
යම් අදහසක් සමාජයට ඉදිරිපත් කරපු පමණින් ඒක සමාජගත වෙයි කියලාවත් ඒ අදහස්වලින් බලාපොරාත්තු වෙන සමාජ විපර්යාසය සිදුවෙයි කියලාවත් හිතන්න බෑ. කොහොම වුණත් අපේ සමාජයට ඕනකරන්නේ මාක්ස් බලාපොරොත්තු වුණා වගේ සමාජය උඩ යට පෙරළන වෙනසක් නම් නෙවෙයි. ඒ විදිහේ පෙරළිවලින් වෙන්නේ සමාජයේ එක පැලැන්තියක් වෙනුවට තවත් පැලැන්තියක් බලයට පත්වෙන එක විතරයි. මොන පැලැන්තිය බලයට ආවත් ඒ අය විසින් හසුරුවන බලය අවම කරන විදිහක් ගැනැයි අපි හිතන්න ඕන.
ඉවරයක් නැතුව උදේ දවල් රෑ දේශපාලනඥයන්ට බැණ බැණ හිටියා කියලා අපිට විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. පුළු පුළුවන් විදිහට පොඩි පොඩියට හරි අපේ ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න වැඩේ අපි පටන්ගන්න ඕන. අද අපේ සමාජය පෙළන ප්‍රශ්න දවසකින් දෙකකින් විසඳන්න පුළුවන් කියලා මේ ලේඛකයා විශ්වාසකරන්නේ නෑ. ඉතින් මේ ලිපි පෙළින් ඉදිරිපත් කරපු අදහස් අදාළවෙන්නේ තරමක් දීර්ඝකාලීන, සැලැසුම් සහගත වැඩපිළිවෙළකට. තමන් ගේ ප්‍රශ්නවලට ක්ෂණික විසඳුම් හොයන සමාජයක ජීවත්වෙන අපිට මේ වගේ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ගැන හිත යොමුකරන එක ඒ තරම් ලේසි වැඩක් නෙවෙයි.
සැලැසුම් සහගත දීර්ඝකාලීන කටයුත්තක් සසඳන්න පුළුවන් කාවන්තිස්ස මහ රජතුමා අනුගමනය කරපු වැඩපිළිවෙළත් එක්ක. එතුමා යෝධයන් හැදුවා. තමන්ට ගෑනු ඇඳුම් එවද්දී පවා ඒ අපහාසවලින් කම්පා නොවී පිළිවෙළකට අපේ හමුදා බලය තර කළා. ඉතින් අපේ ජාතියේ මහා වීරයා කියලා අපි සලකන දුටුගැමුණු මහ රජතුමා බිහිවුණේ ඒ වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් විදිහට. ඉතින් ඒ විදිහේ ක්‍රමවත් දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ගැන හිතන්න ඕන කාලයක් ආයෙත් ඇවිල්ලා. මේ වගේ වැඩපිළිවෙළක ප්‍රතිඵල අපේ ජීවිත කාලයේ නොලැබෙන්නත් පුළුවන්. මේ හැම දෙයක් ම තීරණය වෙන්නේ අපේ අය කොච්චර බුද්ධිමත් ද අපේ අයට කොච්චර ඉවසීමක් තියෙනවා ද කියන කාරණා උඩ. ඉතින් අපේ සමාජය අපි කරන කියන දේ අගයකරන්නේ නෑ කියලා, අපි කරන කියන දේවල්වල ප්‍රතිඵල තරමක් කෙටි කාලයක් ඇතුළත අපිට දකින්න නො ලැබුණා කියලා කලකිරෙන්න පුළුවන්කමක් අපිට නෑ. මේ හැම දෙයක් ම වෙද්දි වෙනදාටත් වඩා ඉවසීමකින් හා ධෛර්යකින් ඉස්සරහට යන්න පුළුවන්කමක් අපිට තියෙන්න ඕනේ.
මේ විදිහේ වැඩ විවිධ මට්ටම්වලින් වෙන්න පුළුවන්. ආරම්භක අවස්ථාවේ දී මේවා හුදෙක් ම තනි තනි පුද්ගලයන් ගේ අදහස් පළකිරීම්වලට සීමාවෙච්ච හුදෙකලා සටන්. මාක්ස්වාදී අදහස් සමාජයට මුලින් ම ඉදිරිපත් කළේ තනි පුද්ගලයෙක්නේ. සමාජවාදය ගැන, ආර්ථිකය ගැන තමන් ගේ අදහස් මාක්ස් මුලින් ම ලිව්වේ පත්තරේකට. ඒත් පස්සේ කාලයක ඔහු ප්‍රශයේ පැරිස් නුවර පදිංචියට ගියා. එහි දී මුණගැහිච්ච ෆෙඩ්රික් එංගල්ස් තමයි වැඩකරන පන්තියක් ගැන අදහස මාක්ස්ට කියලා දුන්නේ. ඒ දෙන්නා එකතුවෙලා කොමියුනිස්ට් ප්‍රකාශනය කියන ලියැවිල්ල ලිව්වේ ඊටත් අවුරුදු හතරකට පස්සේ. ඉතින් තවත් කාලයක් ගතවුණාට පස්සේ තමයි ඒවාට යම් ආකාරයක හරි සමාජ පිළිගැනීමක් ලැබුණේ. කොමියුනිස්ට් ප්‍රකාශනය ලියලා අවුරුදු තිස්පහකට පස්සේ මාක්ස් මියගියා. ඊට පස්සේ තවත් අවුරුදු තිස්පහක් විතර ගතවුනා ම තමයි ඒ කොමියුනිස්ට්වාදී අදහස්වලට ලෙනින් ගේ අදහසුත් එකතුවෙලා සමාජවාදයේ නාමයෙන් මුල් වරට විප්ලවයක් සිද්ධ වුණේ.
ඉතින් යම් අදහසක් සමාජයට ඉදිරිපත් කරපු පමණින් ඒක සමාජගත වෙයි කියලාවත් ඒ අදහස්වලින් බලාපොරාත්තු වෙන සමාජ විපර්යාසය සිදුවෙයි කියලාවත් හිතන්න බෑ. කොහොම වුණත් අපේ සමාජයට ඕනකරන්නේ මාක්ස් බලාපොරොත්තු වුණා වගේ සමාජය උඩ යට පෙරළන වෙනසක් නම් නෙවෙයි. ඒ විදිහේ පෙරළිවලින් වෙන්නේ සමාජයේ එක පැලැන්තියක් වෙනුවට තවත් පැලැන්තියක් බලයට පත්වෙන එක විතරයි. මොන පැලැන්තිය බලයට ආවත් ඒ අය විසින් හසුරුවන බලය අවම කරන විදිහක් ගැනැයි අපි හිතන්න ඕන. මේ ලිපි පෙළේ දී ඒ පිළිබඳවත් යම් පමණකින් අදහස් ඉදිරිපත් කළා. රටේ හමුදා පාලනය කරන වැඩේ, නීති හදන වැඩේ වගේ ලොකු ලොකු වැඩ ආණ්ඩුව තියාගත්තාට කමක් නෑ. ඒත් අනිත් වැඩ මිනිස්සුන්ට ම පවරගන්න විදිහක් ගැන අපි හිතන්න ඕන.
අනිත් වැදගත් ම කාරණය තමයි මාක්ස් වගේ අයන්නේ ආයන්නේ ඉඳලා ම මුල ඉඳලා හදාගත්ත මතවාදයක් අපි ඉදිරිපත්කරන්නේ නෑ කියන එක තේරුම්ගන්න එක. අපි උත්සාහකරන්න ඕන අපේ අතීත අත්දැකීම් උඩත් පදනම්වෙලා අද තියෙන දේවල්වලිනුත් පාඩම් ඉගෙනගෙන අපිට ගැළපෙන සමාජ ආර්ථික ක්‍රමයක් ගැන වැඩපිළිවෙළක් සකස් කරගන්න එක. ඉතින් මාක්ස්වාදීන් බලාගෙන ඉන්නවා වගේ මහා දීර්ඝ කාලයක් බලාගෙන ඉන්න අපිට සිද්ධවෙන එකක් නෑ.
ඒ වගේ ම, මුළු ලෝකයේ ම තියෙන සියලු ලෙඩ රෝග සනීපකරන තෛලයක් හිඳින්න ඕනකමකුත් අපිට නෑ. අපිට ඕනකරන්නේ අපේ දැන් තියෙන අවුල් නැති කරගන්න පුළුවන් විදිහේ විසඳුමක් විතරයි. අනිත් රටවල්වල අයත් ඒ අයට කැමැති කැමැති විදිහට ඒ අය ගේ ප්‍රශ්න විසඳාගත්තාව ඉතින් මේ කරුණු කාරණා ගැන සලකලා මේ ලිපි පෙළෙන් ඉදිරිපත් කළේ අපේ සමාජ - ආර්ථික ප්‍රශ්න විසඳගන්න පුළුවන් ආකාරයේ මූලික අදහස් කීපයකි.
ආර්ථික වශයෙන් අපේ ගම් ශක්තිමත් කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැනත් ඒ අදහස්වලින් ප්‍රකාශ කෙරුණා. දැනට ආණ්ඩුව පවරාගෙන ඉන්න තැපැල් සේවා, ප්‍රවාහන සේවා වගේ දේවල් මිනිස්සුන්ට පවරාගන්න පුළුවන් ක්‍රම ගැනත් කරුණු කිව්වා. අලුත් රැකියා, ආදායම් මාර්ග උත්පාදනය කරගන්න මඟ සලස්වගන්න පුළුවන් අන්තර්ජාතික බෙර වාදන සහ වෙස් මුහුණු උත්සවයක් ගැනත් සිංහ කුසලානයක් වෙනුවෙන් සූරියවැවේ පවත්වන්න පුළුවන්.අන්තර්ජාතික පාපන්දු තරගාවලියක් ගැනත් කරුණු කිව්වා. අපේ ආර්ථික ශක්තිය තර කරගැනීම වෙනුවෙන් කරන්න පුළුවන් දේ තවත් තියෙනවා. ඒත් ඒ හැම දෙයක් ම කියව කියවා ඉඳලා හරියන්නේ නැහැනෙ.
අද අපේ සමාජය පෙළන ලොකු ම ව්‍යාධිය තමයි අපි කල්ලි කණ්ඩායම්වලට බෙදිලා කා කොටගන්න එක. ඒ ගැනත් මේ ලිපි පෙළින් පෙන්නලා දුන්නා. මමත්වය ඉස්මතු කරගෙන අනුන් හෙළා තළා කතාකිරීමේ රෝගය ගැනත් කරුණු කිව්වා. යෝධයෝ හදාගන්න ඕන බවත් වීරයන් නොමැරිය යුතු බවත් පෙන්නලා දුන්නා. විවිධ බාහිර උපද්‍රව හින්දා අපේ සමාජයේ ඇතිවෙලා තියෙන ගැටලුවලින් ගොඩ එන්න කියලා හිතාගෙන අපි කරන කියන දේවල් ඉතා උපක්‍රමශීලි ව කළ යතු බවත් පෙන්නලා දුන්න.
අවසාන වශයෙන් සාකච්ඡා කළේ අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන එක්තරා අඩුවක් ගැන. අපි අපේ ළමයින්ට ගම ගැන කියලා දෙන්නේ නෑ. අපේ රටේ ජනගහනයෙන් බහුතරයක් ගම්වල ජීවත්වෙන වාතාවරණයක ගම ගැන කියලා නොදෙන එක විශාල අඩුවක්. ඇත්තෙන් ම ළමයින්ට වුවමනා කරන ප්‍රාථමික අධ්‍යාපනය ලබාදෙන එක ගමට ම වුණත් කරගන්න පුළුවන්. ඒකට වුවමනාකරන උදව් ආණ්ඩුවෙන් ලබාගත්තා ම ඇති. 1960 අවුරුද්දේ මැතිවරණයක් වෙනුවෙන් එල්. එච්. මෙත්තානන්ද මහත්තයා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයක ප්‍රාථමික අධ්‍යාපනය ගම් සභාවට පවරන්න ඕන කියලා තිබුණු බවක් මේ ලේඛකයා කියවලා තියෙනවා.
කොහොම වුණත් මේ කිසිම දෙයක් සමාජයේ වර්ධනය වෙන්න ඉඩ නො දී පිටින් ගෙනැල්ලා පැළ කරන්න පුළුවන් කියලා මේ ලේඛකයා හිතන්නේ නෑ. අද අපිට ඕන කරන්නේ අපේ රටේ මිනිස්සුන් ගේ අදහස්, ආකල්ප වෙනස්කරන්න පුළුවන් විදිහේ සමාජ ව්‍යාපාරයක්. ස්වශක්තියෙන් නැඟිටින්න පුළුවන් කියලා හිතන මිනිස්සු ඇති වුණොත් තමයි ඒ විදිහේ අදහස් තියෙන දේශපාලන නායකයෝත් බිහිවෙන්නේ. දේශපාලනඥයෝ කියන්නේ සමාජයෙන් ම බිහිවෙන පිරිසක්නේ. ඉතින් තමන් ගේ වැඩ වෙනත් කවුරුවත් කරලා දෙයි කියලා හිතන සමාජයකට බෑ හොඳ ශක්තිමත් නායකයෝ බිහිකරගන්න. ඒ හින්දා දේශපාලනඥයන්ට ම දොස් නොකියා තම තමන් ගේ අඩුපාඩු හොයලා බලන්නත් අපි පුරුදුවෙන්න ඕන.
අපි යමක් කරලා පෙන්නන්න ඕන. එක ගමක් හරි පණගන්වගන්න අපිට පුළුවන් වෙන්න ඕන. ඉතින් මේ දේ කරන්න පුළුවන් කොහොම ද? ඇත්තෙන් ම අපේ රටේ ජාතියේ අභිවෘද්ධිය ගැන වදවෙන කොච්චරක් නම් පිරිසක් අපි අතර ඉන්නවා ද? ඉතින් ඒ අයට බැරිකමක් නෑ මේ විදිහේ වැඩපිළිවෙළක් වෙනුවෙන් මුල්වෙන්න. මේ වගේ දෙයක් වෙනුවෙන් සංවිධානය වෙන්නේ කොහොම ද, ඒ වෙනුවෙන් අවශ්‍ය අරමුදල් හොයාගන්න පුළුවන් මොන මාර්ගවලින් ද කියන එක ගැනත් හිතන්න ඕන තමයි.
කොහොම හරි අපි ගොඩ නඟාගන්න ඕන සැලැසුම් සහගත දීර්ඝකාලීන සමාජ ව්‍යාපාරයක්. අපේ ඉතිහාසයෙනුත් පාඩම් ඉගෙනගෙන ඒ කටයුත්ත කාවන්තිස්ස වැඩපිළිවෙළක් විදිහට නම්කරන්න මේ ලේඛකයා කැමැතියි. මේ වගේ කාර්යයක් වෙනුවෙන් උවමනාකරන දැනුම, උපදෙස්, අවවාද අනුශාසනා පාඨකයන්ගෙන් ලබාගන්නත් මේ ලේඛකයා කැමැතියි.