කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

මහරු බිම් කඩක

වැපු­රු­වෙමි
රන් බිජු
මහඟු අස්වැ­න්නක් පිණිස නොව...

ඇස හරිත පැහැ විඳින්න
සිත සිහි­ල­සින් තෙමන්න
මද පවනෙ ගත වෙළන්න

සිහින් කඳු­ලැළි ඉස ඉස
ළඟ ළඟම නිති රැඳෙන්න
මල් පිපෙන හැටි බලන්න
දළු රිකි­ලි­වල එතෙන්න‍
මහඟු පල වැල බුදින්න
මටම විත­රක් කියා
ජීවි­තය යස දකින්න...

එහෙත්;
නොහැකි බව
මටම විත­රක් ලබන්න
දැනෙන විට
හැකිද කරබා හිඳින්න
නිසා­චර හැඟුම් විඳින්න
ගෝචර සිතට කියන්න...


ධම්මි අනු­ර­පුර


ගංගා­වක ජීවන අවධි

සිහින් සරින් සුදු පෙණ කැටි විසුරු වමින්
කඳු මුදු­නින් බැස කිරි කැටි බිලිඳු වෙසින්
අවට සහය ලැබ වැඩෙ­මින් නිමල ලෙසින්
පළමු ළදරු වියෙ අසි­රිය මවයි නොමින්

පෙර­ළි­කාර බව නිති­යෙන් පළ කර­මින්
නොබි­යව ගිරි­හි­සින් පැන දිය­ඇලි සද­මින්
හමු­වන විවිධ බාධක පෙරළා දම­මින්
යෞවන වියේ ශක්තිය විදහා පාමින්

පරි­ණත බවින් අභි­යෝ­ගත් පසු බාමින්
මහා බරක් ගෙන සිය­තට ගමන සෙමින්
දඟර සහිත ගම­නක ඉසු­ඹුව ලබ­මින්
නිමා නොවන ගම­නක මහ­ලුව සන්සුන්


අමිතා කුමාරි දිවා­රත්න


කෙළි කරන මේ වැස්ස

‘චිරි චිරිස්... චිරි චිරිස්’
විසි­වෙ­නවා මඩ වතුර
‘පිපිප් පිප්’ නලා හඬ
පෝලිමේ රිය අතර...

වැසි හැලෙයි ‘සට පටස්’
විදුලි වේගෙන් ඇදෙන
‘චර චරස්’ පා අගින්
මතුව එයි මඩ දියර...

‘කර කරස්’ ගෙඩි සද්දෙ
ගෙමි­දු­ලෙන් නැගී එන
‘දඩ බඩස්’ හෙණ හඬට
තිගැ­ස්සෙයි මුළු අහස

ස‍ීත­ලයි මගෙ ගතට
නිදි බරයි ඇස් දෙකට
කෙළි කරන මේ වැස්ස
කොයි වෙළේ නවතී ද?


දුලානි කළු­ආ­රච්චි


දිනුවෙ මමද - නෑ උඹ

ඉස්කෝලෙ එක පන්තියේ‍
බෙදා ගත්තද එකම ඩෙස්කුව
මම ඉහළ පන්තියේ
පරණ ගවු­මත් එක්ක
උඹ පහළ පන්තියේ
ළැමත් ඉස්සී ඉහළ ගිය සඳ
ගණ­න්කා­රිය වුණා මං
කලා­බර වී අපේ උන් ළඟ
එදා උඹ කොන් වුණා බං
ගණිත චක්කර ප්‍රමේ­ය­න්ගෙන්
ඉහළ ඉණිමං බැන්ද මං
අකුරු අමුණා සප්ත ස්වර­යෙන්
දිනුව නුඹ කවි ගීත­යෙන්
කාලයේ ගඟ ගලා ගියදා
එකම මුහු­දට දෙපැ­ත්තෙන්
බෙදා දී නුඹෙ රස හැඟුම්
දිලෙනු දුටු­වෙමු පත්ත­රෙන්
හොද්ද­කට රස
මැහු­ම­කට අත
නොයෙ­දි මා සිත
ගැහැ­නු­කම බැස
මැහුම ගෙතු­මට
සිත්ත­මට අත
මුහුණු පොතෙ­නුත්
කිව්වා නුඹ මට
ලොකුම ලොකු පුටු­ව­කට සිරවී
අදත් ඉන්නෙමි හිස් බවෙන්
නුඹට ඔච්චම් පෑව එද­වස
සිහිව ලැජ්ජා හිතෙයි දැන්

ප්‍රභා මාධවී අභ­ය­ගු­ණ­සේ­කර


සොඳුරිය

කළු නෙත් දෙක ­ද­මන දඟර
හිරි වැටෙනා අමුතු පුසුඹ
මට­මයි ඒ මියුරු වදන
ඒ වද­නට හරිම කැමති...

මධු­විත නැති මගෙ දෙතොලග
සැන­සෙන හැටි ලෝබ­ක­මට
නුඹ­මයි මා සෙව්ව කුසුම
කටු නටු පිරි මගෙ දිවි­යට...

සසරෙ කරපු පිනක මහිම
පඩි­සන් දී මගේ පිනට
කරු­ණා­බර සිත ද සමඟ
හිමි විය නුඹ මටම ඔන්න...


ජනිත් ගමගේ


මාලි­මා­වකි ආදරේ

ආද­රය රතු­ලූනු මෙන් දෙනු­ව­නට නෙතු­දිය ගෙනා­වත්
බැරිය ලොව කිසි­ව­කුට කීමට නැතැ යි එහි වුව­ම­නා­වක්
‘ගිරිඳු සහ උම­ඟනක’ ද ළබැ­ඳිව එයින් වින්දෝ අමා­වක්
සයුර දිවි තර­ණය කර­න්නට එහි තිබේ මාලි­මා­වක්

ඇසට නො පෙනෙන ඉස­ව්වක සිට කොදෙව් පසු­කර සාගරේ
සරැලි ගෙන වෙර­ළ­කට දිවැ එන නො හිම් නො සි‍ඳෙන ආදරේ
සිලිල පහ­සින් ළතෙත් වී සිත් ගිමන ඈතට පා කෙරේ
කුසු­ම්සර නැති වුවත් එම­ඟින් තුරුණු හද­වත් යා කෙරේ

ජාති කුල­ගොත් පාට උස් මිටි කියා වෙන­සක් නො දන්නේ
‍සෝක ගිනි දැල් නිවා සනහා ළඟට වී හිත හදන්නේ
මීරි සිරි­ඟර කල්පනා මල් සුපෙ­ම්ව­තු­නට පුදන්නේ
ගීය යුග­දිවි ගය­න්නට සත් සරින් රස තනු යොදන්නේ

මවු­පි­යන් සිත් බිමෙහි දාරක සෙනෙහෙ උල්පත් මැවේයා
අසි­රි­යකි රතු ලෙය ද කිරි වී බිලි­න්දන් හට පෙවේයා
පෙවී සඳ­දිය පරම ආලයෙ ලියගෙ මිහි ළය නිවේයා
සඳුට හිරු දුන් ආදරේ රස කුමු­දු­නීට ද දැනේයා


ජේ.ජේ. වික්‍ර­ම­සේන


මතක සැම­රුම්

එක්ද­හස් අට­සිය අනූ­හයේ ජූලි දාහ­තර වනදා බොර­ලැ­ස්ග­මු­වේදී උපන් ජී.එච්. පෙරේ­රා­ණන් මූලික අධ්‍යා­ප­නය ලදුයේ රත්ත­ණ­පි­ටිය බෞද්ධ මිශ්‍ර පාස­ලෙනි. බොහෝ දෙන­කුට 'ජී.එච්. පෙරේරා' කියූ විට නිතැ­තින්ම සිහි වන්නේ ඔහුගේ කවි­ක­මයි. නමුදු ජීඑච් යනු අති­දක්ෂ චිත්‍ර ශිල්පි­යෙක්ද වෙයි. මේ බව වඩාත් ප්‍රකට වන්නේ ඔහු විසින් සැල­ලි­හිණි සන්දේ­ශයේ සිය­ලු­කවි චිත්‍ර­යට නඟ­මින් කර ඇති 'සැල­ලි­හිණි අස්න' කෘති­යෙනි. එමෙන්ම ජීඑච් ප්‍රකට කෙටි­ක­තා­ක­රු­වෙක්ද වූයේය. 'සිංහල මංගල සූත්තර' නමින් ‍නවක­තා­වක්ද සුදූ අන්තුවා, බේබද්දා යනු­වෙන් කෙටි­කතා පොත් දෙකක්ද ලියා පළ කර ඇති ඔහු තම නිර්මාණ මඟින් වැඩි­පු­රම ලියා ඇත්තේ බුදු ගුණ විදහා දැක්වෙන කවිය. විදු­හ­ල්ප­ති­ව­ර­ය­කුද වූ අප කිවියා වාමාං­ශික දේශ­පා­ල­නයේ නියුතු වුයේය. ලංකා ජාතික ගුරු සංග­මයේ සභා­පති ලෙසද සිංහල කවි සම්මේ­ල­නයේ සභා­පති ලෙසද ජීඑච් කට­යුතු කළේය.

ජීඑච්ට දරුවෝ තිදෙ­නෙකි. ඒ විම­ල­සිරි හා විම­ල­වීර යන නමින් පුතුන් දෙදෙ­නකු හා සීලා­දරී නමින් දිය­ණි­යක් වශ­යෙනි. දිය­ණිය ගුරු වෘත්තියේ නියැ­ළුණු අතර විම­ල­වීර පුව­ත්පත් කලා­වේ­දි­යෙකි. 'බොර­ලැ­ස්ග­මුවේ විම­ල­සිරි පෙරේරා' නමින් ජන­ප්‍රි­ය­ත්ව­යට පත් ජීඑච්ගේ වැඩි­මල් පුතු 'සර­ස­විය' පත්‍රයේ ආර­ම්භක කතු­ව­රයා වූයේය. හත­ළි­ස්අටේ ජූලි මාස­යේදී ලේක්හ­වුස් ආය­ත­නට බැඳුණු විම­ල­සිරි පෙරේරා පසු කලක සිළු­මිණ, සර­ස­විය හා නව­යු­ගය පත්‍ර­වල එක­වර කතු­කම දර­මින් වාර්තා­වක් තබා ඇත්තේය.


විම­ල­සිරි පෙරේරා ලේක්හ­වු­සි­යට රැකි­යා­වට පැමිණ සම­සක් වැනි කෙටි කල­කදී ඔහුගේ පියා වූ ජී.එච්. පෙරේරා අභා­ව­ප්‍රාප්ත වූයේය. ඒ නිමි­ත්තෙන් විම­ල­සිරි පෙරේරා කවියා ලියූ කවි පන්ති­යයි මේ. එය සිළු­මිණ - කවි කල්පනා 'මතක සැම­රුම්' තීර­යට යොමු කරන ලද්දේ ජීඑච් මුනු­පුරු, විම­ල­සිරි පෙරේරා පුත් ප්‍රණීත් පෙරේරා විසිනි. ඔහුද කවි­යට හිතැති සුළ­වතෙකි. මේ වන විට පෞද්ග­ලික අංශයේ විධා­යක ශ්‍රේණියේ රැකි­යා­වක නියුතු ප්‍රණීත් පෙරේරා අග­නු­වර තරුණ කවි සමා­ජයේ වත්මන් සභා­පති ධුරය ‍හොබවයි.

හත­ළිස් අටේ නව­සිය නව වැනි මාසේ
දහ අට වැනි දිනෙහි හැම දෙන­ටම රාසේ
අත හැරි­යෙන් තාත්තා අප ළඟ වාසේ
තව­මත් නැඟී එයි උණු කඳු­ළැලි දෑසේ

බොර­ලැ­ස්ග­මුවෙ සිට ගිය ඉදි­රි­යට ගලා
රස බස් ගඟක් හිටි හැටි­යේම නතර වෙලා
මට ඇස් වැසුම් නැත මේ වුණු විපත බලා
ඔබ ඇස් පියෙව් දව­සෙදි මුළු ගමම මළා

කවි­යෙන් කතා­වෙන් ඔබ කළ යුද්ද
දිව­යින රසි­ක­යන් හට අම­තක වෙද්ද
අපගේ තාත්තා දැන් අප ළඟ නැද්ද
ඔබ නොසි­ටින්න බොර­ලැ­ස්ග­මු­වක් ඇද්ද

අවි­හිං­සක කමින් නිත­රම පිරුණු ළැම
උතු­රයි සිනා රස ඔබ සිටි තැනක හැම
සිදු­වුණ විපත අස­රණ දරු­ව­කුට මෙම
තව­මත් දෙවි­ව­රුන් නුදු­ටුව කරුණ කිම

දුක සැප යන දෙකම එක විදි­යට හමුව‍
කවියේ බලෙන් කර­දර ඉව­තට දැමුව
රස­වත් කතා­වෙන් මුළු දිව­යින තෙමුව
මොක­ටද තාත්තා නැති බොර­ලැ­ස්ග­මුව


බොර­ලැ­ස්ග­මුවේ  විම­ල­සිරි පෙරේරා


දෝණියේ


හඬ හඬා ඉකි­ගසා රැය පුරා වැල­පිලා
ඇසි­පි­යන් යට ඇවිත් මත­ක­යන් සැඟ­විලා
කිරි සුවඳ සිහි­න­වල ආයෙ­මත් ඇවි­දලා
මම කෙලෙස වෑවෙ­මිද නුඹ දුන්නු දුක වෙලා

මුදු වදන් තෙප­ලලා සුර­තල් ම පෑ වතේ
අනා කැවු බත් පිඩක තිබුණි ජීවය ගතේ
ජීවි­තය අකුරු කළ පය ගැටෙන මාවතේ
නුරා මල් පිබි­දුණේ කෝම හිරි­මල් සිතේ

හිරු සඳුට මුවාවී කාල­යක් වියැ­කුණා
සරා සඳ සේම නුඹ කලා­විය සපි­රුණා
ළංව සිටි නුඹ මගෙන් ඈත් බව වැට­හුණා
මගෙ හීන විමන් දොර මං ඔහේ ළතැ­වුණා

නොදැ­නෙන්න සිත ගාව අහිමි ‍වූ පිය වරුණ
පපු­තුරේ හොවා­ගෙන දුනිමි හස­රැල් තිළිණ
මගේ ඉහ ඉද්ද­රින් තිබූ රන්වන් පහන
නිවා රහසේ ගිහින් මල් පිපුණු උදෑ­සන

ඔය දුටුව මැණික් කැට දිනෙක බොල් පුර­නවා
අහි­තක් සිතන්නෑ නුඹෙ සුවඳ දැනෙ­නවා
පැල්පතේ දොර කවුළු නොව­සාම තිබෙ­නවා
ගෙයි බුදුන් සිර­ග­තව මඟ බලා ඉන්නවා


නන්දි අලුත්ගේ රත්න­වීර


රූප­වා­හි­නිය

රැගෙන විත්
එක රැයයි‍
මගෙ සුතනඹුන්
උදු­රා­ගත්
හැටි යසයි


එන්.ඩබ්.පී. ලාල්


බුලත් අම්මා

අරුණ නැඟුණු කල හිමි­හිට හිමිහිට පිය නඟයි‍
පිරුණු මල්ල ඔල­ඟුව දෙක දෙවු­රට බර වැඩියි
මැරුණු අතී­තය සිහි­කොට නෙතඟ කඳුළු නඟයි
කරුණු කිසිත් නොකියා ඇය පුරුදු තැනට වැඩියි

කට්ට කළු වු පෙට්ට ගමට කාසි පනම් හිඟයි
වෙට්ට කප­ටි­කම් කර කර කාසි සොයනා නො හෙයි
හැට්ට පොඩිය රෙද්ද ඇඟට ලාගෙන කොර ගසයි
අෂ්ට ලෝක ධර්මේ හැටි මෙන්න මෙහෙම තමයි

අඩුම - කුඩුම ලාගත් පැස තර­මක ලා ගෙන
ඇඬුම - දෙඬුම නවතා ගව් ගෙවෙනා දුර යන
ඉඩම - කඩම නැති­මුත් ජීවන බර උර ගෙන
මඩම උරුම විය­මුත් මේ විඳිනා දුක මොන

විසු­රුණු කොළ කැඩුණු ඉඳල ඒක රාශි කරයි
වැහැ­රුණු ගත වෙව්ල වෙව්ල බක්කිය හැඩ කරයි
ඉහි­රුණු කෙස දෑතට ගෙන අහ­සට නෙතු හෙළයි
පේවුණු ගත නිමේ­ෂ­යක් අනේ ඉසඹු ලබයි

ලෑලි - කෑලි පිසදා එහි පත්තර පිටු ලන
කෑලි - කෑලි වී යන ලෙස පුවක් දෙපළු වන
ඈලි - මෑලි බුලත් පියස දිය දෝවා ලන
පේළි - පේළි ලෙසට ඔතන ‘විට’ එක එක ගෙන

බුලත් මතට පුවක් කෑලි ගණ­නට ගෙන තබයි
කිරන් යසට හුනු පොඩි­යක් කොළ­යක ගුළි ගසයි
බලන් අරුම වැඩි­පුර නැහැ දුංකොළ පිරි මසයි
‘මෙරින්’ අම්මේ ජීවි­තයේ අරුත ඔහොම තමයි


ප්‍රේම­සිරි සිරි­සේන


නෙළුම් කුලුන

හිස් අහස තෙක්
ඉහ­ළට එස­වන
මහ මැදු­රු­ප­රයා
මේ විසල් නග­රය මැද

යකඩ - ගල් - වැලි
සිමෙ­න්ති­යෙන් පෝෂි­තව
කොන්ක්‍රීට් ගොහො­රු­වෙන්
පිපෙ­න්නට වෙර දරන...


රත්න­සිරි පති­රණ


පෙද­රේරු පෙම්වතා

පලං­චියේ පය ලිස්සා
ගත වාරුව නැති වුණු දා
කර­වට බැඳ සිනහ නැඟූ
මිතුරු තුමෝ නික්ම ගියා

නුඹ පම­ණක් ළඟ රැඳිලා
ගතට සිතට සවි දුන්නා
සෙනෙහෙ පිරුණු නුඹෙ කඳු­ළැලි
නුඹට හොරෙන් මං දැක්කා

ගඩොල් එකින් එක තියලා
මගෙ සෙනෙ­හස මුසු කරලා
නුඹේ නමින් තැනූ විමන
හුදෙ­ක­ලාවෙ හළු වෙලා

ඒ හීනය මා හඬවා‍‍
මහ රෑ හිත කකි­ය­නවා
සුදු මැණිකේ සමා­වෙලා
සැන­සී­යන් දුක සඟවා


ජනිත් රත්නා­යක


හබල සිඳුණා

හබල සිඳුණා, හබල සිඳුණා ඔරුව තව­මත් දියෙහි පාවේ
චණ්ඩ මාරුත නොමැත නිම වී ගොඩ බිමක් වෙත නොමැත ආවේ
හිරු ද බැස්සා අහෝ නොදැනේ මොහො­ත­කින් තව මෙදින රෑවේ
එහෙ වැනී­යන් මෙහෙ වැනී­යන් මෙය ද මා ලද ලොවෙහි තාවේ

සොබා දහ­මට නොවන අව­නත කිසි දෙයක් නැහැ මවා ප‍ෑවේ
නවක සිතු­විලි යළිත් දළු­ලන නොහැකි ලෙස කිසි දිනක ජීවේ
අඳුරු සෙව­ණැලි කොතෙක් මිහි­පිට සැරි සරා ඒ ලෙසට ආවේ
කිමද නොද­නිමි ගුවන් තලයේ මෙතෙක් කල් සඳ මඬල නාවේ

වගුරු බිම්වල පිපෙන මහ­නෙල්, නෙළුම්, කෙක­ටිය සමඟ ඕලූ
මුසුව සුළ­ඟට දෑස අත නිර­න්ත­ර­යෙන් පැතිර යාලූ
සුමුදු සිත්වල ගුණය යහ­පත අතු­රු­දන් වී වෙලා පාලූ
පියා­ඹ­න්නට බිඳුණු තටු මත අහිමි වී ගොස් තිබෙන වාලූ

සිඟිති මිනි­බිරි නඟන හස රැළි මගේ හද තුළ තුරුලු වෙනවා
ඇයව දැකු­මට කෙසේ ගොඩ බිම කරා යන්නද රිදුම් දෙනවා
ගිලී යන්නට මගේ ඔරු කඳ දියඹ වෙත දැන් ඇදී යනවා
සොඳුරු පැතු­මන් එයින් නිමවී සතුට - කඳු­ළට මුසුව එනවා


කේ.ජී. සම­ර­කෝන්


එතෙර කවි

මැදි­යම් රැයේ ලත් නිද­හස


Freedom At Mid–Night


කුඩා නග­ර­යක දැවැන්ත ජන ගඟකි - ලාම්පු දල්වා, ගිනි­කෙළි පවත්වා
විදු­ලිය නොමැති මා නග­රයේ, එකම බැටරි රේඩි­යෝව වේදි­කාව මත
ගුව­නට විසු­රු­ව­මින් මෙසේ:, නිද­හසේ පළමු කතාව නේරුගේ.

නේක බාධක මැද භාර­තය, සැදුවා හමුව ඉර­ණම සමඟ
කාලය එළැඹ ඇත දැන්, නිද­හස් කර­නුව අපේ සප­ථය
ලොව නිදද්දී මැදි­යම් රෑ පැයේ, අවදි වෙයි භාර­තය.
එළැ­ඹෙයි මොහො­තක්, මුත් විර­ලය එය ඉති­හා­සය තුළ.
දිගින් දිග­ටම මැඩ­ලුණු භාරත ආත්මය ලෙස, අප
පියමං කරන විට පැරණි යුග­යෙන් නව­යු­ග­යට, ලබනු ඇත ජය.


ආචාර්ය රාම් මේතා - ඉන්දි­යාව


මැදි­යම් රැයේ නිද­හස ලද රට ඉන්දි­යා­වයි. ඉන්දි­යාවේ එවක ප්‍රති­රා­ජයා වූ මවු­න්ට්බැ­ටන් සාමි­ව­රයා ඉන්දි­යා­වට නිද­හස දෙන දිනය ලෙස තීන්දු කළේ 1947 අගෝ‍. 15 ය. එය ‘අවා­ස­නා­වන්ත’ හා ‘අශුද්ධ’ දින­යක් ලෙස ප්‍රකාශ කළ එරට ජ්‍යොති­ර්වේ­දීන් එම දින­යට විරු­ද්ධවූ නමුත් මවු­න්ට්බැට්න් සාමි­ව­රයා තම කැමැත්තේ තදින් ම එල්බ සිටියේ, 1945 දෙවැනි ලෝක යුද සම­යේදී තමාගේ අණ යටතේ සටන් කළ හමු­දා­වට ජපා­නය යටත් වූ දිනය වූ අගෝ. 15 (1945) වාස­නා­වන්ත දින­යක් ලෙස ඔහු දැඩි සේ ඇදහූ බැවිනි. අව­සා­නයේ ඇති වූ එක­ඟ­තා­වය වූයේ 1947 අගෝ. 14 දිනය නිමාවී අගෝ. 15 දිනය ඇර­ඹෙන මැදි­යම් රෑ හෝරා­වේදී නිද­හස ප්‍රකාශ කිරී­මයි. ඉන්දීය ජ්‍යෝති­ර්වේ­දීන්ගේ උප­දෙස වූයේ ඔවුන් ‘අභි­ජීත් මුහු­ර්තය’ ලෙස හැඳින්වූ, අ‍ගෝ. 14 දින රාත්‍රි 11.51 - 12.39 අතර වූ විනාඩි 48 ක කාල රාමුව තුළ නිද­හස් ප්‍රකා­ශ­න­යත්, ජව­හ­ර්ලාල් නේරු­තුමා ජාතිය ඇම­තී­මත් සිදු­විය යුතු බවයි. එය එසේම එදා වූ අතර, මේ කවි­යට කවියා පාදක කර­ගෙන ඇත්තේ ඒ සංසි­ද්ධිය හා නේරු­තු­මාගේ කථාවේ අන්ත­ර්ගත වූ ඇතැම් ප්‍රකා­ශ­යන් ය.


කවියා වන ආචාර්ය රාම් මේතා මේ වන­විට වයස අසූ­වක් පමණ වන, ජ්‍යෙෂ්ඨ ඉන්දි­යානු පුර­වැ­සි­යෙකි. ද්වාර්තා නග­රයේ ඉපැ­දු­ණෙකි. ගුජ­රා­ටයේ විද්‍යා­න­ගර්හි N.A. Arts College හි ඉංග්‍රීසි දෙපා­ර්ත­මේ­න්තුවේ මහා­චාර්ය ධූරය හොබවා ඇත. World Academy of Arts and Culture හි යාව­ජීව සාමා­ජි­ක­ත්වය දරන ආචාර්ය මේතා එම විද්‍යා­ය­ත­න­යෙන් ‘සාහිත්‍ය සූරී’ සම්මාන උපා­ධිය දිනා ඇත. රච­කයා මෙම නිර්මා­ණය Tercets එනම්, පේළි තුන­කින් යුත් පද ඛණ්ඩ ආකෘ­තියේ පිහිටා පබඳා ඇත.


පරි­ව­ර්ත­නය
දේ.වි. ගාල්ලගේ
 


වියෝ­ගය

පෙරුම් පුරා නෙක නැත අප මුණ ගැසුණේ
අහම් බෙන් වගේ දින­යක සිත බැඳුණේ
නැවුම් පෙම් හැඟුම් සතු­ටකි මට දැනුණේ
කුසුම් වික­සි­තව සුව­ඳකි හද බඳුනේ

ගේ පොඩ්ඩේ නැති බැරි­කම් බෝ තිබුණා
නොදැන කරපු වෙළ හෙළ­දන් ඇද වැටුණා
නොහොඳ නෝක්කඩු නොමැ­තිව අපි උන්නා
නෙළු­මක් සොඬින් ගත් ඇතු සීනෙන් පෙනුණා

රන් කැටි පුතා ප‍ීදෙන තල මල සේමා
පුතුගෙ පියා පර­වුණු ඉර මල සේමා‍
වාරු නැතිව ගිය’යුරු පව­සනු කෝමා
වසර ගණන් ඉහිලූ දුක් ගිනි බෝමා

ඉන්සි­යු­ලින් එන්නත සැර වැඩි­වෙච්චි
බලා ඉන්න විටදී බඩ ඉදි­මිච්චි
දෑත් දෙපා ගල් වී නැති විය නිච්චි
‘කෝමා’ තත්ව­යට හිමි සඳ පත් වෙච්චි

අනේ මහ­තුනේ මට වූ විය­ස­නයා
බස්නා­හි­රට හිස ලා සැත­පෙන සැටියා
පළමු වරට ටයි පටි­යක් බැඳ සිටියා
රන් කඳ ඉතින් නැගි­ටින්නේ නැති සැටියා!


තිස්ස නිහාල් වික්‍ර­ම­සිංහ

දයා­බර කවි කිවි­ඳි­යනි, අපේ පැරණි කවි­යන් පිළි­බඳ මෙවැනි සොඳුරු මත­ක­යන් ඔබ සතුව ඇත් නම් ඒවා අපට එවන්න.
ඉසවි, කවි කල්පනා, සත්ම­ඬල,
සිළු­මිණ කර්තෘ මණ්ඩ­ලය, ලේක්හ­වුස්, ‍කොළඹ 10. 

Comments