එදා පුව­ත්පත් හැඩ­කළ කාටූන් චිත්‍ර ශිල්පියා | Page 3 | සිළුමිණ

එදා පුව­ත්පත් හැඩ­කළ කාටූන් චිත්‍ර ශිල්පියා

පර්සි මායාදුන්නේ යැයි කියු විට කෙනකුට ඔහු පිළිබඳ එකවර මතක් නොවනු ඇත. නමුදු කලකට පෙර පුවත්පත් ලෝකයේ විශේෂයෙන්ම ලේක්හවුස් ආයතනයේ ඩේලිනිව්ස්, ඔබ්සවර්, දිනමිණ ආදි පුවත් පත්වල ඔහු සිතුවම් කළ කාටුන් නිර්මාණ බොහෝ ජනප්‍රිය විය. අද මෙන් විද්‍යුත් මාධ්‍ය දියුණුව නොතිබුණු කාලයක පුවත් පත් අතරට පිවිසි පර්සි මායාදුන්නේ විසින් අඳින ලද කාටුන් සමාජ කතාබහට ලක් වුයේය. අද වන විට අසූ දෙවැනි වියෙහි පසුවන ඔහු අප හා කළ කතාබහේදී තම අතීත මතකයන් අවදි කළේ බොහෝ සතුටිනි.

ජා- ඇළ පමුණුගම උපන් ඔහු ඉගෙනීම ලැබූවේ වේයන්ගොඩ ශාන්ත මේරි විද්‍යාලයේ ය. අධ්‍යාපනය ලැබීමෙන් පසු කොළඹ ශාන්ත මේරී විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කළ ඔහු පුවත් පත් කලාවට යොමු වන්නේය. දැන් ඔහු පෑන පින්සල භාවිත කරන්නේ නැත . නමුදු බොහෝ කලකට පසු ලේක්හවුසියේ රසඳුන පුවත්පතට පැමිණි දා ඔහු යළිත් පැන අතට ගත්තේය. ඒ අපේ බල කිරීමටය. ඔහු සුදු කොළයක අඳින්නට වුයේය. චිත්‍ර ඇඳීම අතහැර දැමූවද පැන්සල, පෑන, පින්සල තවමත් අතැඟිලි වලට නතුය.

“ මම SUN පත්තරේ කර්තෘ ලෙස කටයුතු කරපු රෙක්සි සිල්වා මහතා හඳුනනවා. ඔහු මට ආරාධනය කළා SUN පත්තරයේ උප කර්තෘවරයකු ලෙස බැඳෙන්න කියලා. කෙටි කලක් මම එහි සේවය කළා. දිවයින පුවත්පත පටන් ගන්න කාලේ මගේ මිත්‍රයා මෙරිල් පෙරේරා ඒකට බැඳුණා. මේ යාළුකම නිසා මමත් දිවයින පුවත් පතට බැඳුණා, උප කර්තෘවරයකු විදිහට. ඒ වෙනකොට ගුරුවරයෙක් ලෙස හිටපු මට ලැබුණේ බොහෝම සුළු පඩියක්. මම දිවයින පුවත් පතේ අවුරුද්දක් විතර වැඩකළා. ඉන්පස්සේ මම අයිලන්ඩ් පුවත් පතෙත් වැඩකළා. ඔය අතරේ තමයි මට සිංගප්පූරුවට යන්න අවස්ථාවක් ලැබු‍ණේ. සිංගප්පූරුවේ පත්තරයකට ලංකාවෙන් කර්තෘලා ඉල්ලා තිබුණා. සම්මුඛ පරීක්ෂණයට යන දවසේ තවත් අය ඇවිත් හිටියා. පඩිය රුපියල් දෙදාහයි. මම බොහෝම කැමැත්තෙන් සිංගප්පූරුවේ රස්සාවට ගියා. මම අවුරුදු හයක් සිංගප්පූරුවේ පුවත් පතේ සේවය කළා. එහිදී මම ලබාගත්තු අත්දැකීම් බොහෝමයි. ඒ හැම එකක්ම මගේ ජීවිතයට වටිනාකමක් එකතු කළා.“

පර්සි පවසන්නේ එදවස ලැබූ අත්දැකීම් ගැනය. ඔහු එරට සිටින අතරේද ‘එතෙරින් ඇසේ‘ යනුවෙන් දිවයින පුවත් පතට ලිපි පෙළක් ලියූවේය. එමෙන්ම කාටුන් ද නිර්මාණය කළේය. පසුව සිංගප්පුරුවේ සෙවය කරන අතරේම පර්සි මායාදුන්නේ ඔස්ට්‍රෙලියාවේ පුවත්පතක සේවයට බැඳෙන්නේය. ඔහු කලක් ඔස්ටේලියාවේ පදිංචිව සිටියේය. පසුකාලිනව ඔහු ලංකාවේ පදිංචියට පැමිණෙන්නේය.

පර්සි චිත්‍ර වලට යොමු වන්නේ කුඩා කල සිට සිතේ තිබූ ආසාවක් නිසාය. ඔහු පාසල් වියේ සිටම චිත්‍ර වලට ඇල්මක් දැක්වුයේය.

“ පාසල් කාලේ ඉඳලා චිත්‍ර අඳිනවා. ඒ වුණාට මට පාට ගන්න අමාරුයි . ඒ අමාරුකම නිසා තමයි මම කළු පාටින් විතරක් අඳින්න හුරුවුණේ. ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මම සන්ඩේ ඔබ්සවර් පත්තරේ ළමා පිටුවට කාටුන් ඇන්දා. මුල්ම එක පත්තරේ පළ වුණ දවසේ මගේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ පීටර් පිල්ලේ මහතා මට සුබ පැතුවා. මගේ චිත්‍ර ගුරුවරයා වුණේ රිචඩ් ගේබ්‍රියෙල් මහතා. මම ඕන වුණේ මුලින්ම කාටුන් ඇඳලා අරගෙන ලේක්හවුස් එකට එන්න . එත් ඒ කාලේ ලේක්හවුස් එන්න බයයි. එතැන මහ ගාම්බීර තැනක්. ඒ නිසා මම කාටුන් අරගෙන මුලින්ම ගියේ ටයිම්ස් පත්තරයට. පසුව තමයි ලේක්හවුසියට සම්බන්ධ වන්නේ. දිනමිණ පත්තරයට අප්පුහාමි කියලා කාටුන් එකක් ඇන්දා. ඒකාලේ දිනමිණ පත්තරේ කර්තෘ ලෙස සිටියේ ධර්මපාල වෙත්තසිංහ මහත්මයා. ජයවිලාල් විලේගොඩ මහත්මයා තමයි විශේෂාංග කර්තෘ. මට මේ හැමෝගෙන්ම බොහෝම හොඳ සහයෝගයක් ලැබුණා. ඒ ලැබුණ නිසා තමයි අද අපි මේව ගේ ඉන්නේ.“

ඔහු අතීතයේ දි තමන්ට අත දුන් අය ගැන අද පවසන්නේ කෘතඥපුර්වකය.

එදිනෙදා සමාජයේ සිදුවන සිදුවීම් සම්න්ධව මෙන්ම සමාජ අසාධාරණයන්ට එරෙහිව පර්සි තම කාටුන් නිර්මාණ තුළින් සමාජය දැනුවත් කිරීමට උත්සාහ කළේය. එකල සිටි අතලොස්සක් වූ කාටූන් ශිල්පීන් අතර ඔහු ද විශිෂ්ටයෙකි. දැන් ඔහු අඳින්නේවත්, ලිපි ලියන්නේවත් නැත. නමුදු ඔහු දරුවන් වෙනුවෙන් ලියන්නේය.ඔහු විසින් ලියන ලද පොත් පලකර ඇත්තේය. ඒ සරල ඉංග්‍රීසියෙනි . සියල්ල දැයේ දරුවන් වෙනුවෙනි.

“ ඉස්සර නම් මම ලේක්හවුසියේ මේ පඩිපෙළ අඩියට දෙකට නැග්ගා. නමුත් දැන් දුර්වලයි. අවුරුදු ගාණකට පස්සෙ මේ පඩිපෙළ නැග්ගේ බොහෝම අමාරුවෙන්. හෘද සැත්කමින් පස්සේ මම ලියන එකයි අඳින එකයි දෙකම අත්හැරියා. ඒ වුණත් මට දරුවන් වෙනුවෙන් ලියන්න හිතුවා. මගේ නිර්මාණ ඒ කාලේ පාඨකයෝ විද්වතුන් බොහෝම අගය කෙරුවා. මට ඒ සතුට හොඳටෝම ඇති. “

අප සමඟ කතා කරන අතරේ ද පුරුද්දට මෙන් සුදු කොළයක කාටුන් අඳින අතරේ පවන්නේය. එදා සිය තෙළිතුඩින් පුවත්පත් සරසමින් පුවත්පත් කලාවට මහඟු සේවයක් කළ පර්සි මහතාට නීරෝගී සුව පතමු. 

Comments