අනු­හස්, අවන්ත, මයික්, චබී සමඟ දෙවෙනි ඉනිම දර්ශන තල­යට යමු | Page 3 | සිළුමිණ

අනු­හස්, අවන්ත, මයික්, චබී සමඟ දෙවෙනි ඉනිම දර්ශන තල­යට යමු

පත්තර මහ ගෙදරින් අප රැගෙන පිටත්වු වෑන් රථය රාගම බෝ‍යිස් ටවුන් සොයාගෙන ඇදෙන්නට විය. කැමරා ශිල්පී ශාන් රූපස්සර ඉදිරි අසුනේ සිටිමින් වෑන් රථය අසලින් යන තරුණයකුගෙන් විමසුවේ මල්ලී බෝයිස් ටවුන් කොහේද කියායි.'ආ දෙවෙනි ඉනිම ෂූට් කරන තැන'ඒ තරුණයා පාර කීවේ සිනාසෙමිනි. ඔහු කී ලෙසින් පාර සොයාගෙන ගිය අපට හමුවුයේ අලංකාර පල්ලියකි. එහි වටපිටාව කතෝලික පරිසරයක සිරි ගෙනෙයි. මා සමග ගිය දිනමිණ පුවත්පතේ දිනුෂි එකවරම අක්කේ අර ඈත ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන්නේ ඒ කට්ටිය ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණයන් පිරිසක් වෙත අපගේ අවධානය යොමු කරවූවාය.

යොවුන් වයසේ තරුණයන් පෙළකි. සැබෑවටම මේ පාසල් සිසුන් පිරිසක් නේදැයි මට සිතුණි.පිට්ටනිට පුරා දුවන සිසුන්ට එකවරම

'ආ..ළමයි ඔහොම සෙල්ලම් කරල මදි..හොඳට..හොඳට.. 'යනුවෙන් කෑ ගසන ශබ්දයකි. හුරු පුරුදු හඬකි. රුවත් මේ දිනවල අතිශය ජනප්‍රියය.

ඒ දෙවැනි ඉනිමේ ක්‍රිකට් කෝචර් ලයනල් සඳුන්ය.

අපි මේ පැමිණ සිටින්නේ දෙරණ නාළිකාවෙන් විකාශය කෙරෙන දෙවෙනි ඉනිම දර්ශන තලයටයි .

කෝචර් ළඟට දුවගෙන එන සිසුන් සැබෑවටම ක්‍රිකට් ක්‍රිඩකයන් දැයි හැඟෙන තරමටම ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂය. කට්ට අවුවේ පිච්චෙමින් සැබෑවටම ක්‍රිකට් සෙල්ලම් කරන ඔවුන්ට මෙය නාට්‍ය රූ ගැන්වීමක් ලෙස නොසිතෙන තරම්ය.

ප්‍රධාන පුහුණුකරු ඒකනායක සර් කොහිදැයි විමසුවිට අපව රැගෙන ගියේ රංගන ශිල්පීන් විවේක ගන්නා කාමරයටයි.පිටපතක් කියවමින් සිටි පාලිත සිල්වා අප සමග සුපුරුදු ලෙසින් කතාව ඇරැඹීය.

' මා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දශක ගණනාවක සිට රැඳී සිටිනවා. මෙගා නාට්‍යයකට සම්බන්ධ වු පළමු වතාව මෙයයි. ඇත්තටම සතුටුයි මා ගත් තීරණය ගැන. අපේ රටේ මෙගා ටෙලිනාට්‍යයක් මෙතරම් ජනප්‍රිය වේයැයි කියා කීයටවත් සිතුවේ නැහැ. මෙගා නාට්‍යවල දක්නට ලැබෙන එක් ගුණාංගයක් තමයි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් කතාව ගෙතීමට ඇති හැකියාව. එය හොඳ පිටපත් රචකයකුට ලැබෙන හොඳ අවස්ථාවක්. දෙවෙනි ඉනිමේ පිටපත් රචක සමන් එදිරිමුණි එය හොඳ අවස්ථාවක් කරගෙන හොඳ පිටපතක් අපට ලබා දෙනවා. ඒ සඳහා අධ්‍යක්ෂ සාරංගගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් හොඳ සහායක් ලැබෙනවා.යොවුන් රංගන ශිල්පීන්, ශිල්පිනියන් සමූහයක් සමග රූ ගත කිරීම් කරන නිසාවෙන් කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. ඔවුන් හරිම සුහදශීලියි. ප්‍රවීණයන්ට ගරු කරනවා. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වැටිල තියෙන කාලයක් නිසාවෙන්ම වෙන්න ඇති දෙවෙනි ඉනිම මේ තරමටම රසිකයන් අතරට ගියේ. විශේෂයෙන් ක්‍රිකට් ලෝලීන් තමයි දෙවෙනි ඉනිමට ප්‍රිය කරන්නේ. මම හිතනවා තවත් මෙගා නාට්‍යයක් නොවී දෙවෙනි ඉනිම අවසානය දක්වා ප්‍රේක්ෂකයන් අතර රැඳී සිටින ටෙලිනාට්‍යයක් වේවි කියා.'

අප කතාකරමින් සිටියදී එතනට ආ ෂෙරාන්ගේ චරිතයට පණ දෙන නිරුක්ෂාන් 'ඒකනායක සර් .ඔයාගේ ෂූටිං පටන් ගත්තා 'කීය. නිරුක්ෂාන් බොහොම කඩිසරව රංගනයේ නියැළෙන ගමන්ම අනෙකුත් රංගන ශිල්පීන්ගේ ඕනෑ එපාකම් සොයා බලන්නේ මෙහි සහාය අධ්‍යක්ෂවරයකුගේ භූමිකාවෙහිද නිරතවෙමිනි.කලාවේ දිගු ගමනක පෙර නිමිති ඔහු කෙරෙන් දිස්වෙයි.

අනුහස්(රවීන් කනිෂ්ක) පුටුවක දිගාවී හොර රහසේම ඇමතුමකය. ඒ අසලට ළං වූ අපි 'කාටද කෝල් කරන්නේ වයිෆ්ටද 'කියා ඇසූවෙමු.

'මට ආරංචියි මම බැන්දා කියලා කතාවක් යනවා කියල. පත්තර කිහිපයකින්ම ඇහුව අනුහස් බැන්දේ නයනතාරාවද කියල. මට කියන්න තියෙන්නේ මම පෞද්ගලික දේවල් මාධ්‍යයට කියන්නේ නෑ කියන එක. දෙරණ ඩ්‍රිම්ස්ටාර් වලින් ප්‍රේක්ෂකයන් අතරට ආපු මගේ ජීවිතය සංගීතය. රඟපෑම මගේ සිතකවත් නොතිබුණු අහම්බයක්. එහෙත් නොසිතූ ලෙස රංගනයට යොමුවුණා. පාසලේදි ආසාවකටවත් රඟපාලත් නැහැ.ක්‍රිකට් ගහලත් නෑ. කුලියාපිටිය සෙන්ට්‍රල් එකේ වානිජ අංශයෙන් උසස් පෙළ හැදෑරූවා. දෙවෙනි ඉනිමට සම්බන්ධවීමත් සමග ක්‍රිකට් ක්‍රීඩාව ගැන තොරතුරු සෙවුවා. මා තුළ තිබෙන දක්ෂතාව තමයි ඕනෑම දෙයක් බලාගෙන කිරීමට ඇති හැකියාව. පාසලේදි සංගීතය හදාරා නැති වුවත් දෙරණ ඩ්‍රිම්ස්ටාර් තරගයෙන් ජයග්‍රහණය කරන්නට හැකිවුණා. ඉදිරියේදි අලුත් ගීත දෙකක් රසිකයන් වෙනුවෙන් එළිදැක්වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. අම්මා, තාත්තා, නංගි, මල්ලි, මගේ පවුලේ සාමාජිකයන්. මල්ලී වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතව සිටිනවා. නංගී ගුරු වෘත්තියේ නියැළෙනවා.දැන් රවීන්ට වඩා අනුහස් කියල තමයි ගොඩක් දෙනෙක් මට කතා කරන්නේ . ඒ අතරිනුත් ගෑනු ළමයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර වැඩියි. දෙරණ නාළිකාවටත්, අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් මහතා ඇතුළු සියලු දෙනාට ස්තූතියි දෙවෙනි ඉනිමට මාව සම්බන්ධකර ගැනීම පිළිබඳව.

(මුගේ නම හරියට පානුයි කරවලයි වගේනේ, කිසිම ගැලපීමක් නැහැ.ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ කෝච්කමට ලයනල් සඳුන් දැම්මනම් ටීම් එක ගොඩ. මේ දිනවල තරුණ තරුණියන්ගේ මුවෙහි නිතරම ඇති දෙබස්ය). මුහුණු පොතේද ලංකා ටීම් එකේ කෝච්ට වඩා ලයනල් සඳුන් ජනප්‍රිය චරිතයකි. ලයනල් සඳුන්ගේ චරිතය නිරූපණය කරන රයන්වෑන්ගෙන් අපි ඒ ගැන විමසුවා. 'ලයනල් සඳුන් කියන චරිතය මේ තරම් සාර්ථක වුණේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් ඇතුළු සියලු දෙනාගේ සහයෝගය නිසයි. මම පාසල් ගියේ දෙහිවල සෙන්මේරිස් කොලේජ් එකට. පාසලේදීත් ක්‍රිකට් සෙල්ලම්කළා.එය මෙම චරිතය සාර්ථකව කිරීමට පහසුවුණා. ඇතැම් රසිකයන් කියනව 'ලයනල් සර් ගම කනවා'. 'ඔය වගේ සර්ලා අපේ ඉස්කෝලෙත් ඉන්නවා කියා'. දෙවෙනි ඉනිම කියන්නේ මගේ ජීවිතයේ ඉනිමක්. ඉදිරියටත් එය‍ හොඳින් ක්‍රීඩා කරනවා.

අවන්ත(කෙෂාන් ශෂේන්ද්‍ර) පාසල් කොරිඩෝව දිගේ ඇවිදිමින් අමතක වු දෙබස් මතක්කරයි. ඔහු චරිතයේ මෙන්ම සැබෑ ජීවිතයේත් ආඩම්බරකාරයෙකැයි සිතෙයි. එහෙත් කතා බහ කිර ීමේදී කෙෂාන් නිහතමානි සුන්දර තරුණයකු බව තේරුම් ගත හැකියි.

'මගේ පවුලේ අම්මයි, තාත්තයි, අක්කයි, අයියයි ඉන්නේ . අයියයි, අක්කයි දෙන්නම විදෙස් ගතව ජීවත්වෙනවා. දැනට ගෙදර ඉන්නේ අම්මයි, තාත්තයි, මමයි, මගේ සුරතල් බල්ලයි. 2011 දෙරණ ඩ්‍රිම්ස්ටාර් වුණා. මෙයට පෙරත් ටෙලිනාට්‍යවල රඟපා තිබුණත් හොඳම කෲ එකක් ඉන්න ටෙලි නාට්‍යයක් දෙවෙනි ඉනිම. මේ දවස්වල පාරෙ යන්න බෑ ඇයි ඔච්චර අනුහස්ට වද දෙන්නෙ කියලා අහනවා.කොළඹ ආනන්ද විද්‍යාලයෙන් කලා අංශයෙන් උසස් පෙළ හැදෑරුවා.ක්‍රිකට් කියන්නේ මම කැමැතිම ක්‍රීඩාව. පාසල් යන කාලයේත් ක්‍රිකට් සෙල්ලම් කළා. මගේ තාත්තත් හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.ඉදිරියේදි ගීත ගායනයෙන් ඉදිරියට යෑම තමයි බලාපොරොත්තුව.'

පන්ති කාමරය තුළ දඟ වැඩ කරමින් යහළුවන් හිනස්වන මයික් කාගේත් සිත්ගත් චරිතයකි. ඔහු යොවුන් රංගන ශිල්පීන් සියලු දෙනාටම ගුරු හරුකම් දෙයි.කතාවේ මෙන්ම රූ ගත කිරීම් පසුවත් මයික්, චබී එකටමය. ඒ තරමටම සැබෑ ලෙන්ගතු මිතරන් වී ඇත. මයික් චරිතය ඔහුටම ආවේණිකය. කලාවට පැමිණ වසර 12ක් ගත වුවත්්‍ දෙනුවන් කැමැතිම ටෙලිනාට්‍ය මෙය බව පවසයි.

'ඉන්දීය ටෙලිනාට්‍ය අභිබවා යමින් ලාංකික මෙගා ටෙලිනාට්‍යයේ සන්ධිස්ථානයක් දෙවෙනි ඉනිම. මෙහි කොතරම් විහිළු තිබුණත් කිසිම විහිළුවකින් සමාජයට හානියක් වන්නෙ නෑ. ඒ තරමටම සමන් එදිරිමුණි කතාව සංයමයෙන් ගලායන ආකාරයට ලියනවා. මොරටුව වේල්ස් කුමර විදුහලෙන් පාසල් අධ්‍යාපනය හැදෑරූ කාලයට නැවතත් දිව යන්න හිතෙනවා මෙහි රංගනයේ ‍යෙදෙනවිට.

දෙවෙනි ඉනිමේ පාසල් සිසුවකු වුවත් දෙනුවන් ළඟදීම පියෙක් වීමට සැරසෙයි. ඒ ගැන ඔහු පවසන්නේ උතුරායන සතුටෙනි.

පෙනුමෙන් පුංචි වුවත් කටකාරකමත් හැඩකාරකමත් නොඅඩුව පිහිටා ඇති සොනාලි ටීචර්ට ළමයි හැමෝම ආදරය දක්වයි. සොනාලි ටීචර් ඇත්තටම ගුරුවරියක්දැයි සිතෙන තරමට ඇයගේ චරිතය තාත්විකය. රූ ගත කිරීමෙන් මිදුණු වෙලාවට ටීචර් ළමයින්ගේ කරේය.ඒ ගැන හිමායා මෙසේ කීවාය. 'මෙහි රූගත කරනවිට පාසල් කාලය මතක්වෙනවා. සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂවරයා සමග කලින් වැඩකර තිබුණත් දෙවැනි ඉනිමට මා සම්බන්ධකරගත්තේ තිර පරික්ෂණයකින් පසුවයි. මම හිතන්නේ සොනාලි ටීචර් මෙතරම් සාර්ථක හිමායා බණ්ඩාර ඇතුළේ සිටින නිවේදිකාව නිසා වෙන්න ඇති. ඒ පෞරුෂය, හඬ, සොනාලි ටීචර්ට ඉවහල් වුණා. ගුරුවරියකගේ හැසිරීම් රටාව කලක් අධ්‍යයනයකර ලස්සන තරුණ ටීචර් කෙනෙක් වුණා.ළමයින්ගෙන් ලැබෙන සහායත් නිසා සොනාලි ටීචර් තවත් සාර්ථකයි.'

දෙරණ ඩ්‍රිම්ස්ටාර් වේදිකාවේ හයවැනි ස්ථානය ලැබු චබියා (කනිෂ්ක)කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ආදිසිසුවෙකි.

'දෙවෙනි ඉනිමෙන් පෙන්වන්නේ අපේ පාසල් කාලයේ සිදුවු සිදුවීම්.ඒ නිසා රඟපානවා කියා අමුතුවෙන් කළ යුතු දෙයක් නෑ. පාසලේ සිටිය යාළුවො හමු වුණහම කියනව උඹලනම් තවම ඉස්කෝලෙ යනවා අපි තමයි ජොබ් කරන්නෙ අපිට කොහෙන්ද එහෙම පිනක් කියා. අම්ම, තාත්ත ඇරුණාම අක්කල දෙදෙනාගෙන්ම කලා කටයුතු සාර්ථක කරගැනීමට සහාය ලැබෙනවා. ඩ්‍රිම්ස්ටාර් වේදිකාවෙන් පසුව රසිකයන්ට අපිව අමතකව සිටියදී දෙවැනි ඉනිමට සම්බන්ධ වීමෙන් පසු නැවතත් රසිකයන් අතරට යන්න අවස්ථාව ලබාදුන් දෙරණට ස්තූතියි.'

අනුහස්ගේත් අවන්තගේත් මිතුරන් දෙපිළකි. අනුහස්ට මයික් සහ චබීත්, අවන්තට දනීෂ, ෂෙරාන් සහ සෆ්රාස් වෙති. මොවුන් දෙපිළකට වී දබර කරන්නේ බාලිකාවේ සිටින සමල්කා ඇතුළු යුවතියන්ගේ ආදරය දිනා ගැනීමටයි. දෙව්මිද අනුහස්ට සිතින් ආදරය කරමින් හඬා වැටෙයි. දෙවෙනි ඉනිම අවසානය කුමක් වෙයිද යන්න මෙහි රගන ශිල්පීන්වත් නොදනී. ඒ සමන් එදිරිමුණි දැනටත් මෙහි පිටපත ලියන නිසාවෙනි.

මෙහි සෆ්රාස් මහනුවර සිල්වෙස්ටර විදුහලේ සිසුවෙකි. 19න් පහළ කඳුරට කණ්ඩායම නියෝජනය කරමින් සිටින ඔහු ජාතික කණ්ඩායමට ක්‍රීඩාකිරීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි. අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස්, නිෂ්පාදිකා චාමිකා මෙන්ඩිස්, පිටපත සමන් එදිරිමුණි, ප්‍රධාන සහාය අධ්‍යක්ෂණය ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායක, නිෂ්පාදන කළමනාකරණය සහන් වර්ණකුලසූරිය, කැමරා අධ්‍යක්ෂණය නිෂාන් හසිත, අංග රචනය රසික සම්පත්,කලා අධ්‍යක්ෂණය දිලීප විජිතශාන්, ඇඳුම් ආභරණ නිර්මාණය චමිත් සුලක්ෂණ විජේසූරිය, සහ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීම පුෂ්පකුමාර ධර්මරත්න, ඉන්දික අනුරුද්ධ, නිෂ්පාදන සහායක චන්ද්‍රපාල බැද්දේගම යන දෙවෙනි ඉනිම කාර්ය මණ්ඩලය තිරයෙන් පිටුපසට වී කරන මහඟු කාර්ය භාරය සුවිශේෂිය. 

Comments