මේ මොහොත ඔබේ නොවේ... | සිළුමිණ

මේ මොහොත ඔබේ නොවේ...

ඔබ කියවා තිබෙනවාද එමලි බ්‍රොන්ටේ ලියූ ‘වදරින් හයිට්ස්’. මෙතෙක් ඔබ ඒ සුවිශිෂ්ට කෘතිය කියවා නැත්නම් හැකි ඉක්මනින් එය කියවා බලන ලෙස මම ඔබට ඇරියුම් කරන්නෙමි. එය නිකම් ම නිකම් නවකතාවක් නම් නොවේ.

ඔබ ජීවිතයේ විවිධ අත්දැකීම්වලට මුහුණ දී ඇති. ඒවා හොඳ මෙන් ම නරක ඒවා ද විය හැකිය. හොඳ අත්දැකීමක් විඳින විට සතුටින් ඉපිලෙන අපි, දුක්ඛදායක අත්දැකීමක් විඳින විට දුකෙන්, කලකිරීමෙන්, පශ්චාත්තාපයෙන්, සමහර විටෙක කෝපයෙන් ඊට මුහුණ දෙන්නෙමු. වදරින් හයිට්ස් හි අපට හමුවෙන ‘හිත්ක්ලිෆ්’ නම් කොලුවා තම පීඩනය දරා ගන්නේ දැඩි ඉවසීමකිනි. ඔහු සංකීර්ණ මානසික ගැටලුවලින් පීඩා විඳින්නකු වන අතර ම තමාට එල්ලවන වද හිංසා අසීරුවෙන් දරා ගනී. එය කොතරම් විඳ දරා ගැනීමක් ද යත්, ඉතාමත් කුරිරු ලෙසින් පහර කෑමට ලක්වන විට කුරිරු හදිසි අනතුරකට ලක් වෙනවා යැයි සිතා තදින් ඉවසයි.

එමලි, හිත්ක්ලීෆ් හරහා අපට වෙනස් පණිවිඩයක් දෙයි. රුදුරු පහරදීමක් අබියස පවා එක් කඳුළු බින්දුවක් නොහලන අපූරු කොලුවා වීරයෙක් ව අපේ හදවත අත්පත් කරගනිමින් රඟන්නට වෙයි.

පොත කියවන අපට හැඟෙන්නේ ඔහු එතරම් ඉවසන්නේ කෙසේද කියා ය. අපට නැඟෙන පැනය ම ගැඹුරු ව, නිහඬ ව සියල්ල දරා සිටින කොලුවාගෙන් නෙළී අසයි. හිත්ක්ලීෆ් කදිම පිළිතුරක් දෙයි.

“මා ඉවසා සිටින්නේ නියමිත කාලය එනතෙක්“

එය නම් කදිම පිළිතුරකි. ඔබට ඔබේ දැනට පවතින ගැටලුවලට විසඳුම් එසේත් නැත්නම් පාඩම් ඉගැන්විය හැක්කේ මේ මොහොතේ නොවේ. ඒ මේ මොහොත ඔබේ නොවන බැවිනි. හැබැයි ඒවාට නිසි පිළිතුර දිය හැකි කාලයක් ඔබට නිසැකයෙන් ම උදා වේවි. එදාට පිළිතුරු දෙන්නට නම් දැන් ඉවසිය යුතු ම ය.

හිත්ක්ලීෆ් දුන්නේ සදාකාලික, සදාතනික පිළිතුරකි. එහෙත් ඒ පිළිතුරෙන් නෙලී සෑහිමකට පත් වන්නේ නැත.

‘නපුරු මිනිසුන්ට දඬුවම් ලබා දෙන්නේ දෙවියන් විසින්. එය දෙවියන් සතු කටයුත්තක්.’ නෙලී පවසයි. එහෙත් ඒවා පිළිගන්නට හිත්ක්ලීෆ්, අපේ කතා නායකයා සූදානම් නැත. කතුවරිය නම් ඉඟි කරන්නේ එය පරම්පරා ගැටුම බවයි. පරම්පරා ගැටුම කෙසේ වෙතත් නොපෙනෙන දෙවියන්ට වඩා තමාට දැනෙන තමාගේ හෘදය සාක්ෂිය ගැන හිත්ක්ලීෆ්ට විශ්වාස ය. එබැවින් ඔහු මෙසේ පවසයි.

‘නැහැ, දෙවියන්ට බැහැ මාව තෘප්තිමත් කරන්න. මා පමණයි ඊට හොඳ ම මඟ දන්නේ. මට තනිව ඉන්නට ඉඩ දෙන්න. ඒක මම සැලසුම් කර ගන්නම්. මම ඒ ගැන හිතන විට මගේ හිතට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ.’

පළි ගැනීමේ චිත්තය විසින් හදවත පවා බලාපොරොත්තුවේ ගිනි සිළුවෙන් ආලෝකවත් කරන්නේ ය. මා ඔබට මුලින් ම ‘වදරින් හයිට්ස්’ කියවා නැත්නම් කියවා ගන්නට යැයි ඇරියුම් කරන්නේ මේ සදාතනික වීරත්වය නිසා ය; සමාවෙන්න, පළි ගැනීමේ ප්‍රබලත්වය නිසා ය.

නොඉවසිල්ල, ඉවසිල්ලක් බවටත්, ඉවසිල්ල නොඉවසිල්ලක් බවටත් පත්වන අවස්ථාවක් හැමෝට ම ජීවිතයේ උදා වේ.

අර්නස්ට් හෙමිංග්වේ ‘පරාජය බාර නොගත් මිනිසා’ ගේ කතාව ද ඉරණම වෙනස් ආකාරයකින් කියවා ගැනීමට පාඨකයන්ට ආරාධනා කරන්නකි.

“මිනිසකු විනාශ කරන්නට පුළුවනි; නමුත් ඔහු පරාජය කරන්නට නොහැකිය.”

මේ වදන් අප සැමගේ මුවග රැව් දුන්න ද ඒවායේ අයිතිකරුවා සන්තියාගෝ නම් ධීවර මහල්ලා ය. මහල්ලාගේ මුවට ඒ වදන් නංවන්නේ හෙමිංග්වේ ය. හෙමිංග්වේ ද අපූරු පුද්ගලයෙකි. මරණයට මෙතරම් සමීප ව ජීවත් වූ වෙනත් ලේඛකයකු ගැන අප අසා නැත. මහා සංග්‍රාම දෙකකට ම සහභාගී වූ හෙමිංග්වේ පළමු ලෝක සංග්‍රාමයේදී බෝම්බයකට හසුවී බරපතළ තුවාල ලැබීය. බොක්සිං ක්‍රීඩාවේදී ඔහුට ඇසක් අහිමි විය. සිංහයන් දඩයම් කිරීමට අප්‍රිකාවට ගිය වාර දෙකකදී ම අහස්යානය කඩා වැටී ඔහු මරණයෙන් බේරී ඇත්තේ අනූනවයෙනි. ඔහු මරණය පරාජය කළේ එලෙසින් ය.

එක එක අය ජීවිතයට මුහුණ දෙන්නේ එක එක විදියට ය. ඒවා එකින් එක වෙන් කර තේරුම් ගත නොහැකිය. එසේ වූ හෙමිංග්වේ ම කානු දෙකේ තුවක්කුවෙන් කටට වෙඩි තබාගෙන මිය ගියේය. සොබාදහම ඔහුව මරණයෙන් ගැලවුව ද, මිනිසා පරාජය කළ නොහැකි යැයි ඔහු ම කීව ද අවසානයේ ඔහු මිය ගියේ තම හදවතෙන් ම ගැලවී ගත නොහැකිව ය.

ජීවිතය අල්ලා ගන්නේ කොතනින් ද, අත හරින්නේ කොතනින් ද කියා අප කිසිවකුටත් මුලින් කිව නොහැකිය. එහෙත් ජීවිතය ජීවත් වීමෙන් ම අවබෝධ කරගත හැක්කේ ය. මිනිසා පරාජය කළ නොහැක්කේ යැයි කියූ හෙමිංග්වේ තමාගේම හදවතට පරාජය වී මරණය වැලඳ ගනිද්දී හිත්ක්ලීෆ් අවස්ථාවක් එන තුරු ඉවසීමෙන් බලා සිටියි. මේ සමාජයේ ජීවත් වන්නේ විවිධාකාර චරිත ය. මේවා හැසිරෙන්නේ එක් එක් විදියට ය. එය කලින් තීරණය කළ නොහැකිය. මේ වෙනස සාහිත්‍යකරුවන් අපූරුවට විවරණය කරන්නේ ය. සාහිත්‍යකරුවන්ගේ පෑන් තුඩින් මෙහෙයවන චරිත ජීවිතයේ විවිධ පාඩම් කියා දෙන්නේ ය.

කියවා නැත්නම් කියවා ගනු මැනවි. වදරින් හයිට්ස් ඔස්සේ එමලි බ්‍රොන්ටේ අපට පවසන්නේ ජීවිතයේ ඉවසිය යුතු තැන් ගැන ය. ‘මහල්ලා සහ මුහුද’ ඔස්සේ අර්නස්ට් හෙමිංග්වේ අපට කියන්නේ පරාජය බාර ගන්නේ කෙසේද කියා ය.

කෙසේ වුවත් හොඳට මතක තබා ගන්න.

පීඩාවට පත් වන මොහොත ඔබේ නොවේ; ඔබේ අවස්ථාව ඇත්තේ ඊට ඔබ්බෙනි.

Comments