
සම්භාවනා
අද දින අප විසින් ඉමහත් ගෞරවාදරයෙන් සලකනු ලබන සම්මානිත මහාචාර්ය විමල් ගුණසේකර බලගල්ලේ මහතා ලක්දිව අද සිටින භාෂා තත්වඥයන් අතර ඉහළම තැනෙක වැජඹෙන අයෙකු බව අවිවාදයෙන් පිළිගැනේ. එතුමාගේ සේවා කාර්යය විමසන විට එහි සුවිශේෂත්වය වන්නේ සංස්කෘත, පාලි, ප්‍රාකෘත හා සිංහල යන ප්‍රාචීන භාෂා සාහිත්‍යයෙන් පමණක් නොව ඉංග්‍රීසි මාධ්‍යයෙන් උකහා ගත් නූතන වාග් විද්‍යා ඥානයෙන් ද එතුමා පිරිපුන් වීම ය. එබඳු පෙරපර දෙදිග භාෂා ශාස්ත්‍ර හා වාග් විද්‍යා ඥානයෙහි පරතෙරට පත් විශිෂ්ට පඬිවරු දෙදෙනෙකු අතීතයේ සිටි බව දනිමු. එනම්, පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල පිළිබඳ මහාචාර්යවරයා වූ ඩී.ඊ. හෙට්ටිආරච්චි සූරීන් හා මුලදී එම විශ්වවිද්‍යාලයේ ම සිංහල පිළිබඳ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයෙකුව සිට පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල මහාචාර්ය පදවියට පත් ඩී.ජේ. විජේරත්න සූරීහු ය. එම පඬිවරුන් යටතේ ම ශිල්ප හැදෑරීමේ වරම්ලත් බලගල්ලේ සූරීහු අද දින එබඳු ප්‍රාමාණික විද්වතුන් අතර අග්‍රගණ්‍ය විද්වතා ලෙස අවිවාදයෙන් පිළිගත හැකි ය.
විද්‍යෝදය සම්ප්‍රදාය
බලගල්ලේ සූරීන් ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර අධ්‍යයනය ලැබුවේ මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන ඇසුරෙනි. මෙම විශිෂ්ට විද්‍යායතනයෙහි ඉතිහාසය මහනුවර අවධියෙහි භාෂා ශාස්ත්‍ර පුනරුදයක් උදා කරමින් බුදු සසුනටත් අප ශාස්ත්‍රීය සම්ප්‍රදායට අමරණීය සේවාවක් කළ පූජ්‍ය වැලිවිට සරණංකර මාහිමියන්ගේ අවධිය දක්වා දිව යයි. විද්‍යෝදය පිරිවෙන (1875) මෙන් ම විද්‍යාලංකාර පිරිවෙන ද පිහිටුවා ලන ලද්දේ රත්මලානේ ශාස්ත්‍ර ශාලාව (වත්මන් පරමධම්මචේතිය පිරිවෙන) පිහිටුවා ලූ පූජ්‍ය වලානේ සිද්ධාර්ථ නාහිමියන්ගේ ශිෂ්‍යවරයන් වූ පූජ්‍ය හික්කඩුවේ සුමංගල සහ පූජ්‍ය රත්මලානේ ධම්මාලෝක යන යතිවරයන් වහන්සේලා විසින් බව ප්‍රකට ය. එකී රත්මලානේ ශාස්ත්‍ර ශාලාවේ උගැන්වූ වලානේ නාහිමියන්ට අමතරව (එකල පාපැදිව සිට පසුවැ උපැවිදි වූ) බටුවන්තුඩාවේ දේවරක්ඛිත ස්ථවිරයන් ද වැලිවිට සරණංකර සහ පරපුරේ පඬිවර යතිවරුන්ගෙන් ශිල්පෝද්ග්‍රහණය කළාහු වූහ.
පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් පිහිටුවා ලූ විද්‍යෝදය පිරිවෙන මඟින් ඒ වනවිට එතරම් සංවර්ධිත තත්ත්වයක නොතිබුණු ‘පිරිවෙන්’ සම්ප්‍රදාය විධිමත් පදනමක පිහිටුවා ලූ බවත් රත්මලානේ ධම්මාලෝක නාහිමියන් හා උන්වහන්සේගේ ශිෂ්‍යවර රත්මලානේ ධර්මාරාම නාහිමියන් අතින් ද ඒ හා සමාන කාර්ය සිද්ධියක් ඉෂ්ට වී ලක්දිව ‘පිරිවෙන්’ සම්ප්‍රදාය අනුගමනය කරන විද්‍යාස්ථාන රාශියක් එකී මුල් ආයතනයන්ගෙන් ශිල්පෝද්ග්‍රහණය කළ පඬිවරයන් විසින් පිහිටුවාලන ලද බවත් පෙනේ. මෙම ව්‍යාපාරය කෙතරම් ප්‍රබල වී ද යත් 1917 වනවිට දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි මනාව ක්‍රියාත්මක වූ පිරිවෙන් 62 ක් පැවති බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් වාර්තා කොට තිබේ.
අධ්‍යයන සම්ප්‍රදාය
1924 වර්ෂයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ හාපිටිගම් කෝරළේ බලගල්ල ග්‍රාමයෙහි උපන් ගුණසේකර ශිෂ්‍යයා මූලික අධ්‍යාපන කටයුතුවලින් පසුව ප්‍රදේශයේ විශිෂ්ට ප්‍රාචීන අධ්‍යයන පීඨයන් වු පල්ලේවෙල වික්‍රමශීලා පිරිවෙන සහ බලගල්ලේ සරස්වතී පිරිවෙන යන විද්‍යාස්ථානයන්හි වැඩ විසූ පඬිවර හිමිවරුන් ඇසුරෙන් ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර අධ්‍යයනයට යොමු විය. ඔහු ගේ විශේෂ සම්භාවනයට පාත්‍ර වූ ආචාර්යවරයා වූයේ වික්‍රමශීලා පිරිවෙනෙහි වැඩ සිටි පූජ්‍ය කුකුල්නාපේ දේවරක්ඛිත හිමිපාණෝ ය. එම කාලයේ දේවරක්ඛිත හිමියෝ මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ උප ප්‍රධානාචාර්ය ධූරය හොබවමින් සිටියාහු ය.
දේවරක්ඛිත හිමියන්ගේ සබඳතාව නිසා අප කථානායකයාට ද විද්‍යෝදය පිරිවෙනේ එදා සිටි මහා පඬිරුවන්ගේ ඇසුරෙන් ශාස්ත්‍ර ඥානය ලැබීමේ භාග්‍යය උදාවූ බව පෙනේ. කොළඹ ගොස් පිරිවෙනේ ශාස්ත්‍රෝද්ග්‍රහණය කරද්දී විද්‍යෝදය පිරිවෙනට මෙතුමා ඇතුළු වන අවධියෙහි, එනම් 1945 වසරෙහි පරිවේණාධිපතීන් වහන්සේ වූයේ පූජ්‍ය බද්දේගම පියරතන මහා ස්වාමීන්හුයත් වහන්සේ ය. ඉන්පසුව පරිවේණාධිපති පදවියට පත් පූජ්‍ය වැලිවිටියේ සෝරත ස්වාමීන්ද්‍රයන් මෙන් ම එදා ආචාර්යවරුන් වූ පූජ්‍ය පලන්නොරුවේ විමල ධම්ම නාහිමි, පූජ්‍ය ආචාර්ය දෙහිගස්පේ පඤ්ඤාසාරණ හිමි, පූජ්‍ය කළුකොඳයාවේ පඤ්ඤාසේකර නාහිමි ආදී වූ විශිෂ්ට පඬිවරුන්ගේ සෙවණෙහි ලැබූ ශිල්ප ඥානය මෙතුමාට මහත් පිටිවහලක් වූ බව පෙනේ. එදා සිට අද තෙක් ම බලගල්ලේ සූරීන්ගෙන් ප්‍රකට වන මහඟු ශාස්ත්‍රීය සේවාවට තිරසර පදනම වැටුණේ විද්‍යෝදය පිරිවෙනෙන් බව පැහැදිලිව පෙනෙන කරුණකි.
නූතන ඥානය
පිරිවෙනෙන් ලැබෙන ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර ඥානයට අමතරව නව යුගයට සරිලන පරිදි ඉංග්‍රීසි භාෂාවෙන් ලද හැකි නව දැනුම සොයා යාම කාලෝචිත පියවරක් බව බලගල්ලේ සූරීන්ට එදා පෙනුණු බව පැහැදිලි ය. එහෙයින් ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපන කටයුතුවල ද එතුමා නිරත විය. ඒ අතර ම සිය මූලික කර්තව්‍යය වූ ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර අධ්‍යයනයන් ද නොපිරිහෙළා ඉටු කරමින් සිට 1950 වර්ෂයේදී ප්‍රාචීන පණ්ඩිත උපාධිය සඳහා ඉදිරිපත් වීම ද එතුමා අමතක නොකළේ ය. එහි ප්‍රතිඵලය වූයේ එම වර්ෂයේ යථෝක්ත පරික්ෂණයට පෙනී සිටි සියල්ලන් අබිබවා ඉහළම ලකුණු ලබා ගනිමින් ‘ප්‍රාචීන පණ්ඩිත ස්වර්ණ මුද්‍රිකාව’ මෙතුමාට හිමි වීම ය.
1951 වර්ෂයේදී තමන් කරගෙන ගිය ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගනිමින් එකල ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර හෙවත් එස්.එස්.සී. විභාගය ඉහළින් ම සමත් විය. තවත් දුරට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය කරගෙන ගිය බලගල්ලේ සූරීහු 1952 දී උසස් පාඨශාලා සහතික පත්‍ර හා විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය ද සමත් වී එවකට දිවයිනේ පැවැති එකම විශ්වවිද්‍යාලය වූ පේරාදෙණියේ පිහිටි ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළුවීමේ වරම හිමි කර ගත්හ. මෙය දුර්ලභ අවස්ථාවක් වූ බවට සැක නැත. එකල ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබමින් විශ්වවිදයාලයට ඇතුළුවීමේ ගෞරවය හිමි කරගත්තේ ප්‍රාචීන අධ්‍යාපනය තුළින් බිහිව ආ විද්වතෙකු බව අප අමතක නොකළ යුත්තකි.
විශ්වවිද්‍යාලය
විද්‍යෝදය පිරිවෙනෙන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශවීම බලගල්ලේ සූරීන්ගේ ජීවිතයේ තවත් මං සලකුණක් සටහන් කළ සිද්ධියකි. එදා ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර අධ්‍යාපනයත් ආලෝකමත් කළ විශිෂ්ටයෝ ගණනාවක් වූහ. ජාත්‍යන්තර කීර්තියට පත් පඬිරුවනක් වූ මහාචාර්ය ගුණපාල මලලසේකර, ආචාර්ය එන්.ඒ. ජයවික්‍රම, ආචාර්ය ජෝතිය ධීරසේකර, (පාලි) මහාචාර්ය ඕ.එච්. ද ඒ. විජේසේකර, ආචාර්ය ජයදේව තිලකසිරි (සංස්කෘත) මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි, ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ආචාර්ය එම්.බී. ආරියපාල, ආචාර්ය ඩී.ජේ. විජේරත්න (සිංහල) ආදීහු ඉන් ප්‍රමුඛයෝ වූහ. පළමු වසර විභාගයෙන් පසු බලගල්ලේ සූරීන්ගේ තීරණය වූයේ සිංහල ගෞරව උපාධිය සඳහා ශිල්ප හැදෑරීම ය.
විශ්වවිද්‍යාලය එය අරඹන ලද තර්ස්ටන් පාරේ (වත්මන් කුමාරතුංග මුනිදාස මාවතේ) පිහිටා තිබුණු ගොඩනැඟිලිවල සිට පේරාදෙණියේ ඒ සඳහා ම නිර්මිත මනහර ගොඩනැඟිලි සංකීර්ණයකින් නොවේ. පේරාදෙණිය මණ්ඩපය වෙත ගෙන යෑම සිදු වූයේ ද බලගල්ලේ සූරීන් විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ 1952 වසරේ දී ම ය. ඒ අතර සිංහල අධ්‍යයනාංශය තුළද විපර්යාසයක මෙම වසරේදී සිදු විය. එනම් එතෙක් සම්භාව්‍ය සිංහල භාෂා සාහිත්‍ය අධ්‍යයනයට වැඩි ඉඩක් සැලසී තිබුණු පාඨමාලා යාවත්කාලීන කරමින් නූතන සිංහල සාහිත්‍ය අධ්‍යයනයන් ද පාඨමාලා තුළට අන්තර්ගත කිරීමේ කටයුත්තට මුල පිරීම ය. මේ සඳහා මහාචාර්ය හෙට්ටිආරච්චි ප්‍රමුඛ (එදා තිබුණු) ප්‍රාචීන අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය මලලසේකර ප්‍රමුඛ විද්වතුන් විසින් නායකත්වය සැපයීම සඳහා තෝරා ගන්නා ලද පුද්ගලයා වූයේ පාලි අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයෙකු ලෙස සේවය කරමින් සිටි ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රය. මෙම තෝරා ගැනීම ඉතා නිවැරදි එකක් වූයේ එදා විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයෙහි මෙන් ම ඉන් පිටතත් සරච්චන්ද්‍රයන් තරම් පුළුල් ලෙස නූතන සාහිත්‍ය ක්ෂේත්‍රයට අදාළ අධ්‍යයනයන් කර තිබුණු අන්‍ය විද්වතෙකු නොසිටි හෙයිනි. එතුමා සිංහල ප්‍රබන්ධ කථා පිළිබඳවත්, සාහිත්‍ය විචාරය පිළිබඳවත්, නාට්‍ය කලාව පිළිබඳවත් විශ්වවිද්‍යාල මට්ටමින් පිළිගත හැකි අධ්‍යයන ගණනාවක් සිදු කොට විද්වත් ලෝකයාගේ පිළිගැන්මට පාත්‍ර වී සිටියේ ය.
ඒ වනාහි සිංහල අධ්‍යයනාංශයේ පාඨමාලා නවීකරණය වෙමින් පැවති සංක්‍රාන්ති අවධියකි. ඒ නිසා එකී නවීකරණයෙහි පූර්ණ ප්‍රතිඵල භුක්ති විඳීමට එම සංක්‍රාන්ති අවධියට මැදිවූ උපාධි අපේක්ෂකයන්ට ඉඩ නොසැලසුණා විය හැකි ය. ඒ කෙසේ වෙතත් එදා සිංහල අධ්‍යයනාංශයෙහි සිටි මහාචාර්ය හෙට්ටිආරච්චි සහ ආචාර්ය විජේරත්න වැනි භාෂාව නව්‍යකරණය පිළිබඳ ප්‍රාමාණික විද්වතුන්ගේ ඇසුරෙන් සිංහලයේ ඉතිහාසය හා ප්‍රාචීන භාෂා ඥානය නූතන වාග්විද්‍යා ක්ෂේත්‍රය තුළ ඒ වනවිට සිදුව පැවැති සංවර්ධනයන් අනුව දැකීමට පුහුණුවක් බලගල්ලේ සූරීන් වැනි ශිෂ්‍ය ගණයාට ලැබෙන්නට ඇත. ඒ බව එතුමන්ගේ තදන්තර භාෂාධ්‍යයනයන් තුළින් මනාව පිළිබිඹු දැක්වී ඇත.
ඓතිහාසික වාග් විද්‍යාව
බලගල්ලේ සූරීහු සාහිත්‍ය ක්ෂේත්‍රයට වඩා භාෂාව හා ව්‍යාකරණය ක්ෂේත්‍රය කෙරේ අවධානය යොමු කළ විද්වතෙක් වෙති. පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයෙන් හෙට්ටිආරච්චි හා විජේරත්න වැනි ඒ අවධියෙහි ඓතිහාසික වාග්විද්‍යා අධ්‍යයනයන්ට යොමුව සිටි ප්‍රවීණාචාර්යවරුන් වෙතින් ලද මඟ පෙන්වීම බලගල්ලේ සූරීන්ගේ ඉදිරි ගමනට මහත් රුකුලක් වූ බව පෙනේ. සැබවින් ම ඓතිහාසික වාග් විද්‍යාව 19 වන සියවසේ යුරෝපයේ ඇරඹුණු ගවේෂණයන් ඔස්සේ සංවර්ධනය වෙමින් අවුත් විධිමත් සැලැස්මක් සහිත අධ්‍යයන ක්ෂේත්‍රයක් ලෙස යුරෝපයේ විශ්වවිද්‍යාලයන්හි භාවිතයට වෙත තිබුණි. එහිී උගැන්වීම් සහ පර්යේෂණ මඟින් විද්වතුන් විසින් ගොඩ නැඟෙමින් පැවැති අධ්‍යයන සම්ප්‍රදාය ලක්දිවට හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙවර සිදු වූයේ හෙට්ටිආරච්චි සහ විජේරත්න යන ආචාර්යවරුන් අතිනි. පළමුව කල්කටා විශ්වවිද්‍යාලයෙන් එම්. ඒ. උපාධිය ලත් හෙට්ටිආරච්චි සූරීහු පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය දිනා ගත්තේ ඓතිහාසික වාග්විද්‍යා අධ්‍යයනයන්හි නිරත වෙමිනි.
විජේරත්න සූරීන් ඉන් පසු ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගොස් ඓතිහාසික වාග් විද්‍යාව පිළිබඳව 1950 දශකය මුල වනවිට සිදුව තිබුණු සංවර්ධනයන්ගෙන් පූර්ණ ප්‍රයෝජනය ගනිමින් සිංහල නාම පදයේ ඉතිහාසය මහාචාර්ය අධ්‍යයනයක් සිදු කොට ආචාර්ය උපාධිය දිනා ගැනීමට සමත් වූ බව ඉතිහාසගත ය. මෙම ප්‍රවීණ ආචාර්යවරුන් ගේ ආභාසය බලගල්ලේ සූරීන්ට නොමඳව ලැබුණි. ඔවුන්ගේ අතින් සිදු වූ සිංහලයේ ඉතිහාසය පිළිබඳ ප්‍රාමාණික අධ්‍යයනයන්ට පදනම වැටුණේ එලෙස ය.
භාෂාධ්‍යයන
මහාචාර්ය බලගල්ලේ සූරීන් අතින් ලියැවී ඇති භාෂාධ්‍යයන ලේඛන කීපයක් දැන් සලකා බලමු. සිංහල භාෂාවේ ප්‍රභවය හා ප්‍රවර්ධනය 1996 පළ වූයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශිත පුස්තිකාවක් ලෙසට ය. මෙම අධ්‍යයනය හුදු භාෂාමය දත්ත, එනම් ප්‍රධාන වශයෙන් ශිලාලේඛන කුරුටු ගී වැනි පුරා ලේඛනත් ලිඛිත ග්‍රන්ථත් ලබාදෙන භාෂාමය දත්තවලට සීමා කර ගන්නේ නැතිව කතුවරයා කර ඇත්තේ අපේ ඉතිහාස මූලාශ්‍රයන්හි සඳහන් සිංහල වර්ගයාගේ ඉතිහාසය ද අනුසාරයෙන් කරුණු පැහැදිලි කිරීම ය. අප අත ඇති පැරැණිතම ගද්‍ය කෘතියක් වන ධම්පියා අටුවා ගැටපදයෙහි එන ‘දීපභාසාය’ යන්නට ධ.අ.ගැ. කතුවර V වැනි කාශ්‍යප රජතුමා (ව්‍ය.ව. 913 – 23) ලියූ ප්‍රශස්ත විස්තරය උපුටා දක්වන කතුවරයා සිංහල වර්ගයාගේ සමාරම්භය පිළිබඳව චිරප්‍රකට සිද්ධි දාමය ගෙන හැර දක්වයි. මෙම විස්තරය හුදෙක් ධ.අ.ගැ. ඡේදය ගෙන හැර දැක්වීමකට සීමා නොවූ ප්‍රශස්ත විස්තර විග්‍රහයකි. මෙහිදී කතුවරයා එම විස්තරයට පාදක වූ මහාවංස මහාවංස ටීකාව වූ වංසත්ථප්පකාසිනිගේ එන තොරතුරු පමණක් නොව ඒවාට මුල්වූ දැනට අභාවිත සීහළට්ඨකථා සහ සීහළට්ඨකථා මහාවංස යන පෞරාණික ලේඛන පිළිබඳව ද වැදගත් තොරතුරු සපයා තිබීම ආධුනිකයන්ට මහත් පිටුවහලකි. කතුවරයා ආචාර්යවරයෙකු ලෙස තම භූමිකාව මනාව ඉටු කරමින් මෙම කෘතිය තුළ සෑම විටම ආධුනික පාඨකයන්ට සංග්‍රහයක් වන පරිදිම එය සම්ප්‍රදානය කර තිබීම අතිශයින් ප්‍රශස්ත වේ. උදාහරණ වශයෙන් බොහෝ දෙනා අසා ඇති සිංහල ප්‍රාකෘත පාඨ මිහින්තලේ ලෙන් ලිපියක් වන
‘දෙවනපිය මහරජන බරියය බකිනිය උපශික
වරුණදෘය ලෙණෙ’ සහ කොස්සගමකන්ද පද්‍යමය ලිපියක් වන
මහාරඣනගමණි - අබයන දෙවනපියය
රමණි බරිය මිලකතිශ - වහරෙ කාරිපන කතිය
ආදී වශයෙන් වූ සිංහල ප්‍රාකෘත අවධියට අයත් පැරණිතම ලිපි හයක් උපුටා දක්වන කතුවරයා ඒවාට ‘ප්‍රාකෘත’ යැයි කියන්නේ කුමක් නිසා ද යන්න ඉතා සවිස්තරව තේරුම් කර දෙයි’ ඓතිහාසික වාග් විද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇති ප්‍රාකෘත ප්‍රභේද කිහිපයකි. මේ ප්‍රාකෘත ප්‍රභේදයන් ‘මධ්‍ය ඉන්දු ආර්ය’ අවධියට අයත් වන්නේ කෙසේද යන්නත් මනාව පෙන්වාදී ඇත. මෙම නිරීක්ෂණ අතරතුර මෙරට පැරණිතම සෙල්ලිපිවල එන ප්‍රාකෘතය හා සමඟ බුද්ධභාෂිතයට මාධ්‍ය වූ පාලියත් බුද්ධ කාලයට වසර තුන්සියයකට පමණ පසු දක්නා ලැබෙන ධර්මාශෝක රජුගේ ලිපිවල එන ප්‍රාකෘත විශේෂයන් අතර ඇති ඥාතිත්වය ද කතුවරයා විස්තර කොට තිබේ. මෙහිලා පැවසිය යුත්තේ මේ තරම් සවිස්තරව හා පැහැදිලිව සිංහල භාෂාවේද භවය පිළිබඳ චිත්‍රයක් මවා පෑ අන් කිසිදු අධ්‍යාපන අධ්‍යයනයක් නොමැති බව ය. (බලගල්ලේ සූරීන්ගේ පුස්තිකාවේ සමාරම්භක පිටු කීපය පමණක් මෙහිදී සලකා බලන ලද බවත් එහි සිංහලය නූතන අවධිය තෙක් වර්ධනය වූ ආකාරය ගැන ඇති විස්තරය මෙහි සලකා නොබලන ලද බවත් කිව මනාය.
සංස්කෘතිය
“සිංහලයේ ප්‍රවර්ධනය කෙරෙහි සංස්කෘතික සංස්පර්ශයේ බලපෑම” යනු බලගල‍්ලේ සූරීන් අතින් සිදුව ඇති තවත් ප්‍රශස්ත අධ්‍යයනයකි. සංස්කෘතික සංස්පර්ශය (Cultural contact) යන සංසිද්ධිය භාෂාවක පරිණාමයට බලපාන වැදගත් සාධකයක් බව කරුණු පිරික්සීමේදී පැහැදිලි වන කරුණකි. භාෂාවක් ව්‍යවහාරයේ පවතී නම් එය අනිවාර්යයෙන් ම වෙනස් වීම්වලට භාජනය වේ. එම වෙනස් වීම් වන්නේ අභ්‍යන්තර සාධක නිසා හෝ බාහිර බලපෑම් නිසා හෝ විය හැකි ය. උතුරු භාරතයෙන් ලක්දිවට සංක්‍රමණය වූවන් මෙහි එනවිට ඔවුන් මව් රටේ කථා කරමින් සිටි භාෂාවේ තිබුණු පරිදි ‘දේවානම්පිය මහාරාජස්ස භරියාය භගිනියා උපාසිකා වරුණදත්තාය ලේණං” යන්න වසර දෙතුන් සියයකට පසු ‘දෙවනපිය මහරජහ බරියය බකිනිය උපශිත වරුණදතය ලෙණෙ’ බවට පත්ව තිබුණි. (අර්ථය - දෙවනපිය මහරජුගේ භාර්යාවක් සොහොයුරිය වූ උපාසිකා වරුණ දත්තාගේ ලෙණය) භාරතයෙන් ගෙන ආ භාෂාවේ මහාප්‍රාණ අල්පප්‍රාණ වීම දීර්ඝස්වර කෙටි ස්වර වීම, ස - හ වීම, ග - ක වීම බැදි අකුරු තනි අකුරු වීම ( - සරල විස්තරයකි) අපට දක්නට ලැබෙන්නේ භාෂා පරිණාමයේ ප්‍රතිඵල වශයෙනි. මේ ඇතැම් වෙනස්වීම් උච්චාරණ පහසුව ආදී අභ්‍යන්තර හේතු නිසා වන්නට ඇත. නො එසේ නම් සංක්‍රමණික ජනයා මෙහි එනවිට මෙහි සිටි ස්වදේශිකයන්ගේ බස් වහර හා සංස්පර්ශයෙන් සිදුවූවා විය හැකි ය. නො එසේ නම් සංක්‍රමණිකයන් මෙහි පදිංචි වූ පසු සිදුවූ සංස්කෘතික සබඳතා නිසා විය හැකි ය.
සංස්කෘතික සංස්පර්ශය ක්‍රියාත්මක වන ආකාරය විස්තර කරන බලගල්ලේ සූරීහු මෙසේ පවසති. සංස්කෘතික සංස්පර්ශය ඍජුවම බලපෑම කරන ක්‍රමයක් වශයෙන් ආගන්තුක සංකල්පය හා/ හෝ ද්‍රව්‍යමය සංස්කෘතිකාංග ආශ්‍රිත වූ භාෂාන්තර බලපෑම ය. මෙය ‘ඒකපාක්ෂික ඍණිකරණයක්’ බව පවසන කතුවරයා ඓතිහාසිකව සිංහලය කෙරේ බල පා ඇති භාෂා වන සංස්කෘත පාලි, දෙමළ, පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ගැන සඳහන් කරයි. මෙම ඍණිකරණය ඉතා සංකීර්ණ වන්නක් බව කතුවරයා පැහැදිලි කරන්නේ ප්‍රශ්න නවයක් අනුසාරයෙනි. එනම් (1) ප්‍රදායක හා ආදායක භාෂාව අතර ඇති සබඳතාව ආගමික, සංස්කෘතික හා අධ්‍යාපනික සබඳතා අනුව හැඩ ගැසුණේ ද නැති නම් දේශපාලනමය හෝ තදාශ්‍රිත ව්‍යවහාරමය වටිනාකම් අනුව හැඩ ගැසුණක් ද? (2) ඥාති සබඳතාවේ සමීපතාව (3) සංස්ථිතික සමානතා ආදී වශයෙන් වූ සාධක මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.
මෙම විස්තරයේදී කතුවරයා බොහෝ දෙනා නොදන්නා කරුණක් ද අපට ඉදිරිපත් කරයි. එනම් ආදිතම සිංහලය කෙරේ (පුරාණ ඉන්දු - ආර්ය භාෂාවක් වූ) ඉරාණීය භාෂාවේ බලපෑම ගැන ඇති සාධකය. ඊට අමතරව වඩාත් ප්‍රකට දෙමළ භාෂාවේ ද පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි භාෂාවන්ගේ බලපෑම ද ඔහු විස්තර කොට ඇත. මෙම අධ්‍යයනයේ 3 වන කොටස වන ‘සිංහලයේ යෙදී ඇති සමණීත වචන’ යන කොටස ඉතා සිත්ගන්නාසුලු තොරතුරු ගැබ් වූවකි. උදාහරණ වශයෙන් අප බසෙහි ඇති ‘හරක්’ යන්න ග්‍රීක ප්‍රභවයක් ඇති එකක් බව ‘පොළ’ යන්න ද එබඳු ග්‍රීක ප්‍රභවයක් ඇත්තක් බව ද, අප ඉහත සඳහන් කළ සිංහල ප්‍රාකෘතයේ ඇති ‘ස’ ශබ්දය ‘හ’ වීම, මහාප්‍රාණ ශබ්ද අල්පප්‍රාණ වීම, ආදිය පුරාණ ඉරාණීය භාෂාවෙහි බලපෑම අනුව සිදු වූවක් විය හැකි ය යන්නත් ‘රා’, ‘තරාදි’ ‘දවුල්’ වැනි වචන ගණනාවක් ද ඉන්දීය ප්‍රභවය ඇති වචන බවත් ආදි වශයෙනි. මෙම ලිපිය හුදෙක් තොරතුරු සපයන්නක් නොව කතුවරයාගේ විග්‍රහාත්මක කෞශල්‍යය විදහා දක්වන්නක් වේ. ‘ඍණාදාන ක්‍රම’ යන කොටසේ දී බාහිර භාෂාවකින් අංග ඇතුළත් කර ගැනීමේදී භාෂාවේ ක්‍රියාත්මක වන අභ්‍යන්තර නීති රීතිවලට අනුරූප වන පරිදි හැඩ ගස්වා ගන්නා පිළිවෙළ මෙහිදී විස්තර වේ. ඊළඟට එම ලබාගත් වචන වරනැඟීම හා වර්ගීකරණය සලකා බැලේ. ඊළඟට ඍණීත වචන භාෂාවේ ප්‍රවර්ධනය කෙරේ බලපෑ අයුරු සාකච්ඡා කොට ඇත.
බලගල්ලේ සූරීන්ගේ අවධානයට යොමු වූ තවත් විෂයයක් නම් සිංහල වර්ණ මාලාව හෙවත් සිංහල හෝඩිය පිළිබඳ ප්‍රශ්නයයි. මෙය මත භේදයට තුඩු දී ඇති කරුණක් බව දනිමු. අපේ හෝඩියේ අකුරු මොනවාද? ඇතැම් අකුරු එයට ඇතුළත් වීම නිවැරැදි ද? ආදී ප්‍රශ්න පැන නැඟී ඇත. මෙම විෂයය පිළිබඳව එතුමා ලියූ ප්‍රධාන ලිපි තුනක් තිබේ. එනම් ‘සාම්ප්‍රදායික සිංහල වර්ණ මාලාව පිළිබඳ විමර්ශනයක’, ‘සිංහලයේ සඤ්ඤක අකුරු’ සහ ‘සිංහලයෙහි ආකාරයේ සංවෘත විවෘත භේදය’ යනුවෙනි. මෙම සාකච්ඡාවේදී ක්‍රි.පූ. 3 වන සියවසේ සිංහල ප්‍රාථමික අවධියෙහි භාවිත වූ වර්ණ මාලාවේ සිට වර්තමානයෙහි මහාචාර්ය ජේ.බී. දිසානායකයන් ද ලේඛක අජිත් තිලකසේනයන් ද ආදී වශයෙන් විවිධ විද්වතුන් විසින් ඉදිරිපත් කොට ඇති වර්ණමාලා 21 ක් නිරීක්ෂණයට භාජනය කර තිබේ. කතුවරයාගේ නිගමනය නම් 1989 දී ජාතික අධ්‍යාපන ආයතනය මඟින් ප්‍රකාශිත සිංහල ලේඛන රීතිය කෘතියෙහි දැක්වී ඇති වර්ණ මාලාව උචිත බව තමාට වැටහෙන බව ය.
බලගල්ලේ මහාදුරුතුමන් අතින් බිහිවී ඇති තවත් ප්‍රශස්ත ශාස්ත්‍රීය කෘති කීපයක් ඇත. ඉන් විශේෂයෙන් සඳහන් කළ යුතු කෘති දෙකක් නම් ‘සිංහල භාෂාධ්‍යයන ඉතිහාසය’ සහ ‘භාෂී සන්නිවේදනය, අර්ථ විචාරය හා උපයෝගිතා විචාරය’ යන කෘතීන් ය. එතුමා සිංහල භාෂාධ්‍යයන ඉතිහාසය කෘතියෙහි දී සිංහලයෙහි ඉතිහාසගත මුල් අවධියෙහි සිට (හෙළටුවා සහ සිංහල ප්‍රාකෘත) වර්තමානයෙහි ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් සිදුවී ඇති අධ්‍යන්ත තෙක් ඉතා සවිස්තරාත්මක විවරණයක් කිරීමට කතුවරයා වෙහෙස ගෙන ඇත. පළමු වරට 1998 දී පළ වී රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් ද හිමි කර ගත් මෙම කෘතිය තවත් (ඉන් පසුව පළවූ කරුණු ද ඇතුළත් කොට) නව සංස්කරණයක් ලෙස 2016 වර්ෂයේදී පළ කිරීම කතුවරයාගේ අප්‍රතිහත ශාස්ත්‍රගවේෂී පරිශ්‍රමය මොනවට විදහා දක්වන්නකි.
බංගල්ලේ සූරීන් අතින් 2014 දී පළවූ අලුත් කෘතිය වන ‘භාෂා සන්නිවේදනය’ අර්ථ විචාරය හා උපයෝගිතා විචාරය ‘කෘතිය එතුමාගේ නිරන්තර බුද්ධිමය ව්‍යායාමය ප්‍රකට කරන ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථය ලිවීමේ අරමුණ වූයේ අර්ථප්‍රරූපවන පරිදි සිංහල ව්‍යාකරණය පිළිබඳ විග්‍රහයක් කිරීමත්, ඇතැම් නූතන වාග්වේදීන් ‘උපයෝගිතා විචාරය (Pragmatics) යනුවෙන් හඳුන්වන සංකල්පය සැබැවින් ම නවීන වූවක් දැයි සලකා බැලීමත් ය. එම දෙවන කාරණය ගැන එතුමා කියන්නේ පැරණි භාරතීය දාර්ශනික ව්‍යාඛ්‍යාතෲන්ගේ අර්ථ විචාර විෂය ක්ෂේත්‍රය තුළම උපයෝගිතා විචාරය ද ඇතුළත් ව තිබුණු බව ය.’ ඉහත දැක්වුණේ එතුමාගේ ශාස්ත්‍රීය සේවාවෙන් බිඳක් පමණි.
ආදර්ශය
බලගල්ලේ මහාචාර්ය තුමා විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාම ගොස් දැන් වසර 28 ක් ගතවී ඇත. එහෙත් එතුමාගේ ශාස්ත්‍රීය ප්‍රයත්න නොකඩවා සිදුවේ. ගුරුවරයෙකු වශයෙන් පරමාදර්ශී සේවයක් එතුමාගෙන් එදා ඉටු වූවාක් මෙන් අදත් ඉටුවෙමින් පවතී. ‘මහාචාර්ය’, ‘ජ්‍යෙෂ්ඨ මහාචාර්ය’ යන පදවිනාම සුලභව ඇති අවධියක මෙබඳු විද්වතුන් අප අතර සිටීම සැබවින් ම වාසනාවකි.