මහාචාර්ය බලගල්ලේ අනුදුටු සිංහල ලේඛන ශෛලිය | Page 2 | සිළුමිණ

මහාචාර්ය බලගල්ලේ අනුදුටු සිංහල ලේඛන ශෛලිය

සම්භාවනා

 සිංහලය ජීව භාෂාවකි. ජීවියෙකු මෙන් වෙනස් වෙමින් වැඩෙන්නකි. ගංගාවක් මෙන් ගලා ගෙන යන්නකි. කාලීනව වෙනස් වෙමින් අලුත් වන්නකි. එවැනි භාෂාවක අනිවාර්ය ලක්ෂණයක් නම් ‘නිරවද්‍ය විකල්ප ව්‍යවහාර’ ද සෑහෙන ප්‍රමාණයක් දක්නට ලැබීම යි. එවැනි විකල්ප ව්‍යවහාර පවතින විට ඒ අතුරින් එකක් සිය මනාපය පරිදි තෝරා ගැනීම විද්වත් ලේඛක සම්ප්‍රදාය යි.මෙවැනි මනාප එක් වීමෙන් සැදෙන්නේ එක් එක් ලේඛකයාට ම සුවිශේෂ වූ භාෂාව්‍යවහාරයකි. මේ ව්‍යවහාර සමුච්චය ඒ ලේඛකයාගේ‘ශෛලිය’ වශයෙන් හැඳින්විය හැකි ය.

එක් ලේඛක ශෛලියක් තවත් ලේඛක ශෛලියකින් වෙනස් කිරීමට හේතු වන විකල්ප ව්‍යවහාර සමුච්චයක් සමකාලීන සිංහල ලේඛන ව්‍යවහාරයෙහි හමු වෙයි. ඒ ව්‍යවහාර සමුච්චය අතුරින් අක්ෂර වින්‍යාසය, පද සාධනය හා පද බෙදීම සමිබන්ධ විකල්ප ව්‍යවහාර මුල් තැන් ගනී. නූතන සිංහල ලේඛකයන් දෙ විධියකට ලියන සමහර පද තෝරා ගෙන ඒ සම්බන්ධයෙන් මහාචාර්ය බලගල්ලේ අනුගමනය කරන ප්‍රතිපත්තිය කෙබඳු දැයි මෙහි ලා විමසා බැලේ.

මහාචාර්ය විමල් බලගල්ලේ මහතා අද අප අතර සිටින ජ්‍යේෂ්ඨතම සේවාර්ජිත මහාචාර්යතුමා වෙයි. එතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලයේ සිංහල අංශයේ නිර්මාතෘවරයා ය. ප්‍රාචීන පණ්ඩිතයෙකු වන එතුමා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග හා අප්‍රිකානු අධ්‍යයන අංශයට බැඳී නූතන වාග්විද්‍යාව ද හැදෑරීය. භාෂාව අළලා එතුමා ලියූ බොහෝ පොත්වලට රාජ්‍ය සම්මාන හිමි විණ. භාෂාව හා සම්බන්ධ නොයෙක් කමිටුවල මුලසුන අනිවාර්යයෙන් ම එතුමාට පිරිනැමිණ.

එතුමා අද අප අතර සිටින විශිෂ්ට ගණයේ ඡෙකයකු සේ අවිවාදයෙන් සැලකිය හැකි ය. භාෂාවක ව්‍යාකරණය සකස් වන්නේ ව්‍යවහාර අනුසාරයෙන් බවත් (“වහරනුසෙරෙන් සපයා”) ඒ ව්‍යවහාර ඡේකයන්ගේ ප්‍රයෝග බවත් (“අනුරූ සේ පියෝනන්”)සිදත් සඟරා කතුවරයාණෝ කීහ. එබැවින් බලගල්ලේ මහාචාර්යතුමාගේ භාෂා ව්‍යවහාරය හඳුනා ගැනීම ආධුනිකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

එතුමාගේ ලේඛන ශෛලිය පැහැදිලි කිරීමට තෝරා ගැනුණේ එතුමා 1998 දී පළ කළ‘සිංහල භාෂාධ්‍යයන ඉතිහාසය’ නමැති කෘතිය යි. එතුමාගේ ශෛලිය හඳුනා ගැනීමට එක් කෙටි නිදසුනක් වශයෙන් පහත දැක්වෙන ඡේදය ඉදිරිපත් කළ හැකි ය.

“දැනට විද්‍යමාන සිංහලයේ පැරණිතම කාව්‍යාලංකාර ග්‍රන්ථය වූ සියබස්ලකරත් ඡන්දෝග්‍රන්ථය වූ එ`එළු සඳැස් ලකුණත් රචිතව ඇති අයුරින්ම සිදත් සඟරාවද රචිතව ඇත්තේ එළු බසින් හෙවත් අමිශ්‍ර සිංහලයෙනි. එහි සූත්‍ර වැඩි හරියක් ද පද්‍යයෙන් රචිත ව ඇති අතර වැඩි හරියක් උදාහරණ ද ගෙන ඇත්තේ පැරණි ගී කවිවලින් බව පෙනේ. සිදත් සඟරාව අවිශේෂයෙන් සමස්ත සිංහල භාෂා ව්‍යවහාරය සඳහා රචිත වියරණයක් නොව සිංහල පද්‍ය ව්‍යවහාරය සඳහා රචිත වියරණයක් බවටත් උපයුක්ත වර්ණ මාලාව දැක්වීමේදී හා තවත් තන්හි සිදත් කතුවරයා කියන ‘සියබස’ නම් සිංහල පද්‍යය සඳහා සාම්ප්‍රදායික වශයෙන් යොදා ගනු ලැබූ බවටත් තර්ක කිරීමට මෙයද එක් හේතුවක් වී ඇත. සිදතේ අවසන් අදියර දෙක ඡන්දස්, අලංකාර දෙක සඳහා වෙන්ව තිබීම මෙබඳු තවත් හේතුවකි” (31 පිට)

මේ ඡේදය ලිවීමෙහි දී බලගල්ලේ මහාචාර්යතුමා අනුගමනය කළ ශෛලියෙහි ලක්ෂණ කවරේ ද? පළමුවෙන් ම ‘පද බෙදීම’ සැලකිල්ලට ගත හැකි ය. පැරණි පුස්කොළ පොත්වල පද බෙදීමක් නොවිණ. පද බෙදීමේ රීති සිංහලයට පිවිසුණේ මුද්‍රණ යන්ත්‍රය මෙරටට පිවිසීමත් සමඟ ය. එබැවින් පද බෙදීම අරබයා පොදු සම්මතයක් සිංහලයෙහි නැත. එක් එක් ආචාර්ය කුලවලට අයත් ලේඛකයෝ එක් එක් සම්මතවල පිහිටා පද බෙදති.

‘පද බෙදීම’ සමිබන්ධයෙන් බලගල්ලේ මහාචාර්යතුමා අනුගමනය කරන පිළිවෙත පැහැදිලි කිරීමට එක් රීතියක් පමණක් මෙහි දී විමසිල්ලට හසු කෙරේ. එනම් තනි අකුරේ පද ලියා දැක්වීමේ රීතිය යි.

තනි අකුරින් සැදුණු පද සමූහයක් සිංහල ලේඛන ව්‍යවහාරයෙහි එයි. ඒ අතුරින් වැඩි හරියක් නිපාත පද යි. ‘ද’ ‘ම’ ‘ය’ හා ‘යි’ යන පද මෙනි. මෙවනි පද ලිවීමෙහි ලා රීති දෙකක් අද භාවිත වෙයි. එකක් ඒ පද ඊට පූර්වයෙන් එන පදයට එක් කොට ලිවීම ය. අනික ඒ පද පූර්වයෙන් එන පදයෙන් වෙන් කොට ලිවීම ය. මෙහි දී මහාචාර්යතුමා අනුගමනය කරන පිළිවෙත වන්නේ එවැනි පද ඊට මුළින් එන පදයට එක් කොට ලිවීම යි.

‘ද’ නිපාතය

“හලන්ත වචනද ස්වරාන්ත බවට” (14)

“සාහිත්‍ය කටයුතු සඳහාද” (14)

“මතු දැක්වෙන කරුණුද” (16)

“ප්‍රයෝගයට නිදසුනක්ද දෙන නමුත්” (23)

‘දී’ නිපාතය

“එසේ කිරීමේදී” (16)

“මහින්දාගමනය සිදුවන කාලයේදීද” (16)

“මුලදී කච්චායන ඇසුරු කිරීම”(18)

“10 වන සියවසේදී පමණ” (18)

‘නො’ නිපාතය

“ඔහු කිසිවක් නොකියයි” (66)

“සම්බන්ධයක් හෙළි නොවේ” (70)

“සාධක මෙතෙක් අපට නොලැබිණ” (74)

“ප්‍රයත්නයක නොයෙදෙයි” (75)

“ප්‍රකාශිතව නොතිබුණු ග්‍රන්ථ” (82)

‘ම’ නිපාතය

“වැඩි වශයෙන්ම” (13)

“මුල් අවදියෙහි පටන්ම” (15)

“සියලුදෙනාටම පොදු වූ ලක්ෂණයක්” (19)

“මුල් පොතේ කාලයටම අයත්” (25)

‘ය’ නිපාතය

“කච්චායන ව්‍යාකරණය බිහිවීමෙන් පසුවය” (18)

“අනුමාන කළ හැකිය” (18)

“විස්තර කොට තිබීමය” (19)

“අපේ අවධානය යෙමු විය යුතුය” (23)

‘යි’ නිපාතය

“සෙල්ලිපි සමූහයයි (13)

“අභාවිතය ආදියයි” (14)

“පාලිඅට්ඨකථායි” (15)

“මහා කාශ්‍යප මාහිමියෝයි” (24)

‘ව’ නිපාතය

“භාෂාව පිළිබඳව” (25)

“අනන්‍යතා ලක්ෂණවලට සමාන්තරව (14)

“දෙවනුව ඔවුන්ට නිවාස භූමි වූ රට” (23)

“හේතුසාධක සහිතව” (83)

‘ගේ’ හා ‘ගෙන්’ යන පද නිපාත පද වශයෙන් සලකන ලේඛකයෝ එපද ඊට පූර්වයෙන් එන පදයෙන් වෙන් කොට ලියති. එහෙත් ඒවා ‘විභක්ති ප්‍රත්‍ය’ වශයෙන් සලකන ලේඛකයෝ ඒවා මුල් පදයට එක් කොට ම ලියති. මහාචාර්යතුමා ද ඒවා විභක්ති ප්‍රත්‍ය වශයෙන් සලකා ඊට මුලින් එන පදයට එක් කොට ම ලියයි.

“මහාචාර්යවරයාගේ උපදෙස් පරිදි” (13)

“බාරොන් ජයතිලකයන්ගේ කර්තෘත්වයෙන්” (13)

“ඉතිහාසඥයන්ගේද පිළිගැනීමට ලක් වූවක්” (13)

“භික්ෂූන්ගේ සාමූහික ප්‍රයත්නයක” (14)

‘ගෙන්’ යන්න

“චීනයෙන් පැමිණියවුන්ගෙන් පැවතෙන ජනතාවක්” (51)

“ලන්දේසීන්ගෙන් පැමිණි තාඩන පීඩන” (54)

“ඔවුන්ගෙන් සිංහල ජාතිය ඇරඹුණු බවත්” (59)

“වැද්දන් ඔවුන්ගෙන් පැවතෙන්නන් විය හැකිය” (87)

‘එ’ ‘මෙ’ ‘කෙ’ යන පද ඊට පරව එන පදයෙන් වෙන් කොට ලිවීම ඇතැමුන්ගේ සම්ප්‍රදාය වුවත් බලගල්ලේ මහාචාර්යතුමා ඒ පද ලියන්නේ පසුව එන පදයට එක් වන පරිදි ය. ඒ පද වෙනත් ලේඛකයන් ලියන ආකාරය වරහන් අතුළත දැක් වේ.

‘එ’ එරට (එ රට)

“එරට වැසියන්” (15)

එතරම් (එ තරම්)

‘එතරම් පිළිගැනීමට ලක් නොවූ” (19)

 

5 වැනි පිටුෙවන්

එපමණකින් (එ පමණකින්)

“එපමණකින් ඔවුන්ට සෑහීමකට” (20)

එසේ (එ සේ)

“එසේ හෙයින් ” (80)

‘කෙ’ කෙතෙක් (කෙ තෙක්)

“ඔහු දැරූ උත්සාහයකෙතෙක් දැයි” (65)

කෙසේ (කෙ සේ)

“කෙසේ වුවද” (18)

“කවදා කෙසේ සිදු වුවත්” (13)

‘මෙ’ මෙකී (මෙ කි)

“මෙකී ලිපි” (13)

මෙතෙක් (මෙ තෙක්)

“සාධක මෙතෙක් අපට නොලැබිණ” (74)

මෙසේ (මෙ සේ)

“මෙසේ සිංහල භාෂාවේ” (14)

“සිංහල අනුවාදය මෙසේය” (15)

‘අක්ෂර වින්‍යාසය’ සමිබන්ධයෙන් එතුමා අනුගමනය කරන පිළිවෙත හඳුනා ගැනීමට පහත දැක්වෙන පද උපකාරී වෙයි. විකල්ප වින්‍යාස අතුරින් එතුමා තෝරා ගත් පදය පළමු ව දැක්වෙි.

අතර (අතරැ)

“හඳුන්වනු ලබන අතර” (13)

අනික් (අනෙක්)

“අනික් අතින්” (55)

ඇමති (ඇමැති)

“රජුගේ සන්නස් ඇමති පදවිය” (40)

කවදා ( කවර දා)

“සිංහල භාෂාවෙි සම්භවය කවදා කෙසේ සිදු වුවත්” (13)

තත්වය (තත්ත්වය)

’‘උසස් තත්වයේ අංග සම්පූර්ණ දියුණුවකට” (74)

“සෑහෙන තරම් උසස් තත්වයක්” (74)

“භාරතීය පුරාතත්ව නම් ග්‍රන්ථයෙහිද” (81)

“නොක්ස්ගේ කාලයෙහි තත්වය” (101)

දෙමළ (දමිළ)

“දෙමළ පදනමක් මත” (121)

“පාලියත් දෙමළයත් සමඟ” (121)

“දෙමළයෙහි මෙන්ම සිංහලයෙහිද” (121)

පුස්තකාලයෙහි (පුස්තකලයයෙහි)

“කෞතුකාගාර පුස්තකාලයෙහි ” (65)

පැරණි (පැරැණි)

“පැරණි එළු බස” (118)

“පැරණිතම හෙළ වියරණය” (28)

මගින් (මඟින්)

“ප්‍රස්තාවනාව මගින්” (13)

“ශබ්ද මගින් නියෝජනය වීම” (14)

“බෙංගාල ශාඛාව මගිනුත්” (71)

වන (වැනි)

“පළමුවන සිංහල පොත” (57)

“වැදගත්කමින් දෙවන තැනට” (15)

“ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේ පටන්” (13)

විද්‍යාලයේ (විද්‍යාලයයේ)

“ලන්ඩන් විශ්වවිද්‍යාලයේ” (56)

වෙළඳ (වෙළෙඳ)

“ඔිලන්ද වෙළඳ සමාගම” (53)

“පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගමට” (61)

වෙළඳාම (වෙළෙඳාම)

“කුළු බඩු වෙළඳාම සියතට ගැනීම” (53)

සමග (සමඟ)

“මධ්‍ය සිංහල යුගයත් සමගය“ (20)

සමුදාය (සමුදායය)

“නැව් සමුදායක් මෙහි එවන ලදි” (46)

‘පද සාධනය’ ඇසුරින් උපන් විකල්ප ව්‍යවහාර ද කීපයකි.

අනියත ‘එකු’ ප්‍රත්‍යය ද යෙදීම

‘අකු’ යන ප්‍රත්‍යයට අමතරව ‘එකු’ යන ප්‍රත්‍යය ද සමකාලීන සිංහලයට පිවිස ඇත. මහාචාර්යතුමා ‘එකු ’ යන ප්‍රත්‍යය ද යොදයි.

“කවරෙකු විසින් වුවත්” (13)

“පූජකවරුන් කීප දෙනෙකු” (46)

“ටික දෙනෙකුට බව” (64)

“භාෂා විශාරදයෙකු වුවද” (18)

“මතයට නැඹුරු වූවෙකු බව” (118)

“සත්‍යය සොයා යන්නෙකුට” (49)

‘න්ට’ සංයෝගය

‘ට’ යන්නට මුලින් ‘මූර්ධජ ණ’ යන්න යෙදීම සංස්කෘත රීතියකි. එහෙත් එය සිංහලයට අදාළ නොවේ. එබැවින් නාම පදවල මෙන් ම ක්‍රියා පදවල ද ‘ට’ යන්නට මුලින් දන්තජ ‘න’ යන්න යෙදීමෙන් සැදුණු ‘න්ට’ සංයෝගය සහිත නාම පද මෙන් ම ක්‍රියා පද ද මහාචාර්යතුමාගේ ශෛලියෙහි හමු වේ.

නාම පද

“සිංහල කවියන්ට” (20)

“යථෝක්ත නිගමනයන්ට” (75)

“රාජ්‍ය පාලකයන්ට” (65)

“ප්‍රාකෘතයන්ට පොද වූ” (14)

“සිංහල ලේඛකයන්ට” (20)

ක්‍රියා පද

“ මඳක් ඈතට යන්ට” (80)

“තිබුණාවන්ට බැරිකමක් නැත” (21)

“ආභාසය මඳ වශයෙන් ලැබෙන්ට ඇතැයි” (65)

‘ක්‍රියා පද’ භාවිතයෙහි දි නිවැරදි විකල්ප ව්‍යවහාර හමු වේ. නිදසුන් කීපයක් පමණක් මතු දැක්වේ.

කර (කැරැ)

“පත්කර ගැනීම” (14)

ඇරඹූ (ඇරැඹූ)

“ලංකා ශාඛාව ඇරඹූ චේටර්” (65)

ඇරඹෙන (ඇරැඹෙන)

“ක්‍රි.පූ.තෙවන සියවසින් ඇරඹෙන” (13)

ඇරඹීම (ඇරැඹීම)

“පුවත්පත් ප්‍රකාශනය” (79)

පැවසෙන (පැවැසෙන)

“පූජාවන් ගැනපැවසෙන” (13)

සැපයීමට (සැපැයීමට)

“ව්‍යාකරණ ග්‍රන්ථයක් සැපයීමට” (14)

සැපයීමෙන් (සැපැයීමෙන්)

“උදාහරණ සැපයීමෙන් පසුව” (18)

සැපයූ (සැපැයූ)

“ඓතිහාසික ව්‍යාකරණයක් සැපයූ ’‘(13)

“ඔහු සැපයූ ඉංග්‍රීසි පරිවර්තනය” (82)

සැලකිය (සැලැකියැ)

“ප්‍රබලතම සාක්ෂ්‍යය සේ සැලකිය හැක්කේ” (15)

”ප්‍රමුඛ ස්ථානයෙහි ලා සැලකිය යුත්තේ” (82)

සැලකුණු (සලැකුණු)

“ප්‍රකෘෂ්ට ප්‍රාකෘතය සේ සැලකුණු” (19)

සැලසුම් (සැලැසුම්)

“මුලින් සැලසුම් කොට” (80)

කාලීනව වෙනස් වෙමින් වැඩෙන ජීව භාෂාවක අනිවාර්ය ලක්ෂණයක් නම් විකල්ප නිරවද්‍ය ව්‍යවහාර ඇති වීම යි. එවැනි ව්‍යවහාර අතුරන් එකක් ස්වකීය ලේඛනය සඳහා තෝරා ගැනීම පරිණත ලේඛකයන්ගේ සම්ප්‍රදාය යි. මහාචාර්ය බලගල්ලේ මහතා මෙනි. එතුමා තෝරා ගත් ව්‍යවහාර සමුච්චය එක් වීමෙන් එතුමාගේ ලේඛක ශෛලිය සෑදෙයි. මේ ආකාරයෙන් එක් එක් ලේඛකයාට ආවේණික වූ ශෛලියක් පැවතීමෙන් භාෂා ව්‍යවහාරය වර්ණවත් වෙයි.

Comments