සුනිල් සාන්ත සමරු දෙසුම නොවැම්බර් 23 දා | සිළුමිණ

සුනිල් සාන්ත සමරු දෙසුම නොවැම්බර් 23 දා

සුනිල් සාන්තයන්ගේ 102 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව සුනිල් සාන්ත සමාජය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික සමරු දේශනය 2017 නොවැම්බර් 23, බ්‍රහස්පතින්දා සවස 2.30 ට කොළඹ 7, ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.

‘සුනිල් සාන්ත සංගීතයේ සිංහලත්වයට පාදක වූ මාත්‍රා වින්‍යාසය සහ තාන ස්වරූපය පිළිබඳ මූලික විමර්ශනය’ යන මැයෙන් මෙවර දේශනය පවත්වනු ලබන්නේ විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහතා විසිනි. දෙසුමෙහිදී සුනිල් සාන්තයන් ගැයූ ගීත කිහිපයක මුල් පටිගත කිරීම් නිදර්ශන ලෙස ඉදිරිපත් කෙරෙනු ඇත. පැමිණෙන සියලු රසික රසිකාවන්ට දෙසුමෙහි මුද්‍රිත පිටපතක් ලබාදීමට ද කටයුතු සලස්වා ඇත. අවසානයෙහිදී රසප‍ූර්ණ සජීවි සුනිල් ගී ගායනයක් ද පැවැත්වේ.

මේ දේශනය සඳහා සහභාගි වන ලෙස සංගීත රසවතුන්, සිසු සිසුවියන් සහ විද්‍යාර්ථීන් වෙත සුනිල් සාන්ත සමාජය ගෞරවයෙන් ඇරියුම් කරයි.


ත්‍රිත්ව පොත් දොරට වැඩුමක්

නාට්‍යවේදී ජගත් චන්ද්‍රසිරි ගේ ගුරුමාරුව, තවත් හාදයෙක්, භාෂාමය අර්ථය සහ එහි මූලධර්ම යන ත්‍රිත්ව පොත් පෙළ එළිදැක්වීමේ ‍උත්සවයක් නිදහස් මාවත කොළඹ 07 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී 21 වැනිදා සවස 3 ට පැවැත්වේ.


බුද්ධදාස හේවගේ සැකසූ සිංහල- ඉංග්‍රීසි ශබ්දකෝෂය

 බුද්ධදාස හේවගේ සිංහල- ඉංග්‍රීසි ශබ්දකෝෂය ජනගත කිරීමේ උලෙළ මෙ මස 23 දා පෙ.ව. 10.00 ට බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී ජනගත කිරීමට නියමිත ය.

මේ උලෙළේ මුලසුන හොබවන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් විසින් වන අතර කලාකීර්තී ආචාර්ය එඩ්වින් ආරියදාස, පොලිස්පති පූජිත ජයසුන්දර, මහාචාර්ය ටියුඩර් වීරසිංහ, චතුරිකා සිරිසේන යන විද්වත්හු දේශන පවත්වති.

 

මේ ශබ්ද කෝෂයේ සිංහල වචන අනූ පන්දහසකට සමාන ඉංග්‍රීසි වචන එක් ලක්ෂ පනස්දහසක් සිංහල අකාරාදි පිළිවෙලට නාම පද, නාම විශේෂණ, ක්‍රියා පද, ක්‍රියා විශේෂණ, ප්‍රශ්නවාචී සර්වනාම, නිපාත, කෙටි යෙදුම් හා විශේෂ යෙදුම් වශයෙන් වෙන් වෙන් ව පරිච්ඡේද ගත කර ඇත.

Comments