඉදිරි වැඩ කටයුතු මොනවාද?

තවත් මියුසික් විඩියෝ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.ඒ අතරින් අයෝමි පෙරේරා හා ජගත් වික්‍රමසිංහ ගායනා කරන ලස්සන ගීතයකුත් තියෙනවා . ඒත් එක්කම ටෙලි නාට්‍යකටත් ආරාධනා ලැබිලා තියෙනවා. තවත් නව නිර්මාණ වලින් ඉදිරියේදී දකින්නට පුළුවන් කම ලැබෙයි. 

 

 

Comments