විසිවැනි සියවසේ බිහි වූ ප්‍රාඥයා | සිළුමිණ

විසිවැනි සියවසේ බිහි වූ ප්‍රාඥයා

මහාචාර්ය ගුණපාල මලලසේකරයන්ගේ 118 වැනි ජන්මදින සැමරුම නිමිත්තෙනි.

බෞද්ධ දර්ශනය, අධ්‍යාපනය, ඉතිහාසය, සංස්කෘතිය සහ භාෂාව ප්‍රගුණ කිරීම මඟින් ජාතික වීරවරයකු හැටියටත් බෞද්ධ නායකයකු ලෙසටත්, භාෂා විශාරදයකු ලෙසත් මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාණන්ගේ නාමය ඉතිහාසගත ව ඇත.

මහාචාර්ය ගුණපාල මලලසේකර 1899 නොවැම්බර් 8 වැනි බදාදා පානදුර මාලමුල්ලේ දී ජන්මලාභය ලැබීය.

මලලසේකර මැතිතුමන්ගේ මුල් නම ජෝර්ජ් පීරිස් මලලසේකර යනුවෙන් වුව ද පසුකලෙක ශ්‍රීමත් අනගාරික ධර්මපාල මැතිදුන් වෙතින් ලත් ආභාසයෙන් සිය නාමය ගුණපාල පියසේන මලලසේකර වශයෙන් වෙනස් කර ජාතික ආගමික පුනරුදය සඳහා සිය දායකත්වය ආරම්භ කරනු ලැබීය. එතුමා ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය පානදුර ශාන්ත ජෝන් විද්‍යාලවලින් ලැබු අතර තෘතීය අධ්‍යපනය ලංකා වෛද්‍ය විද්‍යාලයෙන් (1917-1918 ) අාරම්භ කරනු ලැබීය. සිය පියාගේ අභාවය හේතුවෙන් වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය අතරමඟ අත්හැර දැමීමට සිදු වුව ද අ‍ාර්ථික දුෂ්කරතා මැද අසීරුවෙන් වුවද එතුමාණෝ 1919 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී ( B.A.) බාහිර උපාධිය ලබා ගැනීමට සමත් විය. සිය ප්‍රථම වෘත්තිය ව‍ශයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ උප‍ගුරුවරයකු ලෙස 1921 දී බැඳී 1922 දී එහි නියෝජ්‍ය විදුහල්පති වශයෙන් පත් විය.

ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග අධ්‍යයන විද්‍යාලය වෙතින් ශාස්ත්‍රපති සහ දර්ශන සුරී උපාධි එකවර ලබා ගැනීමට එතුමා සමත් විය. මෙය එදා මෙදා තුර ඒ විශ්වවිද්‍යාලයේ නොබි‍ඳිය හැකි ව‍ාර්තාවක් ලෙස ද සැලකේ.

ඉන් අනතුරුව 1926 කොළඹ නාලන්ද විද්‍යාලයේ විදුහල්පති ලෙස පත් වන එතුමා නාලන්දාවෙහි අතිශය කීර්තිමත් යුගයක් නිර්මාණය කිරීමට සමත් විය. ඉන් අනතුරුව වර්ෂ 1927 දී ලංකා විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිංහල පාලි සහ සංස්කෘත කථිකාචාර්යවරයකු වශයෙන් පත්වී වර්ෂ 1938 දී ලන්ඩන් විශ්වවිද්‍යාලය වෙතින් සාහිත්‍යසුරී උපාධිය ලබා ඒ විශ්වවිද්‍යාලයෙහි ම පාලි සහ බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ මහචාර්යධුරයට පත් ව 1942 දී ලංකා විශ්ව විද්‍යාලයේ ප්‍රාචීන අධ්‍යයන පිඨයෙහි පීඨාධිපතිවරයා වශයෙන් පත් විය.

සිය අසමසම බුද්ධි මහිමයෙන් නිසි ප්‍රයෝජන ගත් එතුමා ප්‍රධාන කර්තෘ වර්ෂ 1956 දී බෞද්ධ විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘවරයා බවට පත් වී විශිෂ්ට සේවාවක් සිදු කරනු ලැබීය. එතුමා වර්ෂ 1957-1961දී සෝවියට් දේශයේ ප්‍රථම ලංකා තානාපති ලෙස ද වර්ෂ 1957-1961 පෝලන්තය, රුමේනියාව, සහ චෙකෝස්ලෝවියාව යන දේශයන් හි ලංකා තානාපති ධුරය ද හෙබ වීය. සෝවියට් දේශයෙහි (වර්තමානයේ රුසියාව ඇතුලු රටවල් කිහිපයක් එක්ව එවකට තිබු කොමියුනිස්ට් සමුහාණ්ඩුව) තානාපති වශයෙන් පත්වී මෙරට තානාපතිවරයකු විදේශයක දී ප්‍රථම වරට ජාතික ඇඳුමින් සැරසී සේවා ප්‍රතිඥාව ලබා දුන් අවස්ථාව ලෙස ද එය ඉතිහාසගත වී ඇත. මලලසේකර මැතිතුමන්ගෙන් රටට දැයට ලබා ගත හැකි සේවය ඉත‍ා නිවැරදිව දැන සිටියේ එතුමන්ගේ සමීපතම මිත්‍රයෙකු වු දිවංගත අගමැති එස් .ඩබ්ලිව් .ආර්. ඩී. බණ්ඩාරණායක ශ්‍රීමතාණන් ය.

ඉන් නොනවැතී වර්ෂ 1961-1963 දී කැනඩාවේ ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන් ද කටයුතු කළ එතුමා වර්ෂ 1961-1963 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකා නිත්‍ය නියෝජිතවරයා වශයෙන් ද වර්ෂ 1961-1963 දී එ.ජා. ආරක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා ද සයිගොන්හි කරුණු සෙවීමේ දුත මණ්ඩලයේ සාමාජිකයෙක් ද විය. එමෙන්ම වර්ෂ 1963-1967 එක්සත් රාජධානියේ ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන්ද අති විශිෂ්ට රාජතාන්ත්‍රික සේවාවක් අප රට වෙනුවෙන් සිදු කරනු ලැබීය.

‘පාලි සංඥා නාම පිළිබඳ ශබ්ද කෝෂය’ ඔහුගේ විශිෂ්ටතම කෘතිය ලෙස සැලකිය හැකි අතර, බෞද්ධ සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබඳ පර්යේෂණ කරන අය සඳහා ආශ්‍රේය ග්‍රන්ථයක් වන විශ්වකෝෂයකට සමාන කෘතියක් වේ. මේ ග්‍රන්ථය කාණ්ඩ දෙකකින් පිළියෙල කර ඇති අතර, එහි මුද්‍රත පිටු ගණන 2500 ඉක්මවා ගොස් ඇත. මෙතුමාගේ ‘ඉංග්‍රිසි -සිංහල ශබ්ද කෝෂය’ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගුරු භවතුන් මෙන්ම සාමාන්‍ය මහජනතාව විසින් ඉතා පුළුල් වශයෙන් පරිශීලනය කරනු ලබන ශබ්ද කෝෂයක් වේ.

එතුම‍න් විසින් ඉතා ම වැදගත් බෞද්ධ ග්‍රන්ථ දෙකක් වන වංසත්ථප්පකාසිනි සහ මහා වංශය පාලි ග්‍රන්ථ සමාගම සඳහා ඉංග්‍රිසි අක්ෂර මාලාව සංස්කරණය කර ඇත.

මහාචාර්ය මලලසේකර විද්වතාණන්ගේ අතිශයින් ප්‍රකට සහ විශිෂ්ට සාහිත්‍ය කෘතිය වන්නේ ප්‍රථම වරට ඉංග්‍රීසි භාෂාවෙන් පිළියෙල කරනු ලබන ‘බෞද්ධ විශ්ව කෝෂය’යි. මෙය මුද්‍රණය කර ප්‍රසිද්ධ කරනු ලබන්නේ ශ්‍රී ලංකා රජයේ සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟිනි. මහාචාර්ය මලලසේකර මහතා එහි ප්‍රධාන සංවිධායක සහ ප්‍රධාන කතුවරයා ලෙස 1955 වර්ෂයේදී පත් කරනු ලැබීය. බෞද්ධ විශ්වකෝෂ ව්‍යාපෘතියේ ආරම්භයේ සිට ඔහුගේ අභාවය වන තුරු ඔහු එහි ප්‍රධාන කර්තෘවරයා විය.

මහාචාර්ය මලලසේකර උපන් බිමට සදානුස්මරණීය සේවාවක් ඉටු කර වසර 74 ක ජීවන ගමන් මඟෙ හි නිමාව 1973 අප්‍රේල් මස 23 වැනි දින සනිටුහන් කරලීය.

ඩි. බී. ධනපාල ශූරීන් මලලසේකරයන් ගැන සඳහන් කරන්නේ මෙසේ ය.

“ස්වකීය ජනකාන්ත පෞරුෂය තුළ, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවීණත්වයත් පෞද්ගලික ආකර්ෂණයත් එකට යා කළ එක් මි‍නිසෙක් වී ද, හේ තෙමේ මලලසේකර ම විය. මේ රටේ කිසියම් මිනිසකුගේ දක්ෂතාවය ගැන ප්‍රශ්න නොකළේ ද , කිසියම් මිනිසකුගේ ශක්තීන් නො කෙලෙසුණේ ද, බුද්ධි මහිමය අපවිත්‍ර නොවුණේ ද, ඒ මිනිසා අන් කවරකුත් නොව, මලලසේකර ම විය.

Comments