චූල වංශය | සිළුමිණ

චූල වංශය

ලංකා ඉතිහාසය හැදෑරීමේ දී මූලාශ්‍රය ග්‍රන්ථයක් වශයෙන් අද්විතීය ස්ථානයක පවත්නා මහා වංශයේ දෙවෙනි කොටස චූලවංශය නමින් ව්‍යවහාර කරනු ලැබේ. ලංකාවේ ඉතිහාස කථාව මුල පටන් මහසෙන් රජුගේ අවසානය දක්වා මහානාම හිමියන් විසින් රචනා කරන ලද බව අවිවාදයෙන් පිළිගත් කරුණකි. මහානාම හිමියන් ගේ රචනාව කොතරම් දරට රටවාසීන් විසින් සමභාවිතද යනු පැහැදිලි වන්නේ ඉන් පසුව විසූ උගතුන් විසින් වරින් වර එම වෘත්තාන්තය දිග් ගස්සමින් අඛණ්ඩ දීර්ඝ ඉතිහාස කථාවක් ගොතා තිබෙන අන්දම සලකන විටය. මහසෙන් රජුගෙන් අවසන් වන වෘත්තාන්තය මහාවංශය නමින්ද ඉන්පසු රචනා කරන ලද කොටස් චූලවංශය නමින්ද ව්‍යවහාර කරනු ලැබේ. එම කොටසට චූලවංශය යන නාමය ව්‍යවහාර කිරීම පිළිබඳව විවේචනයක යෙදුණු පණ්ඩිත යගිරල සිරිපඤ්ඤානන්ද නායක ස්වාමීන්ද්‍රයෝ ‍එසේ වෙන්කොට ව්‍යවහාර කිරීම කරුණු රහිත බව උන්වහන්සේ විසින් රචිත මහාවංශ තෘතීය භාගයේ ප්‍රස්තාවනාවෙහි සඳහන් කර ඇත. එහෙත් මෙසේ චූලවංශ මහාවංශ යන දෙවැදෑරුම් ව්‍යවහාරය ආරම්භ වී ඇත්තේ මෑතකදී නොව යටත් පිරිසෙයින් පොළොන්නරු යුගයේදී පටන් බවට සාධක තිබේ. සුළුවස යන වචනය කල්යාණවතී බිසවගේ කාලය අවසන් වී නොබෝ කලකින් පිහිටුවන ලදැයි සැලකෙන මිනිපේ සෙල්ලිපියෙහි සඳහන් වේ. දෙවැනි පරාක්‍රමබාහු රජුගේ කාලයෙහි රචිත පූජාවලියෙහිද මේ වචනය යෙදී තිබේ. මේ අනුව චූලවංශ ව්‍යවහාරය අපරික්ෂාකාරීත්වයෙන් ආරම්භ වූවක් ලෙස අතහැර දැමීම පහසු නොවන බව සැලකිය හැක.

චූලවංශය නමින් හඳුන්වන කොටස එක් වාරයකදී රචිත ග්‍රන්ථයක් නොවේ. වරින් වර රචනා කරන ලද මේ කොටසේ කර්තෘවරයන් කිහිපදෙනෙකු ලෙස සලකනු ලැබේ. සිරිමෙවන් රජු පටන් පළමුවැනි පරාක්‍රමබාහුගේ කාලය අවසන් කොට ඇති කොටස පළමුවැන්න වශයෙන්ද දෙවැනි විජයබාහුගේ පටන් දෙවැනි පරාක්‍රමබාහුගේ අවසන තෙක් දෙවැන්න ලෙස ද එතැන් පටන් කීර්ති ශ්‍රී රාජසිංහ කාලය තෙක් තුන්වැනි කොටස ලෙස ද සලකා ඇත. මෙයින් පළමුවැනි කොටස පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ කාලයේ ‍මොග්ගල්ලාන හිමියන් විසින් රචිත යයි යගිරල පඤ්ඤානන්ද නායක හිමියෝ දැක්වූහ. ආචාර්ය ගෛගර් මහතා මේ රටේ පැවති පරම්පරාගත මතයක් අනුගමනය කරමින් මේ කොටස ලියන ලද්දේ ධර්මකීර්ති නම් තෙර කෙනෙකු ලෙස කල්පනා කරයි. එසේ වුවද එය ස්ථිර කිරීමට කරුණු දක්වා නැති බව මෑතදී ලංකා විශ්ව විද්‍යාලයයනේ සම්පාදනය කරන ලංකා ඉතිහාසයේ සඳහන් කර ඇත. .............. ලිපියක එබඳු සටහන් කිරීමක් හැර ගෛගර් මතය ස්ථිර කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට සාධක ඇද්දැයි සොයා බැලීමට යම්තමින්වත් වෑයමක් දරා නොතිබීම බලවත් ඌනතාවක් ලෙස සැලකිය හැකිය. ධර්ම කීර්ති කර්තෘත්වයට වඩා මොග්ගල්ලාන කර්තෘත්වය සහේතුක බව දැක්වීමට යගිරල නායක හිමියෝ කරුණු කිහිපයක් ඉදිරිපත් කළහ. ඒ කරුණු වැදගත් කොට සැලකීමට ඉඩ තිබේ.

චූලවංශයේ පරාක්‍රමබාහු චරිතය ඇතුළත් කොටස රචනා කරන ලද්දේ පළමුවැනි පරාක්‍රමබාහු ජීවත්ව සිටියදී බව පැහැදිලි කර ගැනීමට කරුණු තිබේ. එහි කර්තෘවරයා ස්වකීය රචනාව කරමින් පරාක්‍රමබාහු රජතුමාගේ පඬිරට ජයග්‍රහණය කිරීම තෙක් සිදු වූ ඓතිහාසික තොරතුරු පැහැදිලි ලෙස සඳහන් කළ අතර ජයග්‍රහණය නිමිත්තෙන් පණ්ඩුවිජය නම් ගමක් කරවා බ්‍රාහ්මණයන්ට පරිත්‍යාග කළ බව දක්වමින් ඒ පරිච්ඡේදය අවසන් කර තිබේ. ඉන්පසු වර්ණනා කර ඇත්තේ අභිෂේකයේ පටන් කරන ලද ලෝකශාසන ක්‍රියා ගැනය. ඉන්දියානු ලේඛනවල සඳහන් වන පරිදි පඬිරට යුද්ධයේ පසුව සිදුවීම් කිසිවක් සඳහන් නොවීමෙන් පෙනෙන්නේ ඒ සිදුවීම්වලට පෙර ඒ රචනා කර ඇති බවයි. එසේම ඒ කොටස රචනා කිරීමේදී එහි කර්තෘවරයා තමන් දුටු දෙය සාධක ලෙස ගත් බව පෙනේ.

තතො සිංගයුගේ තම්හි අකඛරානි ලිඛාපිය

භණ්ඩාගාරෙ පවෙසෙසුං තදජ්ජාති පවත්තතී (68 පි. 52 ගා.)

පොළොන්නරුවේ භාණ්ඩාගාරයේ තැන්පත් කර තිබූ අං යුවල මේ රචනාව කළ කාලයේ පවා ඒ අන්දමින් තිබුණු බව අජ්ජාපි පවත්තති යි වර්තමාන ක්‍රියාවකින් යොදා තිබීම නිසා පැහැදිලි වේ. පොළොන්නරු යුගයේ ග්‍රන්ථ කර්තෘවරයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් ධර්ම කීර්ති ස්ථවිර කෙනෙකු අප්‍රකටය. දඹදෙනි යුග‍යේ විසූ ධර්ම කීර්ති හිමියන් විසින් මේ කොටස රචනා කරන ලද නම් ඉහත කී යෙදීම කිසිසේත් වර්තමාන ක්‍රියාවකින් යෙදිය නොහැකියාවක් මෙන්ම ඒ වනවිට පොළොන්නරුවේ රාජභාණ්ඩාගාරයන්හි එබඳු වස්තුව තබා ගොඩනැගිලිවත් ආරක්ෂා සහිතව තිබුණේ යයි කිව නොහැකි හෙයින් ඒ කෞතුක භාණ්ඩ දැක ඒ වෙලාවේම කරන ප්‍රකාශයක් ලෙස සඳහන් කිරීමට මොන අන්දමකින්වත් හැකිකමක් නැත. මෙයින් පැහැදිලි වන්නේ ධර්ම කීර්ති ස්ථවිරයන් වහන්සේ වැනි පශ්චාත් කාලීනයෙකු නොව පොළොන්නරු රාජ භාණ්ඩාගාරය පරාක්‍රමබාහු රජු විසින් සකස් කළ අන්දමට පැවතිය දීම දුටු කෙනෙකු මේ කොටස රචනා කළ බවයි. පඬිරට යුද්ධයේ පසුව සිදුවූ පරාජය ගැන කිසිවක් සඳහන් නොකරන ලද්දේ එහි කතුවරයා කථානායකයාට අපහාසයක් වෙතැයි සිතා එයින් මුදවාගැනීම පිණිස යනු සමහරුන්ගේ කල්පනාව වුවත් එය හේතු සහිත නොවේ.

මේ සමඟම අපට පෙනෙන තවත් කරුණක් නම් මහසෙන් රජුගේ ඇවෑමෙන් පසු පරාක්‍රමබාහු අවසන් වනතුරු වංශකතාව එක් කතුවරයෙකුගේ යයි පිළිගැනීමට ඉඩ නැති බවයි. ඒ කොටසද වරින් වර රචනා කළ බවට සාධක ඇති හෙයිනි. සිරිමෙවන් රජුගේ පටන් පස්වෙනි මිහිඳු තෙක් ඇති කොටස කරුණු සම්පිණ්ඩනය; රචනා ශෛලිය යන දෙකින් සමාන බව උගතුන්ග් කල්පනාවයි. එහෙත් ඒ ගැනද සැලකිය යුතු කරුණු දක්වමින් විවේචනයක් කර නොමැත. ඉහත කී දෙකරුණෙන් පමණක් නොව ඒ කොටස වෙනම කතුවරයෙකුගේ බව සැලකීමට බලවත් සාධකයක් සිරිමේඝවණ්ණ වෘත්තාන්තයෙහි දැක්වෙන මහින්දෝත්සවය පිළිබඳ පුවත ඇසුරෙන් ලැබේ. සිරිමෙවන් රජතුමා මහින්ද ප්‍රතිමාව රණින් කරවා ඒ පිළිබඳව උත්සවය කරවූ අන්දමත් එය වර්ෂයක් පාසා පැවැත්වීමට නියම කරවූ බවත් ඒ නියමය ආරක්ෂා කළ රජවරුන් ඒ කොටස රචනා කළ කාලය දක්වා පෙරහැර පැවැත්වූ බවත් මෙසේ සඳහන් කර තිබේ.

තස්සා මනුරකඛන්තා රාජාතබ්බංසිකාඉධ

යාවජ්ජ පරි රකඛන්ති තං විධිංන විනාසිය (ම.ව 37ප, 89 ගා)

මෙහි පරිරකඛන්ති යන වර්තමාන ක්‍රියාව යොදා ඇතිවා පමණක් නොව යාවඅජ්ජ (අද දක්වා) යයි පැහැදිලි ලෙසම සඳහන් කොට තිබේ. මෙහි දැක්වූ අජ්ජ - යන දිනය කවර කලෙක දැයි පැහැදිලි නැත. එහෙත් මේ දවස ඒ කොටස රචනා කළ කතුවරයාගේ කාලයට අයත් බව නිසැකය. එසේම මේ උත්සවය පවත්වා ඇත්තේ මිහින්තලය අනුරාධපුරය යන දෙකෙහි හෝ අනුරාධපුරයෙහි විය යුතුය. එනිසා අනුරාධපුරය පිරිහීමට පෙර මෙකී දිනය ලෙස කල්පනා කළ හැකිය. මහාපරාක්‍රමබාහු රජුගේ සියළු පුණ්‍ය ක්‍රියා වංශකථාවේ විස්තර කර ඇතත් අනුරාධපුරයෙහි මහින්දෝත්සවයක් පැවැත්වූ බව කිසිතැනක සඳහන් වී නොමැත. එනිසා පරාක්‍රමබාහු කාලයේ සිටි වංශකථා රචකයා තමන් දුටු දෙය ආශ්‍රය කොට වංශකථාව රචනා කළත් මහින්දෝත්සවය දක්නට නොලැබුණු බව නම් නිසැකය. එපමණක් නොව මහාවිජයබාහුරජතුමාගේ කාලයේද කරන ලද වැදගත් පුණ්‍යක්‍රියා විස්තර කොට ඇති හෙයින් ඒ අනුව ද මහින්ද උත්සවයක් ගැන හෝඩුවාවක් සොයා ගැනීමට අවකාශයක් නැත. මේ කරුණු අනුව චූලවංශයේ එක් කොටසක් රචනාකර ඇත්තේ පොළොන්නරු යුගය ආරම්භ වීමට පළමුවෙන් බව කල්පනා කළ හැකිය.

එසේම පෙර නියමයේ අන්දමට මේ උත්සවය පැවැත්වූයේ නම් මිහින්තලේ විහාරය එයට සම්බන්ධ විය යුතුය. පොළොන්නරු යුගය ආරම්භවීමට ස්වල්ප කලකට පෙර පිහිටුවන ලද මිහින්තලය විහාරය සම්බන්ධ සියලු සිරිත් විරිත් ඇතුළත් මිහින්තලේ පුවරු ලිපිය අපේ සැලකිල්ලට භාජන කිරීම ප්‍රයෝජනවත් වේ. ඒ ලේඛනයෙහි රුවනසුන් මහබෝමඟුල නමින් උත්සවයක් ගැන සඳහන්ව ඇතත් මහින්දෝසවය ගැන සඳහන් ව නැත. එහෙත් සිරිමෙවන් රජුගේ උත්සවය වර්ණනා කරන වංශකථා කතුවරයා මහින්ද ප්‍රතිමාව අනුරාධපුර නගරයට වැඩම කරවීම රුවන්සුතුර දේශනාවට විශාලාවට බුදුන්වැඩම කරවීමේ ආකාරය දක්වමින් කළ බවත් බෝධියංගනයෙහි තෙමසක් පුදසත්කාර කරමින් උත්සවය පැවැත්වූ බවත් සඳහන් කර තිබේ. චූලවංශ කතුවරයා එකී වර්ණනාව තමන් දුටුදෙයක් අනුගමනය කරමින් රචනා කරන ලදැයි සලකතොත් ඔහු දුටු මහින්දෝත්සවයේ ඉහතකී ලක්ෂණ තිබෙන්නට ඇතැයි සිතිය හැකිය. එසේ වුවහොත් අනුරාධපුර අගභාගයේ පැවති රුවනසුන් මහබෝමඟුල සිරිමෙවන් කාලයේ පටන් පැවති මහින්දෝත්සවයදැයි අනුමාන කිරීමට ඉඩ තිබේ.

වංශකථාවේ සඳහන්වන උත්සවය ආරම්භ වූයේ පුබ්බකත්තික මාසයෙහි වුවත් මිහින්තලේ පුවරු ලිපියෙහි සඳහන් උත්සවය පැවැත්වූ කාලය තේරුම් ගැනීමට ක්‍රමයක් නැත. ජේතවනාරාම අංක 1 දරණ ලිපිය යයි ව්‍යවහාර කරන අභයගිරියෙහි පිහිටි පුවරු ලිපියෙහි 44 පෙළෙහි වාක්‍යඛණ්ඩයක පොසොනැපුර දසවක් දවස මිහිඳුහිමියන් සිහිපත්කර කිසියම් උත්සවයක් හෝ පූජාවක් කළ බව සඳහන්ව තිබේ. මේ ලේඛනය බෙහෙවින් ගෙවීගිය එකකි. එසේම මේ ලේඛන කිහිපයේම කාල නිර්ණයද සැක සහිතය. එහෙත් මේවා පොළොන්නරු කාලයට පෙර බව නිසැකය. ඉහතකී ලේඛනවල හැර පොළොන්නරු කාලයට අයත් යයි සැලකෙන කිසිදු ලේඛනයක මිහිඳු උත්සවය ගැන සඳහන් වී නැත. මේ කරුණු සියල්ල සැලකීමේදී චූලවංශ කතුවරයා අජජශබ්දයෙන් නිර්දිෂ්ඨ මිහිඳුපෙරහැර දුටු දවස පොළොන්නරු පුර යුගයෙන් පෙරබව නිසැක ලෙස සිතාගත හැකිය. ඒ සමඟම පූර්වෝක්ත පරිදි ශෛලීය හා කරුණු සම්පිණ්ඩනය යන දෙක එක්කොට සලකා බැලීමේදී සිරිමෙවන් රජුගේ පටන් පස්වැනි මිහිඳුතෙක් ඇති කොටස පොළොන්නරු යුගය ආරම්භවීමට පෙර අනුරාධපුර යුගයේ අවසාන භාගයේදී රචනා කරන ලද බව තීරණය කළ යුතුය. එහෙත් එහි කතුවරයා ගැන යමක් කීමට මේ තාක් කරුණු දුර්ලභය.

එතැන් පටන් පළමුවැනි පරාක්‍රමබාහුගේ අවසානය දක්වා කොටස පරාක්‍රමබාහු චරිතය ප්‍රධාන වශයෙන් ගෙන රචනා කරන ලදැයි ද එහි කතුවරයා කලින් සඳහන් කළ පරිදි මොග්ගල්ලාන හිමියන් ලෙස ද සැලකීම යෝග්‍යය. මේ කොටස රචනා කිරීමේදී රුහුණේ ප්‍රවෘත්තිවලින් පටන් ගැනීමත් ඒ කාලය පිළිබඳ තවත් වැදගත් කරුණු අතහැර දැමීමක් හෝ අත්හැරීයාම සිදුවී ඇති බවත් සැලකිල්ලට ගත යුතුය. විජයබාහු රජුගේ පරම්පරාව දැක්වීම ආකූල අන්දමින් සඳහන්ව ඇති බව විශේෂයෙන් සැලකිය හැකිය. සමහරවිට ඒ කොටසේ කතුවරයාට ලැබුණු රාජකීය පුඤ්ඤපොත්ථක (පිංපොත්) අනුව හෝ (මෑතදී පැහැදිළි වූ අන්දමට) පරම්පරාපුස්තකයන්හි සඳහන්ව තුබූ අන්දමට කරුණු සකස් කර ගන්නට ඇතැයි සැලකීමට ඉඩ තිබේ. අනෙක් අතින් පොළොන්නරු යුගය පිළිබඳ සමීපතම වාර්තා මේ කොටසේ ඇතුළත්ව තිබීම වැදගත් ලෙස ගණන් ගත හැකිය.

දෙවැනි විජයබාහුගේ පටන් දෙවැනි පරාක්‍රම රජ තෙක් කොටස ධර්මකීර්ති හිමියන් විසින් රචනා කරන ලද බව සැලකිය හැකිය. ඒ කොටසේ කථානායකයා වශයෙන් දෙවැනි පරාක්‍රම බාහු රජු තෝරාගෙන ඇත. දෙවැනි විජයබාහුගේ පටන් වියවුල් කාලය පිළිබඳ තොරතුරු බොහෝ සැකවින්ද දෙවැනි පරාක්‍රමබාහු රජුගේ ප්‍රවෘත්තිය විස්තරවද සංග්‍රහ කර ඇත.

දෙවැනි පරාක්‍රමබාහු ගෙන් පසු වෘත්තාන්තද එකම කතුවරයෙකුට අයත් කිරීමට වඩා කීප දෙනෙකුගේ ලෙස සැලකීම යෝග්‍ය ලෙස සැලකිය හැකිය.

Comments