ඇයි අම්මා මෙදා පාර මාව දාලා ගියේ | Page 4 | සිළුමිණ

ඇයි අම්මා මෙදා පාර මාව දාලා ගියේ

 ලේවැල්ල පාලම යටින් නිසසලේ ගලා බසින මහවැලි ගං දිය බොර පැහැ වී තිබුණේ පසුගිය දින කීපයේම මහ වැසි ඇති වී තිබූ බව සනාථ කරමිනි. අලුත් පාලම මෙන්ම පරණ පාලම ද ගඟ දෙපස ඇති ගහකොළ ද සුපුරුදු පරිදිමය. එහෙත් නිවසෙහි, මීගස්තැන්න වලව්වෙහි සිතා ගත නොහැකි කුමක් හෝ සිදුවීමක් සිදු වී තිබේ. ස්වේතා නොකියා පවසන්නේ ඒ පිළිබඳව විය යුතුය.

“අනේ පොඩ්ඩක් නවත්තන්න.”

ෆියෝනාට කෑගැසිණ. එහෙත් ගැඹුරු කල්පනාවක වැටී සිටි රියැදුරාට එය නොඇසිණ. මඳ දුරක් ගමන් කළ ඔහු සිහිනයෙන් පිබිදුනාක් මෙන් රථයේ ගමන බාල කළේය.

“සොරි මිස්. මිස් මට මොනවා හරි කිව්වද?”

“නෑ. මං කිව්වෙ චුට්ටක් නවත්තන්න කියලා.”

“නවත්තන්නද?”

“දැන් එපා. ඒ තැන පහුවුණා.”

“සොරි මිස්. මාත් පොඩි කල්පනාවක හිටියෙ. මිස්ට ඕනම නම්...

”නෑ. නෑ. ඕන නෑ.”

රියැදුරා නිහඬව රිය පදවන්නට වූයේ පසුතැවිල්ලෙන් විය යුතුය. අහම්බෙන් මෙන් තමා දුටු දසුන ෆියෝනාගේ මනසෙහි මැවී පෙනිණ. මහවැලි ගඟ අසළ වූ දැවැන්ත බැනරයක අම්මාගේ මුහුණ වී යයි ඇයට සිතුණේ එම ස්ථානය පසු වීමත් සමගය. ඒ බැනරය සාමාන්‍ය එකක් නොව මළගමක් වෙනුවෙන් සකස් කරන ලද්දක් යයි සිතද්දී ෆියෝනාගේ ගත වෙව්ලා ගියේය.

“නෑ. වෙන්න බෑ. එහෙම හිතන එකත් පව්. ඒ වෙන කවුරු හරි කෙනෙක් වෙන්න ඇති. මගේ අම්මා මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕන.”

ෆියෝනාගේ දෙනෙත් කඳුළු පටලයකින් බොඳ විය. ඇය එය පිස ගන්නට උත්සාහ නොකළාය.

“ඔතනින් වමට හරවන්න.”

ඇය රියැදුරාට පැවසුවාය. නිවෙසට හැරෙන අතුරු පාර අයිනේ වූ කුඩා කඩය වසා තිබිණ. අම්මා විසින් පරිත්‍යාග කර තිබූ පර්චස් අටක් පමණ වූ ඉඩමෙහි කුඩා කඩ පොඩ්ඩක් ඉදිකරගෙන සිටි නන්දනීත්, ජයසේනත් අම්මාට බොහෝ ආදරය කළහ. කෙසෙල් කැන්, ගස්ලබු ආදී පලතුරුත්, පලා වර්ගත්, ඇතැම් දිනෙක එළවළුත් කුඩා කඩයෙහි ඉදිරිපස වූ මැස්ස මත තබා විකුණන නන්දනී ඇතැම් දිනෙක අම්මා වෙනුවෙන් විශාල ගස්ලබු ගෙඩියක් හෝ කෝලිකුට්ටු ඇවරියක් ද, වෙරලු හෝ උගුරැස්ස ආදී පලතුරක්ද රැගෙන ආවාය.

“මෙව්වා චූටි කුමාරිට.”

ප්‍රමාණයෙන් විශාල පාර්සලය දෝතින්ම අම්මාට දෙන නන්දනී කුඩා පාර්සලය තමාට දෙන අන්දම ෆියෝනාට සිහියට නැගිණ.

“මොනවට හැමදාම මෙව්වා උස්සගෙන එනවද නන්දනී? කඩේ තියලා විකුණගෙන පුංචිවුන්ට ඕන කරන දෙයක් ගන්න තිබුනනෙ.”

“ඒකට කමක් නෑ. මෙව්වා දීලා මදි. හරි නම් අපිට කරපු උපකාරෙට අපේ මැණිකෙට මල් තියලා වඳින්න ඕන.”

“ලාබ ප්‍රයෝජන බලාගෙන උදව් උපකාර කළා නෙමෙයි නන්දනී.”

“මං නොදන්නවයැ?”

නන්දනී ඔසරි පොටින් දෙනෙත් පිස ගනියි. නන්දනීගේ කුඩා දරුවන් මේ වනවිට ලොකු මහත් වී ඇතැයි ෆියෝනාට සිතිණ.

“ඔතනින් දකුණට.”

ඇය රියැදුරාට පැවසුවාය. තම නිවසට හැරෙන පාරේ වූ විදුලි පහන් කණුවක වූ මරණ දැන්වීමක අම්මාගේ උඩුකය ඡායාරූපයක් වූ බව ඇය දුටුවේ එවරය. ෆියෝනා වෙව්ලා ගියාය.

“අම්මා. අනේ අම්මා...” යි ඇයට කෑගසා හඬන්නට සිතිණ. වලව්වට පිවිසෙන දැවැන්ත යකඩ ගේට්ටුවෙහි පියන් පත් සම්පූර්ණයෙන්ම හැර දමා තිබිණ. එතැන් සිට වලව්වට පිවිසෙන මාර්ගය දෙපසම වියළී යමින් පැවැති ගොක් කොළ සැරසිලි විය. සියල්ල පැහැදිලිය. මේ දක්වා වටහා ගත නොහැකි වුව ද අම්මා මියගොසිනි. කිසිදිනෙක නොවූ තරම් කරුණාවකින් ස්වේතා තමා අමතන්නට ඇත්තේ මේ නිසා විය යුතුය. ෆියෝනා නොහඬා සිටින්නට වෑයම් කළාය.

ස්නේහං වයා දුක්ඛ මිධං පහෝති.

සෙනෙහස දුකට උල්පතයි

තවමත් ගලවා නොමැති කුඩා බැනරයක එසේ සටහන් වී තිබිණ. දම් පැහැති අරලියා මල් පේළියක් සිත්තම් වී තිබූ සුදු සාරියෙන් සැරසී සිටින අම්මාගේ තරුණ කාලයේ ගත් සුන්දර සිනා රැල්ලකින් යුත් සේයාරුවක් එම බැනරයෙහි විය.

“මේකද මිස් ගේ?”

“ඔව්. නවත්තන්න.”

මීගස්තැන්න වලව්ව ඉදිරියෙහි මෝටර් රථය නතර විය. දොරකඩ සිටි ලොකු අයියාත්, ස්වේතාත් මෝටර් රථය ඉදිරියට දිව ආවේ කලින් කතා කරගෙන සිටි කලෙක මෙනි. ෆියෝනා විසින් මෝටර් රථය තුළින් පිටතට ගන්නා ලද ගමන් බෑගය සියතට ගත් ස්වේතා ඇය දැඩිව වැළඳ ගත්ත ද, ඇය නොහඬා සිටින්නට වෑයම් කළාය.

රියැදුරාට මුදල් ගෙවීම සඳහා අත් බෑගය හරිද්දී ලොකු අයියා ඔහුට මුදල් ගෙවා පිටත් කරන අයුරු ෆියෝනා දුටුවාය.

“චූටි කුමාරි. අම්මා ගියා චූටි කුමාරි.”

ලොකු අයියාගේ දෙපා වඳින්නට පහත් වෙද්දී දෝතින්ම ෆියෝනා අල්ලා එසවූ ලොකු අයියා ගජබා පවසන හඬ සිහිනයෙන් මෙන් ඇසිණ.

“අම්මා ගියා? ඉස්සර නම් අම්මා යන යන තැන මාව එක්ක ගියා. ඇයි අම්මා මෙදා පාර මාව දාලා ගියේ?”

දෑසින් කඳුළු නොගැලුවද, දරා ගත නොහැකි තරම් වේදනාවකින් තම ළය පුපුරා යතැයි ෆියෝනාට සිතිණ. ස්වේතා තවමත් ඇය තුරුලු කර ගත්වනම සිටියාය.

“ජීවිතේ හැටි එහෙම තමයි චූටි නංගි. අපි යමු ගෙට.”

ස්වේතා සමග නිවෙසට ගොඩ වුව ද, ෆියෝනාට ආගන්තුක බවක් දැනිණ. ලොකු අයියා, ගජබා ඇයගේ දෙඋරහිසින් අල්ලා පුටුවක් මත හිඳවූයේ මව අහිමි වූ බාල දියණිය මහා පෙරළියක් කරතැයි සිතූ බැවින් විය යුතුය. එහෙත් ෆියෝනා නිහඬව පසුවූවාය. සුළු දේකට වුව ද, දෑසට කඳුළු නැගුණ ද මේ අවස්ථාවේ දෙනෙත් වල කඳුළු උල්පත් සිඳී ගියේ මන්දැයි සිතන්නට ඇය උත්සාහ කළාය.

“අම්මට මොකද වුණේ?”

“හොඳට හිටියලු. රෑට කෑම කාලා පපුව චුට්ටක් රිදෙනවා කියලා අභීතට කිව්වලු. අභීත කාමරේට ගිහින් පපුවෙ ගාන තෙල් කුප්පිය අරගෙන එද්දි පුටුව උඩම...” ස්වේතා විස්තර කරන්නට වූවාය.

“කවදද?”

“දාසය වැනිදා.”

අද දිනය කවදාදැයි සිතන්නට උත්සාහ කළ ද ෆියෝනාගේ වේදනාවෙන් පරිපීඩිත සිතට එය පවා සිහි කර ගත නොහැකි විය.

“දවස් තුනේම චූටි නංගිට කතා කරන්න ට්‍රයි කළා. බැරිම තැන මොනවා කරන්නද? අවසන් කටයුතු කළා. හත් දවසෙ දානෙ දීලත් දැන් සතියක් පහු වෙලා.”

“අභීත කොහෙද ගියේ?”

“අභීත කසාද බඳින්න ගෑනු ළමයෙක් ඉන්නවනේ. ගාල්ලෙ. බද්දෙගම. ඒ ළමයගෙ තාත්තටත් අසාධ්‍යලු. කැන්සර් එකක්. ජීවත් කරන්න බැරි වේවිලු. අභීත බලලා එන්න ගියා.”

“ස්වේතා. පියවතීට කියන්න කෑම ලෑස්ති කරන්න කියලා. චූටි නංගිගෙ කාමරේ ලෑස්ති කරලා තියෙන්නෙ. ගිහින් ටිකක් විවේක ගන්න. පස්සෙ කතා කරන්න බැරුවයැ?” ස්වේතා ගෙතුළට ගියාය.

“කෝ?”

වටපිට බැලූ ලොකු අයියා ඇසුවේ රහස් හඬිනි.

“කවුද?”

“බිස්කට් ෆැක්ටරියෙ ළමයා?”

“කෝ අසාර්?” හෝ “කෝ මහත්තයා?” යයි නොඅසා අයියා ඇසූ ආකාරය පිළිබඳව වෙනත් වේලාවක නම් මුවග සිනාවක් නැගෙන්නට තිබිණ. පිළිතුරක් නොදුන් ෆියෝනා නැගී සිටියාය. වටපිට බැලූ නමුදු තමා ගෙන ආ ගමන් බෑගය නොමැත්තේ ස්වේතා එය තම කාමරය තුළට ගෙන යන්නට ඇතැයි ඇයට සිතිණ.

“මරණෙ දවසෙ ඉඳලම අපි දෙන්නා ඉන්නෙ මෙහේ. අභීතට උදව් කරන්නත් එපායැ. කාමරේට යන්න චූටි නංගි.”

ෆියෝනා සෙමෙන් සෙමෙන් ඉදිරියට පිය නැගුවාය. බිත්තියේ වූ අම්මාගේ විශාල ප්‍රමාණයේ සේයාරුවට පිච්ච මල් මාලයක් පළඳා තිබෙන අයුරු ඇය දුටුවාය. පහන් කණුවෙහි වූ මරණ දැන්වීමෙහි වූයේ ද එම පින්තූරය බව ෆියෝනා හඳුනා ගත්තාය. ඇය නතර වී මොහොතක් එදෙස බලා සිටියාය. අම්මා තමා හා සිනාසෙන්නාක් මෙනි.

“චූටි කුමාරි.”

කවර මොහොතක හෝ අම්මා පැමිණ තමා වැළඳගෙන මුහුණ සිප ගනු ඇත්දැයි ෆියෝනා බලා සිටියාය. එහෙත් ඇය ගොසිනි. යළිත් කිසිම දිනෙක නොඑන්නට අම්මා යන්නට ගොසිනි.

“අනේ අම්මා...”

මෙතෙක් තද කරගෙන සිටි වේදනාව නොදැනුවත්වම දෙනෙතින් පිටතට පනින බව ෆියෝනාට දැනිණ.

“අනේ අම්මා...”

ඇය හඬමින්ම ගොස් තම කාමරයට වැදී දොර වසා ගත්තාය. 

 

Comments