
ජනේලයෙන් එපිට තට්ටු කරන්නාක් මෙන් තියුණු ශබ්දයක් නැඟෙයි. එය රිද්මයකට නොනවත්වාම ඇසෙයි. මම ශබ්ද නොනැඟෙන සේ ඇඟිලි තුඩු අගින් ජනෙල් පියන වෙත පිය මැන්නෙමි. හාත්පස බැලුව ද ඒ ශබ්දය උපන්නේ කොතනින් දැයි මට සොයාගත නොහැකි විණි.
මම නිසොල්මනේ බලා සිටියෙමි. ජනේලයට මඳක් ඈතට වන්නට පිහිටි ඇඹරැල්ලා ගසේ කඳේ අනෙක් පසින් තියුණු හොටයක් සහිත කුඩා ඔළුවක් එබී බලයි. ඒ ආසන්නයෙන් ම ගසේ කඳේ නැවුම් කුඩා සිදුරක් තිබෙනු ඒ මොහොතේ මම දුටුවෙමි. අවට නිරීක්ෂණයෙන් අනතුරු පිළිබඳ අවදානමක් නැති බව පසක් කරගත් ඒ තියුණු හාරන්නා යළිත් අර සිදුර වෙත පැමිණියේ ය. සුපුරුදු පරිදි ටොක්... ටොක්.. මම ඒ කුඩා කුරුල්ලා කොට්ටෝරුවා දෙස බලා හුන්නෙමි. තද රතු පැහැති දීප්තිමත් පියාපත් කෙළවර කළු පැහැති ඉරකි. තියුණු විචක්ෂණශීලී ඔළුව නොනවත්වා හොලවමින් දැඩි ආයාසයකින් හා අධිෂ්ඨානයකින් යුතු ව ඌ දිගින් දිගට ම කඳ හාරමින් සිටියි. ඒ කුඩා පක්ෂියාගේ කුඩා සිරුරේ සැඟවී ඇති ශක්තිය හා අධිෂ්ඨානය තියුණු සැතක් වන් හොටට ආදේශ වී කඳ ටිකෙන් ටික රවුමට හෑරෙයි. තම නිෙවස හදා ගැනීමට වඩුවකු මෙන් වෙහෙස නොබලා මුළු දිනය පුරා ම ඌ නොනවත්වා වැඩ කළ අයුරු මම දවස පුරා බලා හුන්නෙමි.
සොබාදහම කෙතරම් අරුම ද? කෙන්දෙන් කෙන්ද එක්කර සොඳුරු නිවහනක් තනා ගන්නා වඩු කුරුල්ලා මෙන් ම කෝටු කිහිපයක් හා කම්බි කැබලි කිහිපයක් එක්කොට කූඩුවක් අටවා ගන්නා කාක්කා මෙන් ම කාක් කූඩුවේ හොරෙන් බිත්තර දමන කොවුලා ද මේ සොබාදහමේ ම නිමැවුම් නොවේද? විවිධත්වය විසින් පරිසරයට එක්කර ඇති සෞන්දර්යාත්මක බව කෙතරම් සොඳුරු ද?
මේ විවිධත්වය එහි සැබෑ ස්වරූපයෙන් විඳ ගැනීමට ඔබට හැකිද? නිරීක්ෂණයට ඔබේ හදවතේ හිමි ව ඇත්තේ කවර ස්ථානයක් ද? විවිධත්වය හඳුනාගැනීමට නම් නිරීක්ෂණය ඉතා වැදගත් ය. මේ ලොව කෙතරම් විස්මය දනවන සුළු දෙයින් සුසැඳුණක් ද යන්න ඔබට වැටහුණු මොහොතේ පටන් තනිකම ඔබෙන් ඉවතට යන්නට පටන් ගනියි. ඔබ දකින සෑම ක්‍රියාවක ම, සෑම සංසිද්ධියක ම අපූර්වත්වය ඔබ විඳිනට පටන් ගත් දා සිට ඔබේ ජීවිතයේ තනිකමට ඉඩක් නැත. ඒවා විවිධ ස්වරූපයෙන් පැමිණ ඔබ වෙනස් වෙනස් ලෝක වෙත කැඳවාගෙන යනු ඇත. ඒ චාරිකාවේ නිමග්න වෙන කිසිවකුට ලොව අරුත් සුන් යැයි සිතෙන්නේ නැත. ඒ දැකීම ළඟා කර ගැන්මට නම් තියුණු නිරීක්ෂණයක්, පුරුදු පුහුණු කළ සවන්දීමක් අවශ්‍ය වෙයි.
විවිධ ඉරියව්, හඬ ගෑම්, හැඬීම් හා බැණීම් ඇති පක්ෂීන්, සිහින් සර සරයෙන් සැලෙන පත්‍ර, ඒ මත දිලිසෙන පිනි බිඳු, මල් හා පෙම් කරන බඹරුන්, එකා පිටුපස එකා සංයමයෙන් ගමන් කරන කුහුඹු රෑන් ආදී සොබාදහමේ නන්විධ දෑ පිළිබඳ ව සන්සුන් ව බලන්නට ඔබට හැකිද?
මිනිසුන්ගේ විවිධ ඉරියව් දෙස ඔබ නිරීක්ෂණාත්මක දෑසින් බලා තිබේද? ඔවුන් ගමන් ගන්නා අයුරු, අල්ලාප සල්ලාපයේ යෙදෙන අයුරු, ඉඟි බිඟි පෑම්, සිනහා පාන විදි ඈ එකිනෙකට වෙනස් විවිධ ඉරියව් පිළිබඳ ඔබ අවධානයකින් පසු වුවහොත් ඔබට කිසිදාක තනිකමක් නොදැනෙනු ඇත. තියුණු නිරීක්ෂණ ශක්තියකින් හෙබි වූවන්ට නිර්මාණකරණයේදී එය මහඟු පිටිවහලක් ද වනු ඇත.
අහස්කුස ගිගිරුම් හඬට නදට තියුණු ව සවන් යොමන්න. කෑරලාගේ සිට රැහැයියා දක්වා විවිධ ස්වරූපයෙන් නඟන හඬ පිළිබඳ ව විමසිලිමත් වන්න. මිනිසා නඟන විවිධ ශබ්ද, සුසුම්ලෑම්, මුනු මුනු ගෑම්, ප්රහර්ශයේදී නැඟෙන ප්‍රීතිමත් කෙඳිරීම් ඈ නන්විධ ශබ්ද පිළිබඳ නිරීක්ෂණය කරන්න. මේ සියල්ල නිරයක් වන් ව ඇති මේ සමාජයේ අනේකවිධ දුර්ජනකම් මෛත්‍රියෙන් යුතු ව බැහැර කරන්නට පාර කියා දෙනු ඇත. නිරීක්ෂණය හා සවන්දීම කිසිදු පොතකින් නොලැබිය හැකි ආකාරයේ තියුණු ස්මරණයක්, දැනීමක්, බුද්ධියක් හා සංවේදී බවක් ඔබට තිළිණ කරනු ඇත.
නිරීක්ෂණය හා සවන්දීම දියුණු කළ ඇසිල්ලේ ඔබේ සිත අවදියෙන් බව ඔබට ම වැටහෙනු ඇත. චිත්‍ර ශිල්පියකුගේ වර්ණ සංකලනයන්ට හසු නොවන නේක වර්ණ පුෂ්ප, නේක වර්ණ සංයෝජනවලින් හැඩ වූ පක්ෂීන්, හිත නිවා සනහාලන සඳේ සෞම්‍ය කිරණ, ශක්තිය එක් කරන හිරු කිරණ මතු නොව මිනිස් භාව ද ඔබ වෙනම ලොවකට කැන්දාගෙන යනු ඇත. ඒ ලෝකයේ එකිනෙකාට වෛර කරමින්, අවමන් කරමින් සැරිසරන දුර්ජන ගති පැවතුම් සහිත වූවන් නැත. ඇත්තේ අපරිමිත දයාව, සෞන්දර්ය හා මෛත්‍රිය පමණී. පෙරළා ඔවුහු ඔබගෙන් බලාපොරොත්තු වන්නේ ද ඒ සෞම්‍ය බව ම පමණී.
සයිමන් නවගත්තේගම මායාකාරී ව පරිසරය හා බැඳෙමින් පරිසරයේ අපරිමිත සංසිද්ධීන් මිනිස් හැඟීම් හා මුසු කළ අපූරුව ගැන හිතන්න. මිනිස් චර්යාවන්ගේ සංකීර්ණ ස්වභාවය සුගතපාල ද සිල්වා සිය නවකතාවලට හා නාට්‍යවලට බද්ධ කළ අයුරු කෙතරම් විස්මයජනකද? මායාව යථාවක් ව අප ඉදිරියේ ප්‍රාදූර්භූත කළ ඉසබෙල් අයියන්දේ හා ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් සිය පරිකල්පනය මෙතරම් තීව්ර කරගත්තේ කෙසේදැයි සිතන්න. ඒ සිතිවිලි ධාරාව ඔබට ඔබේ ජීවිතයේ නොදුටු පැත්තක් විවර කර දෙනු නොඅනුමාන ය.